පළමු අර්ධ ශතකය අශානි කෞශල්‍යා ගෙන්

NSL Womens U23 T20 Tournament 2024

124
NSL Womens U23 T20 Tournament 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League වයස අවුරුදු 23න් පහළ විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලිය අද (15) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූවා.

එහි දී ගිරිඋල්ල වික්‍රමශීලා ජාතික පාසල නියෝජනය කරන තවමත් 19 හැවිරිදි වියේ පසුවෙන අශානි කෞශල්‍යා තරගාවලියේ පළමු අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වීම කැපී පෙණුනා. Colombo කණ්ඩායම නියෝජනය කරන ඇය මෙම දක්ෂතාව සිදු කළේ  Kandy කණ්ඩායමට එරෙහිවයි.

තරගාවලිය ආරම්භ කරමින් අද තරග 2ක් පැවැති අතර එහි දී Colombo කණ්ඩායම Kandy කණ්ඩායමට එරෙහි ව ලකුණු 61ක ජයග්‍රහණයක් ද සහ Dambulla කණ්ඩායම Galle කණ්ඩායමට එරෙහි ව ලකුණු 14ක ජයග්‍රහණයක් ද වාර්තා කිරීමට සමත් වෙනවා.

Colombo සහ Kandy අතර තරගය

කාසියේ වාසිය දිනාගත් අගනුවර ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගනිමින් පිටියට පිවිස කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 152ක් ලබා ගත්තා. එම ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ අශානි කෞශල්‍යා. ඇය පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 86ක් ලබා ගන්නවා.

එම ඉනිම ආරම්භ කළ නායිකා ශිකරි ද සිල්වා ලබා ගත් ලකුණු සංඛ්‍යාව 42ක්. ඇය ඒ වෙනුවෙන් පන්දු 32ක් වැය කරන ලද අතර ඊට හතරේ පහර 5ක් සහ හයේ පහරක් ඇතුලත් කරනවා.

ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට පන්දු 65ක දී ලකුණු 92ක සබඳතාවක් එක් කරනවා.

ඊට අමතර ව අශානි කෞශල්‍යා සහ ප්‍රබුද්ධි ගයනා (12) එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 47ක දී ලකුණු 55ක් එක් කිරීම ද එම ඉනිමේ කැපී පෙණෙන ඉනිම් බවට පත් වුනා.

අගනුවර ඉනිමේ දැවී ගිය කඩුලු ද්විත්වය ම දවා ගැනීමට දේවගී ජෙගනාතන් සමත් වූවා. ඇය තම පන්දු වාර 4 අවසන් කරන්නේ ලකුණු 32ක් ලබා දෙමිනුයි.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මහනුවර ක්‍රීඩිකාවන්ට ලබා ගැනීමට හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 91ක් පමණයි. එම ඉනිම ඒ තරමින් පාලනය කිරීමේ දී නෙත්මි සංජනා කඩුලු 3ක් දවා ගන්නවා. ඇය එම දක්ෂතාව සිදු කරන්නේ තම පන්දු වාර 4 ලකුණු 11කට සීමා කරමිනුයි.

ඊට අමතර ව දිනිති සේනානායක, මදාරා සමරකෝන්, රශ්මි සෙව්වන්දි සහ හෂිනි ලියනගේ කඩුල්ල බැගින් බෙදා ගන්නවා.

මහනුවර ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ සෙව්මිණි සසිකලා. ඇය පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 15ක් ලබා ගන්නවා. ඊට අමතර ව නායිකාව වන නෙත්මි ගුණරත්න සහ ප්‍රමුදි මෙත්සර ලකුණු 12ක් බැගින් ලබා ගන්නවා.

අනෙක් සියලුම දෙනාට සිදු වෙන්නේ ඉලක්කම් 2 සීමාවෙන් මෙපිට සිට තම කඩුලු පූජා කිරීමටයි.

තරගයේ කෙටි ලකුණු පුවරුව

 

Colombo Women’s – කඩුලු 2ක් දැවී 152 (20.0) ශිකරි ද සිල්වා 42, අශානි කෞශල්‍යා 86, දේවගී ජෙගනාතන් 2/33

 

Kandy Women’s – සියලුම දෙනා දැවී 91 (18.3) නෙත්මි ගුණරත්න 12, ප්‍රමුදි මේතසර 12, සෙව්මිණි සසිකලා 15, නෙත්මි සංජනා 3/11

 

Colombo Women’s කණ්ඩායමට ලකුණු 61ක ජයක්.

Dambulla සහ Galle අතර තරගය

කාසියේ වාසිය දිනා ගත් දඹුලු ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 83ක් පමණයි. එම ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත්තේ ජනාදි අනලි විසිනුයි. ඇය පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 26ක් ලබා ගත්තා.

ඊට අමතර ව දුලංගා දිසානායක නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 19ක්. ඇය මේ වෙනුවෙන් පන්දු 25කට මුහුණ දුන් අතර හතරේ පහර 2ක් ඊට ඇතුලත් කළා.

අනෙක් කිසිදු ක්‍රීඩිකාවකට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවන් කරා පැමිණිමට ප්‍රතිවාදී ගාලු පන්දු යවන්නියෝ ඉඩ ලබා දුන්නේ නැහැ.

එහි දී හොඳම පන්දු යැවීම වාර්තා කළේ යසන්ති හේරත්. ඇය ලකුණු 13කට කඩුලු 3ක් දවා ගන්නවා. ඊට අමතර ව දෙවිම් විජේරත්න සහ අශානි සමින්දි කඩුලු 2ක් බැගින් දවා ගන්නවා.

පන්දු යවන්නියන් සහ පන්දු රකින්නියන් විසින් එලෙස ප්‍රතිවාදී ඉනිම අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කළ ද ගාලු පිතිකාරිනියන්ට එම ඉලක්කය සපුරා ගැනීමට හැකි වෙන්නේ නැහැ.

ඔවුන්ගේ ඉනිම ලකුණු ලකුණු 69ක් තිබිය දී නතර වෙන්නේ තවත් පන්දු 5ක් ඉතිරිව තිබියදීයි. එම ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වන්නේ චමෝදි දෙවින්ද්‍යා. ඇය පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 15ක් ලබා ගන්නවා.

ඊට අමතර ව යසන්ති හේරත් පන්දු 8කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 10ක් ලබා ගන්නවා. අනෙක් කිසිදු පිතිකාරිනියකට ද පෙර කණ්ඩායම සේ ම ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවන් කරා යෑමට ඉඩ ලැබෙන්නේ නැහැ.

කඩුලු දවා ගැනීමේ දී ලිමිනි තිලකරත්න, දුලාංගා දිසානායක, විදුශිකා පෙරේරා සහ ජනාදි අනලි කඩුලු 2ක් බැගින් බෙදා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

 

Dambulla Women’s – සියලුම දෙනා දැවී 83 (19.3) ජනාදි අනලි 26, දුලංගා දිසානායක නොදැවී 19, යසන්ති හේරත් 3/13, අශානි සමින්දි 2/18, දෙව්මි විජේරත්න 2/09

 

Galle Women’s – සියලුම දෙනා දැවී 69 (19.1) චමෝදි දේවින්ද්‍යා 15, යසන්ති හේරත් නොදැවී 10, විදුශිකා පෙරේරා 2/11, ජනාදි අනලි 2/19, ලිමිනි තිලකරත්න 2/09, දුලාංගි දිසානායක 2/10

 

Dambulla Women’s කණ්ඩායමට ලකුණු 14ක ජයක්.

National Super League වයස අවුරුදු 23න් පහළ විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 2ක් මේ මස 17 වැනිදා පැවැත්වෙන අතර එම තරග ද්විත්වය ද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<