2023 ජාතික ක්‍රීඩා දින දර්ශනය නිකුත් කරයි

1183

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2023 වසරේ දී සහභාගී වීමට නියමිත ජාතික සහ ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව් හි කාලසටහන ක්‍රීඩා අමාත්‍යංශය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

2023 වසරේ පැවැත්වීමට නියමිත විශාලතම ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලියක් ලෙස සැලකෙන ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මාසයේ චීනයේ දී පැවැත්වීමට නියමිත අතර 14 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පාකිස්තානයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ මාර්තු මාසයේ දීයි.

එමෙන්ම මෙම වසර තුළ විශේෂ ඔලිම්පික් ලෝක ක්‍රීඩා තරගාවලියක් ජුනි මාසයේත්, පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙල අගෝස්තු මාසයේත් පැවැත්වීමට නියමිත අතර හයවැනි ආසියානු ගෘහස්ථ ක්‍රීඩා උළෙල නොවැම්බර් මාසයේ දීත් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

කොරෝනා වසංගතය නිසා වසර ගණනාවක් පැවැත්වීමට නොහැකි වූ ජාතික මහා ක්‍රීඩා උළෙලේ පසුගිය වසරේ අදියර මෙම වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා වූ කාලසීමාව තුළ පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ක්‍රීඩා අමාත්‍යංශය සංවිධානය කරන ප්‍රධානතම තරගාවලිය වන්නේ ද එයයි.

ජාතික ක්‍රීඩා පිටියේ තවත් අවධානය දිනා ගත් තරගාවලියක් වන 35 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ ග්‍රාම සේවා වසම් තරග ජනවාරි සිට මාර්තු දක්වාත්, දිස්ත්‍රික් තරග මැයි සිට ජුනි 15 දක්වාත් පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ සමස්ත අවසන් ක්‍රීඩා උළෙල (මලල ක්‍රීඩා) පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ සැප්තැම්බර් මාසයේ අවසන් සති දෙක තුළයි.

මෙම තරගාවලිවලට අමතරව එක් එක් ක්‍රීඩා කේන්ද්‍ර කර ගනිමින් ජාතික සහ ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලි රැසක් මෙම වසරේ පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ක්‍රිකට්

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඉතා තරගකාරී වසරක් වන මෙම වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ප්‍රධාන වශයෙන් ඔක්තෝබර් මාසයේ ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත පිරිමි එක්දින ලෝක කුසලානයට සහභාගී වීමට නියමිතයි.

19න් පහළ කාන්තා ක්‍රීඩිකාවන් දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගී වන අතර ආසියානු කුසලානය (පිරිමි) සැප්තැම්බර් මාසයේ පාකිස්තානයේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම වසරේ දී සංවිධානය කරන ප්‍රධානතම තරගාවලිය ලෙස ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සැප්තැම්බර් 23 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ජාතික සුපර් ලීග් සිව්දින සහ එක්දින තරගාවලිය ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලසීමාව තුළ පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

කාන්තා දේශීය ක්‍රිකට් පිටියේ මෙම වසර තුළ කාන්තා සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලිය ඇතුළු තරගාවලි කිහිපයක්ම පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර තිබෙනවා.

රග්බි

ජාත්‍යන්තර රග්බි පිටියේ මෙම වසර තුළ ශ්‍රී ලංකාව සහභාගි වෙතැයි අපේක්ෂා කළ හැකි තරගාවලි වන්නේ මාර්තු මාසයේ දී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සහ සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙලයි.

දේශීය රග්බි පිටියේ සුපුරුදු පරිදි අන්තර් සමාජ රග්බි තරගාවලිය මේ වන විට පැවැත්වෙමින් පවතින අතර කාන්තා දස සාමාජික අන්තර සමාජ තරගාවලිය ද පැවැත්වීමට ශ්‍රී ලංකා රග්බි ආයතනය කටයුතු කරනවා.

එම තරගාවලිවලට අමතරව අන්තර් සමාජ නැගී එන (තෙවැනි කාණ්ඩය) සහ දෙවැනි පෙළ තරගාවලි මෙම වසර තුළ පැවැත්වීමට නියමිත අතර කාන්තා පහළොස් සාමාජික පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය සහ පිරිමි Clifford කුසලාන තරගාවලිය ද පෙබරවාරි සිට මාර්තු කාලසීමාවේ පැවැත්වීමට නියමිතයි.

වොලිබෝල්

ජාත්‍යන්තර වොලිබෝල් පිටියේ 2023 වසර ආරම්භ කරමින් පළමු ආසියානු 16න් පහළ වොලිබෝල් ශූරතාවය චීනයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර 22 වැනි ආසියානු පිරිමි වොලිබෝල් ශූරතාවය අගෝස්තු මාසයේ ඉරානයේ දී සහ කාන්තා ශූරතාවය සැප්තැම්බර් මාසයේ තායිලන්තයේ දී පැවැත්වීමට නියමිතයි.

19 වැනි ආසියානු වෙරළ වොලිබෝල් ශූරතාවය සැප්තැම්බර් මාසයේ චීනයේ දී පැවැත්වීමට සූදානම් කර ඇති අතර මෙම වසර තුළ කාන්තා සහ පිරිමි දකුණු ආසියානු වොලිබෝල් ශූරතාවය පැවැත්වීමට නියමිත ඇති නමුත් ඒවා පැවැත්වෙන දින වකවානු තවමත් ප්‍රකාශයට පත් කර නැහැ.

ජාතික වොලිබෝල් පිටියේ ප්‍රධානතම තරගාවලි වන ‘Munchee’ ජාතික වොලිබෝල් ශූරතාවය මාර්තු 01 සිට 31 දක්වාත්, ‘DSI’ පාසල් වොලිබෝල් ශූරතාවය අප්‍රේල් සිට ජූලි දක්වාත් පැවැත්වීමට ශ්‍රී ලංකා වොලිබෝල් සංගමය කටයුතු සූදානම් කරමින් පවතිනවා.

මලල ක්‍රීඩා

මලල ක්‍රීඩා පිටියේ 2023 වසරේ ජාත්‍යන්තර තරගාවලි ලෙස මාර්තු මාසයේ දකුණු ආසියානු ක්‍රීඩා උළෙල, ජූලි මාසයේ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සහ සැප්තැම්බර් මාසයේ ආසියානු ක්‍රීඩා උළෙල යන ක්‍රීඩා තරගාවලි පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම ලෝක මලල ක්‍රීඩා ශූරතාවය අගෝස්තු මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවය අප්‍රේල් මාසයේ දී සහ කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය ජුනි මාසයේ දී පැවැත්වීමට නියමිතයි.

දේශීය මලල ක්‍රීඩා පිටියේ ප්‍රධානතම තරගාවලිය වන 101 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවය මැයි මාසයේ පැවැත්වීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් සැලසුම් කර ඇති අතර පළමු වරට ශ්‍රී ලංකා Grand Prix තරගාවලියක් අගෝස්තු මාසයේ දී පැවැත්වීමට ද ඔවුන් කටයුතු සූදානම් කරමින් පවතිනවා.

එමෙන්ම මෙම වසර තුළ දේශීය මලල ක්‍රීඩා පිටියේ තේරීම් තරගාවලි කිහිපයක් ද පැවැත්වීමට මලල ක්‍රීඩා සංගමය සුදානමින් පසුවනවා.

දැල්පන්දු

දැල්පන්දු පිටියේ මෙම වසර තුළ පැවැත්වෙන ප්‍රධානතම තරගාවලිය වන්නේ ජූලි 28 සිට අගෝස්තු 06 දක්වා දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත දැල්පන්දු ලෝක කුසලානයයි.

එම තරගාවලියට අමතරව මැයි මාසයේ දී 16න් පහළ දකුණු ආසියානු තරගාවලිය සහ දකුණු ආසියානු පිරිමි දැල්පන්දු ශූරතාවය ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ජාතික දැල්පන්දු පිටියේ මෙම වසර තුළ ජාතික ශූරතාවය ජනවාරි මාසයේ දී පැවැත්වෙන අතර කනිෂ්ඨ දැල්පන්දු ශූරතාවය ඔක්තෝබර් සහ සුපිරි ලීගය නොවැම්බර් මාසවල දී පැවැත්වීමට දැල්පන්දු සම්මේලනය සැලසුම් කර තිබෙනවා.

මෙම ක්‍රීඩා ඉසව්වලට අමතරව එක් එක් ක්‍රීඩා අංශ කේන්ද්‍ර කර ගනිමින් 2023 වසර තුළ ක්‍රීඩා ඉසව් රැසක් පැවැත්වීමට නියමිතයි.

>> 2023 වසරේ සම්පූර්ණ ක්‍රීඩා දින දර්ශනය <<

2023 ජාතික සහ ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලි වල තොරතුරු එසැණින් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<