නවසීලන්ත නායකයාට බංග්ලාදේශ තරගාවලිය අහිමි වෙයි

178

වැළමිට ප්‍රදේශයේ ඇතිවූ ආබාධ තත්වයක් නිසාවෙන් නවසීලන්ත ක්‍රිකට් නායක Kane Williamson මෙම මස 20 වැනිදා ආරම්භ වීමට නියමිත බංග්ලාදේශය සමඟ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් කිරීමට තීරණය කර ඇත.

නවසීලන්ත කණ්ඩායමේ සියලුම ආකෘතිවල නායකයා ලෙස කටයුතු කරන Williamson තරග ආකෘති තුනෙහිම නවසීලන්තය සතු ප්‍රධානතම සහ දස්කම් අතර සිටිනා පිතිකරුවා ද වේ.

Williamsonගේ ආබාධය පිළිබඳව තහවුරු කරමින් නවසීලන්ත ක්‍රිකට් වෛද්‍ය ප්‍රධානී Dayle Shackel ප්‍රකාශ කර සිටියේ පසුගිය කාලය තුල ඔහු විසින් මෙම ආබාධයෙන් සුව වීමට අවශ්‍ය කටයුතු සිදු කළ නමුත් එහි කිසිදු වර්ධනයක් නොමැති නිසාවෙන් ඔහුට කෙටි කාලයක් විවේක ගැනීමට සිදු වන බවයි.

“Kane පසුගිය කාලසීමාව පුරාවටම මෙම වැළමිටේ ආබාධය කළමනාකරණය කළත්, අවාසනාවකට එහි කිසිදු යහපත් වර්ධනයක් පේන්න නැහැ. ඔහු පැහැදිලිවම තරග ආකෘති තුන සඳහා විශාල වෙහෙසක් දරලා තියෙනවා. ඒ නිසා ඔහුගේ සුවය ලැබීමේ හැකියාව දුර්වල වෙලා. ඒ නිසා අපි විශ්වාස කරනවා ඔහුට සුව වීමට විවේක කාලයක් අවශ්‍යයි කියලා” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

තවත් ක්‍රිකට් පුවත්:

එමෙන්ම Williamson විවේක ගැන්වීම පිළිබඳව අදහස් දක්වමින් නවසීලන්ත ප්‍රධාන පුහුණුකරු වන Gary Stead ප්‍රකාශ කර සිටියේ එම තීරණය ගැනීමට Williamson හට ඉතාමත් අපහසු වූ නමුත් ඉදිරියේ ඇති කාර්යබහුල තරග කාලසටහන නිසාවෙන් එම තීරණය ගත් බවයි.

“Kane සිය රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න බොහෝ ලෙස ආදරය කරනවා. ඒ නිසා මේ තීරණය ඔහුට පහසු දෙයක් නෙවෙයි. පිතිකරුවෙකුගේ ඉදිරිපස වැළමිට ඔහුගේ ක්‍රීඩාවට වැදගත් දෙයක්. ඔහුගේ ආබාධය සුව තත්වයට නොපැමිණීමත් සමඟ අනිවාර්යයෙන් දෙයක් කරන්නට ඕන කියලා පැහැදිලි වුනා.

අපිට විශාල ක්‍රිකට් වසරක් ඉදිරියේ දී තියෙන්නේ, එංගලන්ත තරගාවලිය සහ ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසන් මහා තරගය ඉදිරියේ දී පැවැත්වෙනවා. ඒ නිසා අපිට Williamson යහපත් සෞඛ්‍ය තත්වයේ තබාගන්න එක ඉතාම වැදගත් වෙනවා” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

ඒ අනුව බංග්ලාදේශය සමඟින් පැවැත්වෙන තරගාවලිය සඳහා Williamson සහභාගි නොවන අතර ලබන මස ආරම්භ වීමට නියමිත ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ Sunrisers Hyderabad කණ්ඩායම නියෝජනය කිරීමට තේරී පත්ව ඇති Williamsonගේ සහභාගීත්වය පිළිබඳව කිසිවෙක් මේ දක්වා ප්‍රකාශ කර නොමැත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<