Dialog විසින් ජාතික ජ්‍යෙෂ්ඨ දැල්පන්දු ශූරතාව බලගන්වයි

146

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන Dialog Axiata PLC සමාගම මෙරට ජාතික මට්ටමේ ක්‍රීඩාවන්ට ලබා දෙන සහාය තවදුරටත් ඉදිරියට ගෙන යමින්, ආසියාවේ දැල්පන්දු කිරුළ දිනා ගත් ජාතික දැල්පන්දු කණ්ඩායම මීළඟ තලයට ඔසවා තැබීමේ අරමුණ පෙරදැරිව “2023 ජාතික ජ්‍යෙෂ්ඨ දැල්පන්දු ශූරතා තරගාවලිය” බලගන්වනු ලබයි.

Dialog විසින් මෙම තරගාවලිය අඛණ්ඩව බලගන්වන සිව්වැනි වසර මෙය වීම ද විශේෂත්වයක්.

මෙම ජාතික ජ්‍යෙෂ්ඨ තරගාවලියේ මූලික තරග 2023 පෙබරවාරි 11 සහ 12 වැනිදා ටොරිංටන් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර අවසන් පූර්ව සහ අවසන් මහා තරගය පෙබරවාරි 13 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇත.

අදාළ ශූරතාව වෙනුවෙන් 35කට අධික කණ්ඩායම් සංඛ්‍යාවක් තරග වදිනු ඇති අතර ජාතික ජ්‍යෙෂ්ඨ දැල්පන්දු ශූරතාව, ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ ප්‍රමුඛතම දක්ෂතා හඳුනා ගැනීමේ තරගාවලිය ලෙසින් සැලකෙනවා.

ජාතික සංචිතය නව දක්ෂතා සමඟින් පුළුල් කිරීමට මෙන්ම විශේෂයෙන්ම 2023 ජූලි 28 වැනිදා සිට අගෝස්තු 6 වැනිදා දක්වා දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් හී පැවැත්වීමට නියමිත 2023 දැල්පන්දු ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සූදානම වෙනුවෙන් ද මෙය වැදගත් වනවා.

ThePapare.com, Dialog ViU App සහ Dialog TV නාලිකා අංක 140 ඔස්සේ දහවල් 1 සිට මෙය සජීවීව විකාශය කිරීමට ප්‍රධාන අනුග්‍රාහකයා ලෙසින් Dialog Axiata සමාගම කටයුතු යොදා තිබෙනවා.

ඉකුත් වසර කිහිපයේ දී අප කණ්ඩායම සියලු අභියෝග ජය ගනිමින් කැපී පෙනෙන ලෙස ඉහළට පැමිණියා. අපගේ සුවිශේෂී පාර්ශවකරුවෙකු වශයෙන් අපත් සමඟ නිබඳව රැඳී සිටීම සම්බන්ධයෙන් Dialog Axiata වෙත අපේ ස්තුතිය පිරිනැමීමට මම මෙය අවස්ථාවක් කරගන්නවා,” යනුවෙන් ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපති ලක්ෂ්මි වික්ටෝරියා මහත්මිය පැවසුවා.

”ආසියානු කිරුළ දිනා ගැනීමට අපට දැවැන්ත ජයග්‍රාහී මානසිකත්වයක් ඇති කර ගැනීමට ඉඩ සැලසුවා සේම එය අපගේ ආත්ම විශ්වාසය ඉහළ නැංවීමට හේතුවක් වුනා. මේ ජයග්‍රාහී රිද්මය මේ වසර අවසානයේ පැවැත්වෙන ලෝක කුසලානය දක්වා ද ඉදිරියට ගෙන යාමට හැකි බවට කණ්ඩායමට වගේම අපටත් විශ්වාසයි,” යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කළා.

‘‘ක්‍රීඩාවේ ඉහළම මට්ටමෙන් තරග වැදීමට නියමිත අනාගත දක්ෂතා හඳුනා ගැනීම සහ ඒවා රැකගැනීම වෙනුවෙන් මෙවැනි මට්ටමේ තරගාවලියක් පැවැත්වීම පිණිස ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය සමඟ එක්වන්නට ලැබීම, ශ්‍රී ලාංකේය දක්ෂතා ඔසවා තැබීමට සහය දක්වන ආයතනයක් ලෙසින් අපට ගෞරවයක්,” යැයි Dialog Axiata PLC හි උප සභාපති සන්නාම සහ මාධ්‍ය – හර්ෂ සමරනායක මහතා පැවසීය.

“ආසියානු දැල්පන්දු කිරුළ පිට පිටම ශ්‍රී ලංකාවට රැගෙන ඒමට කරන ලද කැපවීම සහ දෙනු ලැබූ නායකත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයට මාගේ සුබ පැතුම් එක් කිරීමට කැමතියි,” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

අවසන් වරට පැවති Dialog ජාතික දැල්පන්දු ශූරතාවලියේ අවසාන මහා තරගයේ දී ලකුණු 49-47ක් ලෙසින් තියුණු ජයක් සමඟ ශූරතාව දිනා ගැනීමට ගුවන් හමුදා කණ්ඩායම පැරද වූ   HNB කණ්ඩායම සමත් වුනා.

Dialog Axiata ජාතික ක්‍රිකට්, වොලිබෝල් සහ Esports කණ්ඩායම් හි නිල අනුග්‍රාහකයා ලෙස කටයුතු කරන අතර ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය බලගැන්වීමට අමතරව ජාතික කනිෂ්ඨ සහ ජ්‍යේෂ්ඨ දැල්පන්දු තරගාවලි, පාසල් රග්බි, හා යුද හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය, ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය, ලෝක පැරාලිම්පික් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පැරා කණ්ඩායම බලගැන්වීමට කටයුතු කර තිබෙනවා.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<