ශ්‍රී ලංකාවේ දැල්පන්දුව ක්‍රීඩිකාවන්ගේ උස මතම යැපෙනවා ද?

3666

තර්ජිනී සිවලිංගම්, මෙලනි විජේසිංහ සහ එලිලේන්තිනී සේතුකාවලර් යන නම් ත්‍රිත්වය පසුගිය සති කිහිපය පුරාවට ශ්‍රී ලංකාවේ දැල්පන්දු රසික රසිකාවියන් හට නිතර අසන්නට ලැබෙන්නට ඇත.

ශ්‍රී ලංකාවේ දැල්පන්දුවේ ප්‍රහාර එල්ල කිරීමේ (shooting) වගකීම දරන්නේ අඩි 6කටත් අධික උසකින් යුතු ඔවුන් තිදෙනායි.

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය මඟින් සංවිධානය කරනු ලැබූ ශ්‍රී ලංකා ආරාධිත ජාත්‍යන්තර දැල්පන්දු තරගාවලිය පසුගිය මැයි මස 27 වන දින සිට 30 වන දින දක්වා පැවතියේ ශ්‍රී ලංකා, සිංගප්පූරු ජාතික කණ්ඩායම් සහ ශ්‍රී ලංකා සංවර්ධන සංචිතය සහ එක්සත් රාජධානියේ ‘PStar Netball Club’ යන කණ්ඩායම් වල සහභාගීත්වයෙනි.

සිංගප්පූරු ක්‍රීඩිකාවන් හමුවේ ශ්‍රී ලංකාවට තියුණු ජයක්

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය විසින් සංවිධානය කළ සිව්කොන් ආරාධිත ජාත්‍යන්තර දැල්පන්දු..

එහි දී ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර පැවති අවසන් තරගය ඉතා උණුසුම් තරගයකින් අනතුරුව ලකුණු 72-70ක් ලෙස ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය අපරාජිතව අවසන් කරන්නට සමත් විය. තරගාවලියේ පළමු තරගයේ දී සිංගප්පූරු කණ්ඩායම ලකුණු 65-45ක් වශයෙනුත්, පසුව ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම ලකුණු 74-24ක් වශයෙනුත්, අවසාන වශයෙන් ‘PStar Netball Club’ කණ්ඩායම ලකුණු 97-13ක් වශයෙනුත් පරාජයට පත්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා පහසුවෙන් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගන්නට සමත් විය.

එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම ඔවුන් සහභාගී වූ දෙවන හා තෙවන තරග කණ්ඩායමේ ක්‍රීඩකයින් සුසංයෝගය පරීක්‍ෂා කිරීමට යොදා ගනු ලැබූ අතර ඒ අනුව කණ්ඩායමට ඉතා වැදගත් ක්‍රීඩිකාවන් වූ ගයාන්ජලී අමරවංස, ගයනි දිසානායක, චතුරංගි ජයසූරිය සහ තර්ජිනී සිවලිංගම් යන ක්‍රීඩිකාවන් එම තරග දෙක තුළ වැඩි වේලාවක් ක්‍රීඩා කරනු නොලැබීය.   

තර්ජිනී 2014 වසරේ දී පරිපාලනය සමඟ ගැටී කණ්ඩායමෙන් ඉවත් කිරීමෙන් අනතුරුව පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා ක්‍රීඩා කරනු ලැබුවේ මෙම තරගාවලියේ දී ය. 2005 වසරේ දී සිය පළමු තරගය ක්‍රීඩා කිරීමේ සිට දක්වාම (ජාතික තලයෙන් ඈත්ව සිටි 2014 සිට 2018 කාලය තුළත්) ශ්‍රී ලංකාවේ දැල්පන්දු ක්‍රීඩාවේ සුපිරි තරුව ලෙස ඉදිරියෙන් පැවතියේ ඇයගේ නාමය යි.

අඩි 6 අඟල් 10ක උසකින් යුතු ඇය 2009, 2012 සහ 2014 වසරවල දී ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ආසියානු දැල්පන්දු ශූරතාවලියේ අවසන් මහා තරගයට රැගෙන යන්නට සමත් වූ අතර එහි දී 2009 වසරේ දී තරගාවලියේ ශූරතාවය ද ශ්‍රී ලංකාවට හිමිකර දෙන්නට ඇය සමත් විය.

කෙසේ නමුත් තර්ජිනී හට ලැබුණු ඉහළම ගෞරවය ඇයට ලැබුණු පුද්ගලික සම්මානයකි. ඒ 2011 වසරේ සිංගප්පූරුවේ දී පැවති දැල්පන්දු ලෝක ශූරතා තරගාවලියේ දී හොඳම ප්‍රහාරක ක්‍රීඩිකාව (Best Shooter) සම්මානයෙන් ඇය පිදුම් ලැබීමයි. කණ්ඩායම් 16ක් සහභාගී වූ තරගාවලියක 14 වන ස්ථානය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ කාණ්ඩ තරග වටයෙන් ඔබ්බට ද සුදුසුකම් ලබා ගැනීමට සමත් නොවූ අතර එවන තත්වයක් යටතේ තර්ජිනී හට එම සම්මානය හිමි වීම ඉතා විරල සිදුවීමකි.

ශ්‍රී ලංකා කණ්ඩායම තර්ජිනී සහිතව ක්‍රීඩා කරන තරගයක් ඔබ නරඹා ඇත්නම් ශ්‍රී ලංකා කණ්ඩායමේ උපක්‍රමය කුමක් දැයි ඔබට ඉතා පහසුවෙන් වැටහෙන්නට ඇත. එනම් තර්ජිනී හට ‘goal circle’ කලාපය හට පන්දුව බාර කිරීම පමණි.

එමෙන්ම තර්ජිනී ද ඇයගේ පැනීමේ කාලය සහ නිසි පරිදි පන්දු ප්‍රහාරක කාර්යය සිදු කිරීම වැනි කුසලතාවන් වැඩිදියුණු කරගෙන ඇත. ඇය ඔබ දකින පන්දුව නිවැරදිව ප්‍රහාරය කරන දක්‍ෂතම ක්‍රීඩකාවන් අතරින් කෙනෙකි. ‘Goal circle’ කලාපය තුළ නිදහස් වීමට ඇයට එතරම් වෑයමක් දැරීමට සිදුනොවන අතර ඇයගේ උස පමණක් ඊට ප්‍රමාණවත් ය. ඒ අනුව ඇයට පන්දුව ලබාගත හැකි උස සීමාව පිළිබඳව සලකා බැලූ විට ආරක්‍ෂක ක්‍රීඩිකාවන් හට ඒ පිළිබඳව කිරීමට හැකි කිසිවක් නොමැත.

පසුගිය දා අවසන් වූ ආරාධිත දැල්පන්දු තරගාවලියේ දත්ත සලකා බැලූ විට ඇය යොමු කළ පහරවල් 133න් 128ක්ම (තරග 2ක දී) සාර්ථක කරගන්නට ඇය සමත්ව ඇත. එය 96%ක තරම් ඉහළ සාර්ථකත්වයකි. කෙසේ නමුත් ඇයගේ ක්‍රීඩා දිවිය පිළිබඳව නිසි අවබෝධයක් ඇති අයෙකුට නම් එය පුදුමයට කරුණක් නොවනු ඇත.

කෙසේ නමුත් අපි අවධානය යොමු කළ යුතු තවත් කරුණක් පවතී. ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ සහභාගී වූ පළමු තරගයේ දී ලකුණු ලබාගැනීමට උත්සාහයන් 71ක් සිදු කර ඇත. ඉන් 61ක් තර්ජිනී විසිනුත්, ඉතිරි 10 ‘Goal Attack’ ලෙස ක්‍රීඩා කරනු ලැබූ හසිතා මෙන්ඩිස් විසින් සිදුකර ඇත. ඒ ආකාරයටම ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරගයේ දී උත්සාහයන් 75ක් සිදු කර ඇති අතර ඉන් උත්සාහයන් 72කම හිමිකාරීත්වය දරන්නේ තර්ජිනී ය.

එය සිංගප්පූරු කණ්ඩායම සමඟ සංසන්දනය කළ විට ඔවුන්ගේ චාමේන් සෝ (GA) ලී පෙයි ශෑන් (GS) යුගලය අතර උත්සාහයන් බෙදී ගොස් ඇත්තේ පිළිවෙළින් 46%ක් සහ 54%ක් ලෙසය. ඒ අනුව බොහෝ දුරට ඔවුන් දෙදෙනා අතර එය සමානව බෙදී ගොස් ඇත. ඔබ තරග නැරඹුවා නම් ශ්‍රී ලංකාව සමඟ සංසන්දනය කළ විට ඔවුන් ‘goal circle’ කලාපය තුළ ශ්‍රී ලංකාවට ක්‍රීඩිකාවන්ට වඩා චලනය වන ආකාරය දැකගන්නට ඇත. ඒ අනුව සිංගප්පූරු කණ්ඩායමේ මැදපෙළ ක්‍රීඩිකාවන් හට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට වඩා තේරීමක් හිමි වූ අතර එය ප්‍රහාරක ක්‍රීඩිකාවන් ප්‍රතිවාදී ක්‍රීඩිකාවන් විසින් හොඳින් ආවරණය කරනු ලැබූ අවස්ථාවන් වල පැහැදිලිව දැක ගත හැකි විය.

ඔබ තරග නැරඹුවා නම් මෙම දත්ත එතරම් පුදුම වීමට කරුණක් ද නොවේ. ක්‍රීඩා පිටියේ ඔවුන්ගේ කලාපය වෙත ළඟා වන ඕනෑම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් උත්සාහ දරන්නේ පන්දුව තර්ජිනී හට ලබා දීමටයි. මෙම තත්වය ‘Goal Attack’ ක්‍රීඩිකාව හට පන්දුව ප්‍රහාර කිරීමට ඉතා පහසු අවස්ථාවන් වලදී පවා හොඳින් දැක ගත හැකි විය.

ඒ අනුව මෙම දත්ත තර්ජිනී සමඟ බොහෝ විට ‘Goal Attack’ ස්ථානයේ ක්‍රීඩා කරනු ලබන හසිතා මෙන්ඩිස්ගේ හැකියාවන් පෙන්වන්නේ නැත. තර්ජිනී නොමැති අවස්ථාවන් වලදී ඇය තරම් ඉහළ තත්වයකින් නොමැතිව වුවත්, හසිතා පන්දුව ඉතා නිවැරදිව ප්‍රහාර කරන ආකාරය දැක ගත හැකිය. ඇය පිටිය පුරාවට හොඳින් චලනය වන අතර එය ‘goal circle’ කලාපය ආසන්නයේ ඉතා හොඳින් දැක ගත හැකි විය.

තර්ජිනී මේ දක්වා ඉතා සාර්ථකත්වයට පත්වී ඇති අතර කුමන ප්‍රතිවාදියා හමුවේ වුවද ඇය සාර්ථක වන බව නොඅනුමානය. ඒ අනුව එය එතරම් ගැටලුවක් නොවේ. ඒ අනුව සලකා බැලිය යුතු කරුණක් වන්නේ ශ්‍රී ලංකා දැල්පන්දු පරිපාලනය නව ක්‍රීඩිකාවන් සොයා යාමේ දී ඔවුන්ගේ උස පිළිබඳව දැඩි සැලකිල්ලක් දැක්වීමයි.            

මෙලනි විජේසිංහ සහ එලිලේන්තිනී සේතුකාවලර් මෙම ආරාධිත දැල්පන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ‘Goal Shooter’ ක්‍රීඩිකාවන් ලෙස ක්‍රීඩා කරනු ලැබූ ක්‍රීඩිකාවන් දෙපළකි. එහි දී එල්ලිලේන්තිනී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම වෙනුවෙනුත්, මෙලනි ශ්‍රී ලංකා සංවර්ධන සංචිතය වෙනුවෙනුත් ක්‍රීඩා කරනු ලැබීය.

තර්ජිනී මෙන් එලිලේන්තිනී ද යාපනය ප්‍රදේශයෙන් බිහි වූ ක්‍රීඩිකාවක් වන අතර ඇයව හෙළිදරව් වූයේ මීට මාස දෙකකට පමණ ඉහත දී පැවති අන්තර් සංගම් දැල්පන්දු තරගාවලියකිනි. අඩි 6 අඟල් 5ක උසකින් යුතු 23 හැවිරිදි  ඇය ශ්‍රී ලංකා දැල්පන්දු පරිපාලනය සොයමින් සිටි ක්‍රීඩිකාවකි. අනතුරුව ඇයව ජාතික සංචිතය සමඟ පුහුණු වීමට එකඟ කර ගැනීමට හැකි වූ අතර ආරාධිත තරගාවලියේ දී ශ්‍රී ලංකා සංවර්ධන සංචිතය සහ ‘PStar Netball Club’ කණ්ඩායමට එරෙහිව පැවති තරග වලදී ඇයට පළමු වරට අවස්ථාවක් ලබා දෙන ලදි.

තර්ජිනී මෙන් ඇය ද බොහෝ දුරට ඇයගේ උස සහ ළඟා විය හැකි සීමාව මත විශ්වාසය තබන අතර කෙසේ නමුත් ඇය තර්ජිනී තරම් ජංගම ක්‍රීඩා විලාශයක් පෙන්නුම් නොකරයි. ශ්‍රී ලංකා දැල්පන්දු පරිපාලනය ඇයව (සහ ඇගේ උස) ආයෝජනය කිරීමට සූදානමෙන් පසුවන නිසා ඇයට තර්ජිනී මෙන් ඉහළ දක්‍ෂතා දැක්වීමට නම් ඒ පිළිබඳව ද අවධානය යොමුකිරීමට සිදුවනු ඇත.        

සිය උස නිසාවෙන් කරළියට පැමිණ සිටින තවත් ක්‍රීඩිකාවක් වන්නේ ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරනු ලැබූ 16 හැවිරිදි මෙලනි විජේසිංහ යි. ඇය දැනටමත් අඩි 6 අඟල් 3ක උසකින් යුතු අතර ඉදිරි වසර 2ක කාලය තුළ එය තවත් ඉහළ යනු ඇතැයි ශ්‍රී ලංකා දැල්පන්දු පරිපාලනය අපේක්‍ෂාවෙන් පසුවේ.

ජාතික කණ්ඩායමේ ක්‍රීඩිකාවන් ප්‍රතිවාදී ක්‍රීඩිකාවන් ඉහළින් පන්දුව තර්ජිනී හට ලබා දීමට පුරුදුව සිටියත් මෙලනිගේ කණ්ඩායමේ ක්‍රීඩිකාවන් හට එය සිදු කිරීමට තරමක් අපහසු තත්වයක් දිස්විය. එහි දී පන්දුව ලබා දීම නිසි පරිදි සිදුනොකිරීම හෝ ප්‍රතිවාදී ක්‍රීඩිකාවන් පන්දුව ලබා ගැනීම හොඳින් දැක ගත හැකි විය. ඒ අනුව පැහැදිලි වූයේ මෙලනි හට පන්දුව ලබා දීමට නොහැකි වූ විට සංවර්ධන සංචිතයේ ක්‍රීඩිකාව තරමක් කලබලකාරී අන්දමින් ක්‍රීඩා කරන ආකාරය යි.

මෙම ක්‍රීඩිකාවන් තිදෙනාට පන්දුව නිසි පරිදි ලබා දීමට අපොහොසත් වූ අවස්ථාවන් සලකා බලා දත්ත සකස් කළහොත් එවන් අවස්ථාවන් රැසක දී ප්‍රතිවාදී ක්‍රීඩිකාවන් පන්දුව ලබා ගැනීමට සමත් වූ නිසා එය තරමක් අපූරු දත්තයක් වනු ඇත.

ඒ අනුව තර්ජිනී හට පන්දුව ලබා දීමේ උපක්‍රමය වසර ගණනාවක් ශ්‍රී ලංකාවට ප්‍රතිඵල ගෙන දී ඇත. නමුත් අපි එය කනිෂ්ඨ තලය සඳහා ද යොදාගත යුතු ද? ශ්‍රී ලංකා පරිපාලනය හසිතා මෙන්ඩිස් සහ දුලංගි වන්නිතිලක (ආරම්භයේ සිටම ‘GA’ ස්ථානයේ ක්‍රීඩා කරමින් 2015 වසරේ දී ශ්‍රී ලංකා කනිෂ්ඨ කණ්ඩායම ආසියානු ශූරතාවයට ද රැගෙන ගිය ක්‍රීඩිකාවකි) වැනි ක්‍රීඩිකාවන්ගෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගන්නවා ද? ක්‍රීඩිකාවන්ගේ අනෙක් කුසලතා වලට වඩා ඔවුන්ගේ උසට වැඩි සැලකිල්ලක් ලබා දෙනවා ද? යන ගැටලු වලට එළඹෙන සැප්තැම්බර් මාසයේ දී පැවැත්වෙන ආසියානු ශූරතාවලියේ දී පිළිතුරු සැපයෙනු ඇත.   

ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අවසාන මහා තරගයට

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය විසින් සංවිධානය කරන ආරාධිත ජාත්‍යන්තර සිව්කොන් දැල්පන්දු..

සිංගප්පූරු කණ්ඩායම උපක්‍රමශීලී කණ්ඩායමකි. ඔවුන් මෑත අතීතයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම අභිබවමින් ඉදිරියට එන්නට සමත් වූ අතර ඒ අනුව එළඹෙන ආසියානු ශූරතාවලියේ දී තර්ජිනීගේ අභියෝගයට මුහුණ දීමට ද ඔවුන් නිසි සැලැස්මක් සකසනු ඇති බව නොඅනුමාන ය. 40 වියේ පසුවන තර්ජිනී මේ වන විට සිය ක්‍රීඩා දිවියේ අවසන් කාලයේ පසුවන අතර මෙම ආසියානු ශූරතාවලිය ඇයගේ අවසන් තරගාවලිය ද විය හැක.

ඇයගේ ඉවත්ව යාම සමඟ ශ්‍රී ලංකාව කෙසේ කටයුතු කරනු ඇත්ද? ඔවුන් ඇය වැනි උසින් යුතු, ඉතා ඉහළ නිවැරදි පන්දු ප්‍රහාර හැකියාවකින් යුතු ක්‍රීඩිකාවක් සොයා ගැනීම වෙනුවෙන් මුරණ්ඩුව කටයුතු කරනු ඇත්ද? කෙසේ නමුත් මතක තබාගත යුතු කරුණක් වන්නේ තර්ජිනී වැනි අති විශිෂ්ට ක්‍රීඩිකාවක් නැවත සොයා ගැනීම ඉතාමත් අපහසු කටයුත්තක් වනු ඇති බවයි? 

Is Sri Lanka Netball relying too much on height? ලිපියේ පරිවර්තනයකි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<