IPL සැලසුම් ගැන හිමිකරුවන් නොසතුටෙන්

629

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සැලැස්ම පිළිබඳව කණ්ඩායම් හිමිකරුවන් එතරම් කැමැත්තක් නොදක්වන බව Cricbuzz වෙබ් අඩවිය වාර්තා කළා.

2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන අප්‍රේල් 09 වැනිදා ආරම්භ වන බව ඉන්දීය ක්‍රිකට් ආයතනය පසුගිය දා නිවේදනය කළ අතර ඒ සඳහා ක්‍රීඩාංගණ 5ක් නම් කර තිබුණා. එහි දී කිසිදු කණ්ඩායමකට සිය ප්‍රාන්තයේ ක්‍රීඩාංගණයක ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවන්නේ නැහැ.

ඒ පිළිබඳව කණ්ඩායම් හිමිකරුවන් නම් එතරම් කැමැත්තක් පලකර තිබුණේ නැහැ. ඉන්දීය ක්‍රිකට් ආයතනය ඒ පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ Sunrises Hyderabad, Rajasthan Royals සහ Punjab Kings කණ්ඩායම්වලට අදාල ක්‍රීඩාංගණ තරගාවලිය සඳහා එක්නොවන නිසා ඔවුන්ට අසාධාරණයක් නොවන ලෙස එම තීරණය ගත් බවයි.

M S Dhoniගේ අවසන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය මෙය වෙන්න පුළුවන්. ඉතින් අපි ඔහුට ගෞරව කරන්න ඕනේ නේද? තරගාවලිය සඳහා ප්‍රේක්ෂකයන් සහභාගී වෙන්නේ නැත්නම් Chennai Super Kings සහ Mumbai Indians අතර තරගය චෙන්නායි හි පැවැත්වීම එතරම් ගැටලුවක් නෙමෙයි, කණ්ඩායම් හිමිකරුවෙකු cricbuzz වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් පවසා තිබුණා.

Delhi Capitals කණ්ඩායම නියෝජනය කරන Prithvi Shaw, Ajinkya Rahane සහ නායක Shreyas Iyer වගේ ක්‍රීඩකයන් මුම්බායි නගරයේ ක්‍රීඩකයන්. Delhi Capitals කණ්ඩායම ඔවුන්ගේ පළමු තරග තුන ක්‍රීඩා කරන්නේ Wankhede ක්‍රීඩාංගණයේ. ඉතින් ඔවුන්ට ඔවුන්ගේ ප්‍රාන්තයේ ක්‍රීඩා කිරීමේ වාසිය තියනවා. Punjab Kings කණ්ඩායමේ K L Rahul, Mayank Agrawal වගේම පුහුණුකරු Anil Kumble වගේ අයගේ උපන් ප්‍රාන්තය වන බැංගලෝරයේ තරග 5ක් ක්‍රීඩා කරනවා. ඉතින් ඒක ඔවුන්ට වාසියක් නෙමෙයි ද? කණ්ඩායමේ ප්‍රාන්ත ක්‍රීඩාංගණය නොවුනත් වෙනත් ආකාරයකින් වාසියක් වෙන්න පුළුවන්.

කෙසේ වෙතත් ඉන්දීය ක්‍රිකට් ආයතනය පවසා සිටියේ යම් කණ්ඩායමක් සිය ප්‍රාන්ත ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කරන විට ඔවුන් තමන්ට ගැළපෙන ආකාරයේ තණතීරු සකසා ගැනීමට ඉඩක් පැවතීමත් මෙම තීරණය ගැනීමට හේතුවක් වූ බවයි. වත්මන් තීරණ අනුව එලෙස තණතීරු සකසා ගැනිම කළ නොහැකි නිසා එය සියලු කණ්ඩායම්වලට සාධාරණ වන බව ඔවුන්ගේ මතයයි.

මුම්බායි, චෙන්නායි, බැංගලෝර්, දිල්ලි, කොල්කටා සහ අහමදාබාද් යන නගර හයක් කේන්ද්‍ර කරගනිමින් තරගාවලිය පැවැත්වීම මඟින් සෞඛ්‍ය ආරක්ෂක ප්‍රමිතීන් සඳහා මෙන්ම මෙහෙයුම් පරිපාලනය සහ අවශ්‍ය සැපයුම් ලබා ගැනීම පහසු වීම ද ඉන්දීය ක්‍රිකට් ආයතනයේ අවධානයට යොමුව තිබෙනවා.

මුම්බායි නගරය කේන්ද්‍ර කරගනිමින් කොරෝනා වයිරසයේ දෙවන රැල්ල පැතිර යාමත් සමඟින් එහි ක්‍රීඩාංගණය ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ලබා දීම තරමක් අවිනිශ්චිත වී තිබුණා. කෙසේ වෙතත් මහාරාශ්ට ප්‍රාන්තයේ රජය සමඟින් පැවති සාකච්ඡා වට කීපයකින් අනතුරුව ක්‍රීඩාංගණය ලබා දීමට එකඟ වී තිබුණා. ඉන්දීය ප්‍රිමියර් ලීග් කාලසටහන නිකුත් කෙරුණේ ඉන් අනතුරුවයි.

තවත් ක්‍රිකට් පුවත්:

ඉන්දීය ක්‍රිකට් ආයතනය මීට පෙර සැලසුම් කර තිබුණේ ලීග් තරඟ සඳහා මුම්බායි සහ පූනේ ක්‍රීඩාංගණ පමණක් යොදාගැනීමටයි. එහි දී අවශ්‍ය වන වෛද්‍ය කාර්‍යමණ්ඩලය සහ සෙසු පහසුකම් අවම වන බවත් ඔවුන්ගේ මතය වී තිබුණා. නමුත් පසුව ගත් තීරණ අනුව තරගාවලිය ක්‍රීඩාංගණ 6ක දී පැවැත්වීමට සැලසුම් කර තිබුණා.

පසුගිය වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවති අතර එහි දී කණ්ඩායම් එකම හෝටල්වල නැවතී සිටිමින් එකම බස් රථ භාවිතා කර තිබුණා. බස් රථ රියදුරන් සහ හෝටල් කාර්ය මණ්ඩලය ද ක්‍රීඩකයන්ගේම ජෛව ආරක්‍ෂිත බුබුළුවල කොටසක් බවට පත් කිරීමට කටයුතු කර තිබුණා. වත්මන් තත්ත්වය අනුව ජෛව ආරක්‍ෂිත බුබුළු කීපයක් පාලනය කිරීමට සිදුවීම නිසා එය තරමක් අවදානම් වන බව කණ්ඩායම් හිමිකරුවන්ගේ මතය වී තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කළ කාලසටහන සකස් කර ඇත්තේ එක් කණ්ඩායමක් ලීග් තරගාවලිය අතරතුර නගර හතරක ක්‍රීඩා කරන ආකාරයටයි. ඒ අනුව එක් කණ්ඩායමක් අවම වශයෙන් සිව් වතාවක් පියාසර කළ යුතු වනවා. එමඟින් පිටස්තර පුද්ගලයින්ට නිරාවරණය වීමේ හැකියාව වැඩි වී තිබෙනවා. ප්‍රධාන වශයෙන් ගුවන් තොටුපලවල්, හෝටල් සහ  බස් රථ තුල දී එම අවදානම වැඩි වීමේ හැකියාවක් පවතින බව කණ්ඩායම් හිමිකරුවන් පෙන්වා දෙනවා.

මේ සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනය තවමත් නිල වශයෙන් අදහස් දක්වා නැහැ.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන අප්‍රේල් 09 වැනිදා සිට මැයි 30 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Cricbuzz ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<