මංගල ICC ටෙස්ට් ලෝක ශූරතාවය කාටද?

2019-21 ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය

157
ICC

2019-21 ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ අවසන් මහා තරගය අද (18) සිට 22 දක්වා ඉන්දියාව සහ නවසීලන්තය අතර එංගලන්තයේ Southampton හි The Rose Bowl ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා. තරගය මෙරට වේලාවෙන් සවස 3ට ආරම්භ වීමට නියමිතයි.

2019 වසරේ දී ආරම්භ වූ මේ ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ පළමු අදියර සඳහා ලොව පුරා ටෙස්ට් වරම් හිමි රටවල් 9ක කණ්ඩායම් තරග වැදුණා.  අවසානයේ දී එහි ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රතිශත අනුව ඉදිරියෙන්ම පසු වූ රටවල් දෙක වන ඉන්දියාව සහ නවසීලන්තය මෙලෙස අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ පළමු ශූරයින් ලෙස ඉතිහාසගත වනු ඇති අතර ඔවුන්ට ICC ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය ජයග්‍රහණය වෙනුවෙන් ලබා දෙන සෙංකෝලයට (ICC Test Championship Mace) අමතරව ඇමරිකානු ඩොලර් මිලියන 1.6ක මුදලක් හිමි වීමට නියමිතයි. එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 31ක පමණ විශාල මුදලක් වනවා. එහි අනුශූරයින්ට හිමිවන මුදල ඇමෙරිකානු ඩොලර් 800,000ක්.

තවත් ක්‍රිකට් පුවත්:

ජුනි 18 සිට 22 දක්වා තිබෙන දින පහට අමතරව තරගය සඳහා අතිරේක දිනයක් පවතින අතර සාමාන්‍යය දින පහේ ටෙස්ට් තරගයක යැවිය යුතු පන්දුවාර ගණන යැවීමට නොහැකි වුවහොත් පමණක් එම දිනය යොදාගැනීමට තීරණය කර තිබෙනවා. තවද මේ තීරණාත්මක අවසන් මහා තරගයට Duke වර්ගයේ පන්දුවක් භාවිතා කරනු ඇත.

එසේම යම් හෙයකින් තරගය ජය පරාජයෙන් තොරව හෝ  ලකුණු සමවීමකින් අවසන් වුවහොත් මේ කණ්ඩායම් දෙක සම ශූරයින් ලෙස කිරුළු පළඳිනවා.

අවසන් තරගයේ දී පිටියේ විනිසුරුවරුන් ලෙස කටයුතු කරන්නේ Richard Illingworth සහ Michael Gough වන අතර, තෙවන විනිසුරු ලෙස Richard Kettleborough ද, සිව්වැනි විනිසුරු ලෙස Alex Wharf ද කටයුතු කිරීමට නියමිත බව ICCය සඳහන් කළා.

තරගය සඳහා ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම මේ වන විටත් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

  • ඉන්දීය කණ්ඩායම: Rohit Sharma, Shubman Gill, Cheteshwar Pujara, Virat Kohli (නායක), Ajinkya Rahane, Rishabh Pant (wk), Ravindra Jadeja, Ravichandran Ashwin, Ishant Sharma, Mohammed Shami, Jasprit Bumrah.
  • නවසීලන්ත සංචිතය: Kane Williamson (නායක), Tom Blundell, Trent Boult, Devon Conway, Colin de Grandhomme, Matt Henry, Kyle Jamieson, Tom Latham, Henry Nicholls, Ajaz Patel, Tim Southee, Ross Taylor, Neil Wagner, BJ Watling, Will Young.

තවද මෙම තරගයේ දී අලුතින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන ලද තරග කොන්දේසි කිහිපයක් ද අත්හදා බැලීමට ICCය සූදානමින් සිටිනවා. ඒ අනුව පිතිකරුවන් දුවද්දී ලබා ගන්නා ලකුණු හරිආකාරව ලබා ගන්නවා දැයි රූපවාහිනි විනිසුරු නිරීක්ෂණය කිරීම, පිතිකරු කඩුල්ල මුවා කිරීමේ වරදට දැවී යාම් ලබා දීමේ දී පන්දුව සහ කඩුල්ල අතර උස තීරණය කිරීමේ නව ක්‍රමවේදය අත්හදා බැලීම සහ විනිසුරු තීරණ විමසීමේ ක්‍රමයේ දී විනිසුරු තීරණ විමසීමට පෙර විනිසුරු සමඟ එකඟතාවක් ඇතිකර ගැනීම එම නව වෙනස්කම් කිහිපයයි.

මේ අවසන් මහා තරගයේ තොරතුරු ද ඇතුළත්ව ලොව සියලු උණුසුම් ක්‍රීඩා තොරතුරු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<