SPRYNG™ සන්නාම තානාපති ධුරය Gabby Thomasට

89

ලොව පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මාංශ පේෂී වේදනාවට සහනයක් ගෙන දීම සඳහා නිෂ්පාදනය කර ඇති SPRYNG™ නිෂ්පාදනයේ නව සන්නාම තානාපතිවරිය ලෙස ඔලිම්පික් පදක්කම් ලාභී ක්‍රීඩිකා Gabby Thomas නම් කර ඇති බව MAS ආයතනය නිවේදනය කර තිබෙනවා.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණුවීම්වලින් පසුව ඇති වන මාංශ පේෂී වේදනාව අවම කිරීම සඳහා භාවිතා වන වෙලුම් මෙවලමක් වන මෙය මගින් ක්‍රීඩා කාර්ය සාධනය ඉහළ නැංවීම ද අපේක්ෂා කරනවා.

Twinery (MAS අධීක්ෂණය යටතේ) මගින් නිර්මාණය කළ මෙය පුළුල් පර්යේෂණ සහ ඉතා වෙහෙස මහන්සි වී පරීක්ෂණ කිරීමෙන් පසුව SPRYNG 2.0 ලෙස යාවත්කාලීන කර නව සංස්කරණය එළිදැක්වීමක් පසුගිය දා ඇමරිකාවේ Las Vegas හී සිදු කර තිබුණා.

මෙම කණ්ඩායම විසින් Omdia Innovation Awards 2023 හී විනිශ්චකරුවන්ගේ තේරීම් සම්මානය (Judges Choice award) ද දිනා ගැනීමට සමත් වීම විශේෂත්වයක්.

එමෙන්ම USA Triathlon හී සුවිශේෂී ප්‍රතිසාධන සහකරු (exclusive recovery partner) ලෙස ද SPRYNG තෝරා ගැනීමට කටයුතු කර ඇති බව MAS ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

SPRYNG හී නව සන්නාම තානාපතිවරිය ලෙස එක් වූ Gabby Thomas ඇමරිකාව නියෝජනය කරමින් කෙටිදුර ධාවන පිටියේ සුවිශේෂී දස්කම් දැක්වූ ක්‍රීඩිකාවක්.

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා ඇමරිකාව නියෝජනය කරමින් සහභාගී වූ Thomas කාන්තා මීටර් 200 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර ඇය මීටර් 100 සහය දිවීම ඉසව්වේ රිදී පදක්කම දිනා ගත් ඇමරිකා කණ්ඩායම ද නියෝජනය කළා.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<