ඩිල්ශාන්ගේ තුන් ඉරියව් දක්ෂතා ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි

Road Safety World Series 2021

195

ඉන්දියාවේ රායිපූර්හීදී පැවැත්වෙන Road Safety World Seriesහි තමන් ක්‍රීඩා කළ සිව්වැනි තරගයෙන් දකුණු අප්‍රිකානු Legends කණ්ඩායම පරදා කඩුලු 9ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා Legends කණ්ඩායම අද (08) සමත් වුනා. 

තරගාවලියේ 8 වැනි තරගය වශයෙන් පැවති මෙම තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දු යැවීමට ශ්‍රී ලංකා නායක තිලකරත්න ඩිල්ශාන් තීරණය කළා.

ඒ අනුව මුලින්ම පන්දුවට පහර දීමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු Legends කණ්ඩායමේ ආරම්භක පිතිකරණ යුගලය බවට පත්වුණේ Loots Bosman හා Alviro Peterson.

නමුත් සාර්ථක ආරම්භයක් ලබා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඔවුන් දෙදෙනාවම ලකුණු ලබා ගැනීමට පෙර නැවත හරවා යැවීමට සමත් වුනේ Petersenව දුවද්දී දැවී යාමකට හසුකර ගනිමින් සහ Bosmanව කුලසේකරගේ පන්දුවක් හමුවේ දවා ගනිමින්.

ඊට වැඩි වේලාවක් යාමට මත්තෙන් අංක 3 පිතිකරු ලෙස පැමිණි Morne van Wyk ද ආ විගසින් දැවී ගියේ දකුණු අප්‍රිකානු ඉනිම තවත් අසීරු අඩියකට ඇද දමමින්. ධම්මික ප්‍රසාද්ගේ පන්දුවක් හමුවේ මලින්ද වර්ණපුර අතට උඩපන්දුවක් ලබා දී ඔහු ලකුණු 2කට දැවී ගියේ ලකුණු පුවරුව 12/3ක් බවට පත්කරමිනුයි.

ඉන්පසුව Andrew Puttick හා එක් වූ Zander de Bruyn ලකුණු පුවරුව 43ක් දක්වා රැගෙන ගියා. කෙසේ වෙතත් ඒ අතරවාරයේ Puttick චාමර සිල්වා වෙත ලබා දුන් පහසු උඩ පන්දුවක් අතහරිනු ලැබීම ඔහුට දිගු ඉනිමක් කරා යාමට මහත් අස්වැසිල්ලක් වුනා.

Bruyn රංගන හේරත්ගේ පන්දුවක් හමුවේ දැවී යන විට ලකුණු 15ක් ලබා සිටි අතර අංක 6 පිතිකරු ලෙස පිටියට පිවිසි Justin Kemp ද ආ විගසින් ලකුණු 7කට දැවී ගියා. ඒ අජන්ත මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවේයි.

එහෙත් අනෙක් අන්තයේ හුදකලා ඉනිමක් දියත් කළ Puttick ලකුණු 39ක් වාර්තා කළේ හතරේ පහර හතරක් තම ඉනිමට අන්තර්ගත කරමින්. ඔහුගේ ඉනිම අවසන් වුනේ සනත් ජයසූරියගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ ගැටීමෙන්.

අනතුරුව පිටියට පිවිසියේ සුපිරි ක්‍රීඩක සහ දකුණු අප්‍රිකානු Legends නායක Jonty Rhodes ය. නමුත් සිය කණ්ඩායමේ බලාපොරොත්තු සුන් කර දමමින් ඔහුත් ලකුණු 2කට දැවී ගියේ තිලකරත්න ඩිල්ශාන්ගේ පන්දුවක් හමුවේ උපුල් තරංගට උඩ පන්දුවක් ලබා දෙමින්.

මේ සමඟින් දකුණු අප්‍රිකානු Legends ලකුණු පුවරුව 76/7ක් බවට පත්වූයේ තරගය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා ආධිපත්‍යයට නතුකරමින්.

දකුණු අප්‍රිකානු පසුපෙළ පිතිකරුවන්ට ද ඊට අමතරව එකතු කිරීමට හැකියාව ලැබුණේ තවත් ලකුණු 13ක් පමණක් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් සියලු දෙනාම ලකුණු 89කට දැවී ගියා.

දකුණු අප්‍රිකානු Legends ඉනිමේ සුවිශේෂීත්වය වූයේ Andrew Puttick හා Zander de Bruyn හැරුණුකොට අන් කිසිදු පිතිකරුවෙකුට අවම වශයෙන් ලකුණු 10 සීමාවවත් පසුකිරීමට නොහැකි වීමයි.

එමෙන්ම ඩිල්ශාන් ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගේ විශිෂ්ට පන්දු රැකීමත් ඉනිම පුරාවටම වඩාත් කැපී පෙනුනු අංගයක් බවට පත්වුනා.

පන්දු යැවීමේ දී රංගන හේරත්, සනත් ජයසූරිය හා නුවන් කුලසේකර තිදෙනා අතර කඩුලු දෙක බැගින් බෙදී ගිය අතර නායක ඩිල්ශාන්, අජන්ත මෙන්ඩිස් හා ධම්මික ප්‍රසාද් තිදෙනා අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

මේ අනුව ශ්‍රී ලංකා Legends කණ්ඩායමට ලකුණු 90ක ජයග්‍රාහී ඉලක්කයක් හිමි වුනා.

තවත් ක්‍රිකට් පුවත් :

එම පහසු ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වූයේ එදාමෙදාතුර සුපිරිතම පිතිකරණ යුගලයක් වූ සනත් ජයසූරිය හා තිලකරත්න දිල්ශාන් දෙදෙනායි.

ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 23ක සබඳතාවයක් පැවතුණා. නමුත් ලකුණු 8ක් ලබා සිටි සනත් ජයසූරිය Krugerගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ ගැටීමෙන් අවාසනාවන්ත ලෙස දැවි ගියා.

අනතුරුව පිටියට පිවිසියේ උපුල් තරංගයි. එතැන් පටන් දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් හට කිසිදු අවස්ථාවක් ලබා නොදීමට ඩිල්ශාන්-තරංග යුගලය වගබලා ගත්තේ රායිපූර් පිටිය තම අණසකට නතුකර ගනිමින්.

ඒ අතරින් ප්‍රමුඛත්වය ලබා ගත් ඩිල්ශාන් නායකත්වයේ ඉනිමක් දියත් කළේ පන්දු 40කින් නොදැවී අර්ධ ශතකයක් වාර්තා කරමිනි. ඔහුගේ ඉනිමට හතරේ පහරවල් 7ක් අන්තර්ගත වුනා.

ඩිල්ශාන්ට අනගි සහයක් ලබා දුන් තරංග අනෙක් අන්තයෙන් ලකුණු 27ක් වාර්තා කළේ හතරේ පහරවල් 5ක් සමඟින්. 

මේ සමඟින් ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් පමණක් දැවී තම නියමිත ජයග්‍රාහී ඉලක්කය හඹා ගියේ පන්දු වාර 13.2ක දීයි.

ඒ අනුව ශ්‍රී ලංකාව කඩුලු 9ක පහසු ජයග්‍රහණයක් වාර්තා කළේ තරගාවලියේ පිට පිට ලද දෙවන ජයග්‍රහණය සටහන් කරමින්. මෙම තරගයේ ජයත් සමඟින් තරගාවලියේ අවසන් පූර්ව වටය වෙත සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා.

තරගයේ වීරයා සම්මානය හිමිකර ගැනීමට නායක තිලකරත්න ඩිල්ශාන් සමත් වුනා.

දකුණු අප්‍රිකානු Legends – 89/10(20): Andrew Puttick, Zender de Bruyn 15, රංගන හේරත් 2/11, නුවන් කුලසේකර 2/13, සනත් ජයසූරිය 2/24

ශ්‍රී ලංකා Legends – 92/1: තිලකරත්න දිල්ශාන් 50*, උපුල් තරංග 27*, Garnett Kruger 1/23

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<