ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන මංගල තරගාවලියට පෙරවදනක්

281

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන මංගල එක්දින ජාත්‍යන්තර තරගාවලිය හෙට (25) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගාවලිය තරග 3කින් සමන්විත වන අතර සියලු තරග පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දිවා/රාත්‍රී තරග ලෙසින් පැවැත්වෙනු ඇත.

2009 වසරේ දී ජාත්‍යන්තර එක්දින ද්වීපාර්ශ්වීය තරගාවලියකට එක් වූ ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාව සමඟ එවන් තරගාවලියකට පළමු වරට හමුවෙන්නේ මෙම තරගාවලියේ දී.

ඇෆ්ගනිස්තාන – ශ්‍රී ලංකා තරග ඉතිහාසයේ ඔවුන් මේ දක්වා ශ්‍රී ලංකාව සමඟ තරග 4කට ක්‍රීඩා කර ඇති අතර ඉන් ජයග්‍රහණය කරන්නේ එක් තරගයක් පමණයි. අනෙක් තරග සියල්ලේ ම ජයග්‍රහණයේ හිමිකාරිත්වය ශ්‍රී ලංකාව සතු වෙනවා.

ශ්‍රී ලංකාව ඔවුන්ට පරාජය වී ඇත්තේ 2018 වසරේ දී පැවති ආසියානු කුසලාන තරගාවලියේ දීයි. එදා ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකාව මෙහෙයවද්දී, Asghar Afghan ඇෆ්ගනිස්තාන කණ්ඩායම මෙහෙයවනවා. අබුඩාබි හිදී පැවති මෙම තරගයෙන් ඇෆ්ගනිස්තානය ලකුණු 91ක ජයග්‍රහණයක් ලබා ගන්නවා.

  • ඇෆ්ගනිස්තාන සංචිතය: Hashmatullah Shahidi (නායක), Rahmat Shah (උප නායක), Rahmanullah Gurbaz (කඩුලු රකින්නා), Azmatullah Omarzai, Fareed Ahmad, Fazalhaq Farooqi, Gulbadin Naib, Ibrahim Zadran, Ikram Alikhil (කඩුලු රකින්නා), Mohammad Nabi, Mujeeb Ur Rahman, Najibullah Zadran, Noor Ahmad, Rashid Khan, Riaz Hassan, Shahidullah Kamal, Yamin Ahmadzai, Zia-ur-Rehman
  • ශ්‍රී ලංකා සංචිතය: දසුන් ශානක (නායක) පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා) චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල් (කඩුලු රකින්නා) අශේන් බණ්ඩාර, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, ධනංජය ලක්ෂාන්, කසුන් රාජිත, ලහිරු කුමාර, ප්‍රමෝද් මධුශාන්, අසිත ප්‍රනාන්දු.

මෙම තරගාවලිය ICC ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීග් වටයට ඇතුළත් තරගාවලියක් බැවින් දෙපිලට ම මෙය අතිශය තීරණාත්මක තරගාවලියක් ලෙසින් හැදින්විය හැකියි. ඒ වුවත් මෙම තරගාවලිය වඩාත් වැදගත් වන්නේ ශ්‍රී ලංකාවටයි.

ශ්‍රී ලංකාව ICC ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීග් වටයේ මෙතෙක් තරග 18කට ක්‍රීඩා කරමින් රැඳී සිටින්නේ 10 වැනි ස්ථානයේයි. ඔවුන්ගේ තරග සාරාංශය ජයග්‍රාහී තරග 6ක්, පරාජිත තරග 11ක් සහ විසඳුමකින් තොරව අවසන් වූ තරගයක් ලෙසයි.

ඒ අනුව ශ්‍රී ලංකාවට එළඹෙන ලෝක කුසලාන තරගාවලියට සෘජුව ම සම්බන්ධ වීමට නම් ඇෆ්ගනිස්තානය සමඟ වන  මෙම තරග 3ම ජයග්‍රහණය කළ යුතුයි. ඉන් නොනැවතී ඔවුන් එම කඩඉමට පිවිසීමට නම් එළඹෙන වසරේ දී පැවැත්වෙන නවසීලන්ත සංචාරයේ තරග ත්‍රිත්වය ද දිනා ගත යුතුයි.

ඇෆ්ගනිස්තානය මෙම සංචාරයට එක්වෙන්නේ ICC ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු පුවරුවේ 7 වැනි ස්ථානයට ශ්‍රේණිගත වෙමින් බැවින් ඔවුන්ට ඇත්තේ එම ස්ථානය ආරක්ෂා කර ගැනීම පමණයි.

කෙසේ වෙතත් ඔවුන් එම වටයේ දී  තරග 12කට සහභාගී වෙමින් ඉන් තරග 10ක් ජයග්‍රහණය කරමින් තරග 2ක් පරාජය වෙමින් ප්‍රසාද ලකුණු 100ක් ලබා ශ්‍රී ලංකාවට වඩා ලකුණු 38ක් ඉදිරියෙන් සිටිනවා.

එවන් ගෞරවනීය ලැයිස්තුගත කිරීමක සිටින ඇෆ්ගනිස්තානය, ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා එක් වෙන්නේ ඔවුන් සහභාගී වූ අවසන් තරගමාලා 5න් 3ක් ජයග්‍රහණය කරමින්. කොදෙව්වන් සහ බංගලියන් ඉදිරියේ පරාජය වන ඔවුන් අයර්ලන්තය, නෙදර්ලන්තය සහ සිම්බාබ්වේ කණ්ඩායම් පරාජය කිරීමට සමත් වෙනවා. ඒ අතුරින් මේ දක්වා පැවති අවසන් තරග 10න් 8ක ජයග්‍රහණ හිමිකර ගැනීමට ද ඔවුන් සමත් වෙනවා.

මෙවර ශ්‍රී ලංකාවට පැමිණි ඇෆ්ගනිස්තාන සංචිතය තුළ එරට එක්දින තරග ඉතිහාසයේ ඉහළ ම දක්ෂතා දැක්වූ කිහිප දෙනෙක් ම සමන්විත වීම වඩාත් වාසි සහගතයි. ඒ අතරට තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන Gulbadin Naib මෙවර සංචාරය සඳහා අලුතෙන් ම නම් කර තිබෙනවා.

හිටපු ඇෆ්ගනිස්තාන නායකයෙක් ද වන Naib නිමා වූ විස්සයි විස්ස ලෝක කුසලානයේ දී ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සමග තරගවලට සහභාගී වූව ද පෙබරවාරි මස නිමා වූ බංග්ලාදේශ සංචාරයෙන් පසු එක්දින තරගයක් සඳහා නියෝජනය කර නැහැ.

31 හැවිරිදි ඔහුගේ එක්දින ජාත්‍යන්තර තරග දක්ෂතා අතර තරග 72ක දී ලකුණු 1114ක් සහ කඩුලු 61ක් රැඳී තිබෙනවා.

ඊට අමතර ව වමතින් දඟපන්දු යවන Noor Ahmad ද කණ්ඩායම වෙත කැඳවා තිබෙනවා. ඔහු මෙතෙක් ක්‍රීඩා කර ඇති එක ම විස්සයි විස්ස තරගයේ දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 10කට කඩුලු 4ක් දවා ගනිමින් තරගයේ වීරයා බවට ද පත් වෙනවා.

තවමත් 17 වැනි වියේ පසු වන මේ මැජික් පන්දු යවන්නා හඳුන්වන්නේ Left arm Wrist spin ලෙසයි. ඔහු මෙම තරගාවලියේ දී මංගල එක්දින වරම් දිනා ගනු ඇතැයි කාගේත් විශ්වාසයයි.

ඇෆ්ගනිස්තාන සංචිතයේ එරට වෙනුවෙන් වැඩිම එක්දින තරග ප්‍රමාණයකට ක්‍රීඩා කළ Mohammad Nabi ද මෙම සංචාරයට එක් ව සිටිනවා. ඔහු මේ දක්වා එක්දින තරග 133කට ක්‍රීඩා කරමින් ලකුණු 2913ක් සහ කඩුලු 142ක් දවා ගනිමිනුයි කණ්ඩායම හා එක් ව සිටින්නේ.

කණ්ඩායමේ උපනායක Rahmat Shah මෙතෙක් තරග 85ක දී ලකුණු 2951 ලබා ගනිමින් ඇෆ්ගනිස්තානය වෙනුවෙන් එක්දින තරග පිටියේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකරු ලෙසින් පිටියට එක් වෙනවා.

එමෙන් ම එරට ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා වී සිටින වමතින් පා දඟපන්දු යවන Rashid Khan මේ සංචාරය හා එක් වෙන්නේ තරග 83ක දී කඩුලු 158ක් දවා ගනිමින්. මීට වසර 5ක පෙර 2017 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ලකුණු 18කට කඩුලු 7ක් දවා ගැනීම ඔහුගේ හොඳම පන්දු යැවීමයි.

ඇෆ්ගනිස්තානයේ එක්දින නායකයන් 7 දෙනා අතර ජයග්‍රහණයේ ඉහළ ප්‍රතිශතයක් ලබා සිටින Hashmatullah Shahidi ශ්‍රී ලංකාවට එරෙහිව නායකත්වයේ කබාය පලඳින්නේ පළමු වරටයි. ඔහු මෙතෙක් තරග 9ක දී ඇෆ්ගනිස්තාන කණ්ඩායම මෙහෙයවා ඇති අතර ඉන් තරග 7ක් ජයග්‍රහණය කරන අතර තරග 2ක් පරාජය වෙනවා. ඔහුගේ ජයග්‍රහණයේ ප්‍රතිශතය 77.77ක්.

හෙට (25) තරගයේ දී ක්‍රීඩා කරනු ඇතැයි සිතෙන ඇෆ්ගනිස්තාන කණ්ඩායම: Rahmanullah Gurbaz (කඩුලු රකින්නා), Ibrahim Zadran, Rahmat Shah/ Gulbadin Naib, Hashmatullah Shahidi (නායක), Najibullah Zadran, Mohammad Nabi, Azmatullah Omarzai, Rashid Khan, Mujeeb Ur Rahman/ Noor Ahmad, Fazalhaq Farooqi, Fareed Ahmad

ශ්‍රී ලංකාව මෙම තරගාවලිය හා එක් වෙන්නේ ඔවුන් සහභාගී වූ අවසන් තරග 10න් 6ක් ජයග්‍රහණය කරමිනුයි. එම තරගවල දී දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ සමඟ තරගය බැගින් ද සහ ඕස්ට්‍රේලියාව සමග තරග 2ක් ද පරාජිත තරග ගොන්නට ඇද වැටෙනවා. එසේ වූව ද අවසන් වරට මුහුණ දුන් දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ සහ ඕස්ට්‍රේලියාව යන තරගාවලි ත්‍රිත්වය ම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වෙනවා.

එක්දින තරග ඉතිහාසයේ එවන් අතිශය සමීප ජයග්‍රහණ මතකයන්ගෙන් සමන්විතව තරග පිටියට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගාවලියට පිවිසෙන්නේ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් පසුව අතිශය විවාදාත්මක චරිත බවට පත් වූ ධනුශ්ක ගුණතිලක සහ චාමික කරුණාරත්න නොමැතිවයි.

දසුන් ශානක නායකයෙක් ලෙසින් මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 14ක් මෙහෙයවා ඇති අතර ඉන් තරග 8ක් ජය ලබද්දී තරග 6කින් පරාජය ලැබී තිබෙනවා. ඇෆ්ගනිස්තානය සමඟ මෙතෙක් පරාජිත එක ම තරගයට ක්‍රීඩකයෙක් ලෙසින් සහභාගී වී ඇති ඔහු, ඔවුන්ට එරෙහිව නායකයෙක් ලෙසින් පැමිණෙන පළමු තරගයයි මේ.

පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී දසුන් තරග 9කට ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග 5ක දී කණ්ඩායම මෙහෙයවා තිබෙනවා. ඉන් තරග 3ක් ජයග්‍රහණය කිරීමට සමත් ව තිබීම විශේෂයි.

හෙට තරගයේ දී ක්‍රීඩා කරනු ඇතැයි සිතෙන ශ්‍රී ලංකා කණ්ඩායම: පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා), ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, චරිත් අසලංක, දසුන් ශානක (නායක), වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, ලහිරු කුමාර සහ කසුන් රාජිත.

හෙට සවස් කාලයේ දී පල්ලෙකැලේ ක්‍රීඩාංගණය අවට මද වැසි සහිත කාලගුණයක් පවතින බවට වාර්තා වුව ද එය තරගයේ පැවැත්මට බාධා නොවන බවක් විශ්වාස කරේ. කෙසේ වෙතත් මෙරට කාලගුණ වාර්තාවන් දැක්වෙන්නේ පළමු තරග ද්විත්වයේ දී එම තත්ත්වය පැවතිය හැකි බවයි. තෙවැනි තරගය දිනයේ දී එම තත්ත්වය පහව යමින් මද වලාකුළු සහිත අහසක් දිස් විය හැකි බව ද එම වාර්තාවන්වල දැක්වේ.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී මේ දක්වා තරග 28කට සහභාගී වී ඉන් තරග 14ක් ජයග්‍රහණය කරද්දී 14ක් පරාජය වී තිබේ. ඇෆ්ගනිස්තානය පල්ලෙකැලේ දී මේ සහභාගී වන්නේ තමන්ගේ මංගල තරගයටයි.

තරග කාලසටහන

  • පළමු එක්දින තරගය: නොවැම්බර් 25දා
  • දෙවැනි එක්දින තරගය: නොවැම්බර් 27දා
  • තෙවැනි එක්දින තරගය: නොවැම්බර් 30දා

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<