‘ඩිල්ස්කූප්’ පහරට උප්පැන්නය හැදූ ශ්‍රී ලාංකිකයා!

1091
Thilakaratne Dilshan

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට සිටින්නේ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලය. ජාතික කණ්ඩායම එසේ සංචාරයක නිරත වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් ඉන්දියාවේ දී Road Safety World Series නම් තරගාවලියකට සහභාගී වෙමින් සිටිති.

Road Safety World Series වෙනුවෙන් සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන්නේ තිලකරත්න ඩිල්ෂාන්ය. ඩිල්ෂාන් නාමය සමඟම කියවෙන අනෙක් කාරණාව තිලකරත්න ඩිල්ෂාන් ක්‍රිකට් ලෝකයට දායද කළ ‘ඩිල්ස්කූප්’ පහරය.

Road Safety World Series නම් අප ඉහත කී තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් තරගය නැරඹූ ශ්‍රී ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයාගේ මනදොළ ඉහළින්ම සපුරාලන්නට ඩිල්ෂාන් ඉතා විශ්වාසයෙන් එල්ල කළ ඩිල්ස්කූප් පහරට හැකියාව ලැබුණි. 

හිටපු ශ්‍රී ලංකා නායකයාගේ සන්නාමය බඳු ඩිල්ස්කූප් පහර පසුගිය සමයේ ක්‍රිකට් ප්‍රේක්ෂකයාට හරිහැටි දැකගන්නට ලැබුණේ නැත.

>> තහනම් ගහේ ගෙඩි කෑ ශ්‍රී ලාංකිකයෝ

2009 වසරේ දී තිලකරත්න ඩිල්ෂාන් එක්තරා අපූරු පහරක් ක්‍රිකට් ලෝකයට හඳුන්වා දුන්නේය. දණ නවා පන්දුව කඩුලු රකින්නාගේ හිසට ඉහළින් හතරේ සීමාවට යොමු කළ එම පහර දුටු බොහෝ ක්‍රිකට් විස්තර විචාරකයින් අතිශය උද්දාමයට පත්වූහ. එය ඉතා නිර්භීත එමෙන්ම අගනා පහරක් ලෙස ඔවුහු හඳුන්වා දෙන්නට වූහ.

ඩිල්ෂාන්ගේ පහරට බොහෝ කලකට ඉහත සිම්බාබ්වේ කණ්ඩායමේ ඩග්ලස් මැරිලියර් විසින් ඩිල්ෂාන්ගේ පහරට සමානම පහරක් එල්ල කළ ද එය එතරම් කතාබහට ලක්වූයේ නැත.

සත්‍ය වශයෙන්ම ඩිල්ෂාන් එල්ල කළ පහරට ක්‍රිකට් පොතේ නමක් තිබුණේ නැත. ඩිල්ෂාන් සිය අමුතු පහර එල්ල කරන සෑම අවස්ථාවක දී ම විස්තර විචාරකයින් පත්වූයේ මහත් අසීරුතාවයකටය.

Thilakaratne Dilshan
තිලකරත්න ඩිල්ෂාන් 2009 විස්සයි විස්ස ලෝක කුසලානය අතරතුර ඩිල්ස්කූප් පහරක් එල්ල කරමින් – ඡායාරූපය: Getty Images

සුප්‍රකට ශ්‍රී ලාංකික විස්තර විචාරකයෙකු වූ රනිල් අබේනායක The Dilshan Special කියා නමක් තිලකරත්න ඩිල්ෂාන්ගේ අමුතු පහර වෙනුවෙන් යෙදූ අතර නසාර් හුසේන් විසින් The Dilshan යනුවෙන් කෙටි කර භාවිතා කරන්නට සූදානම් විය.

ඩිල්ෂාන්ගේ පහර දැක අතිශය උද්දාමයට පත් වූ ෆිල් ටෆ්නල් ගුවන් විදුලි වැඩසටහනක දී The Dilshan Duck Paddle යන්න භාවිතා කළ අතර පසුව The Dilshan Turtle යන්න ද භාවිතා කළේය.

ඩිල්ෂාන් සිය අමුතු පහර එල්ල කරන වාරයක් වාරයක් පාසා අපහසුතාවයට පත් වූයේ ක්‍රිකට් විස්තර විචාරකයින් පමණක් නොවේ. බ්‍රිතාන්‍යයේ සුප්‍රකට පුවත්පත්, සඟරා ආදිය ද අන්දුන් කුන්දුන් වී ගොස් සිටියේය.

සුප්‍රකට විස්ඩන් සඟරාව The Dilshan Dentist Shot කියා ලියූ අතර Guardian පුවත්පත The Dilshan Ramp යන්න යොදා ගත්හ. නමුත් ඉහත කී කිසිදු නමක සාමාන්‍ය ජනවහරේ කියවෙන අන්දමේ ‘කික්’ වෙන ගතියක් තිබුණේම නැත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින් මෙම පහර හඳුන්වන්නේ The Starfish යනුවෙන් බව මහේල ජයවර්ධන මේ අතරවාරයේ දී ප්‍රකාශ කළේය. හරි හැටි මොළයක් ඇති එකෙකු මෙවන් පහරක් එල්ල කරමින් අවදානමක් නොගන්නා නිසා මේ නම යෙදූ බව මහේල පැවසුවේය.

>> ටගා පන්නරය ලැබූ හැටි

ශ්‍රී ලංකාවේ උපත ලැබූ පසුව කැනඩාවට සංක්‍රමණය වූ මහේන්ද්‍ර මාපාගුණරත්න නම් නීතිවේදියා ඩිල්ෂාන්ගේ අමුතු පහරට අපූරු නමක් ගෙන එන්නේ මේ අතරවාරයේ දී ය.

ඩිල්ස්කූප්!

එය ඩිල්ෂාන්ගේ අමුතු පහර මැනවින් විස්තර කරන්නා වූ යෙදුමක් විය. එය එක්තරා ආකාරයක කදිම පද පෙරළියකි. නම කියවූ විට ඩිල්ෂාන් ගැනත් ඔහු දණ නමා එල්ල කරන අපූරු පහර ගැනත් මනසේ නියම චිත්තරූපයක් මැවෙන අන්දමේ යෙදුමකි.

ඩිල්ස්කූප් යෙදුම ලොව පුරා ක්‍රිකට් විස්තර විචාරකයින් අතර සහ ක්‍රිකට් ලේඛකයින් අතර ජනප්‍රිය වන්නට වැඩි කලක් ගියේ නැත.

මාපාගුණරත්නයන් ක්‍රිකට් ක්‍රීඩාවට නව්‍ය යෙදුමක් හඳුන්වා දුන් මුල්ම අවස්ථාව එය නොවීය. 

2008 වසරේ අජන්ත මෙන්ඩිස් යැවූ අමුතු පන්දුවට “කැරම්” යන නාමය ලබා දුන්නේ ද මාපාගුණරත්නයන්ය.

අවාසනාවකට ඩිල්ස්කූප්, කැරම් පන්දුව යන වචන යුගලය ක්‍රිකට් ලෝකයට බිහිවීම පසුපස සිටින්නේ ශ්‍රී ලාංකිකයෙකු බව දන්නේ අතලොස්සකි.

>> ක්‍රිකට් ලොවම භීතියෙන් මුසපත් කළ ‘සුදු අකුණු සැරය’

ඩිල්ෂාන් ඒ පහර එල්ල කරද්දි විස්තර විචාරකයින් සෑහෙන අපහසුතාවයකට පත්වුනා. මොකද ඒ පහර හඳුන්වන්න නමක් ඒ වෙද්දී තිබුණේ නැහැ.

මම ඩිල්ස්කූප් යන යෙදුම භාවිතා කළාට පස්සේ ඒක සීග්‍රයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ අය, විස්තර විචාරකයින්, ක්‍රිකට් රචකයින් අතරේ ජනප්‍රිය වුනා.

ඊට කලින් 2008 වසරේ අජන්ත මෙන්ඩිස් යවන අමුතු පන්දුවට කැරම් පන්දුව කියන නම ලබා දුන්නේත් මා විසින්.

ඇත්තටම ක්‍රිකට් ක්‍රීඩාවේ වාග් මාලාව සාරවත් කිරීමට අලුත් යෙදුමක් දායාද කිරීම තමයි මගේ මූලික පරමාර්ථය වුනේ. ඉන් එහා කිසිම දෙයක් මා බලාපොරොත්තු වුනේ නැහැ”

‘ඩිල්ස්කූප්’ නාමය ක්‍රිකට් ලෝකයට ජනිත වූ ආකාරය ගැන විමසූ විට මේ වන විට කැනඩාවේ දිවි ගෙවමින් සිටින මහේන්ද්‍ර මාපාගුණරත්නයන් ලියුම්කරු සමග සිය මතකය ආවර්ජනය කළේ ඒ ආකාරයෙන්ය.

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<