Hayleys සහ HNB තියුණු ජයග්‍රහණ හිමිකර ගනියි

28 වන වෙළෙඳසේවා ක්‍රිකට් තරගාවලිය 2021

216

ශ්‍රී ලංකා වෙළෙඳසේවා සංගමය විසින් සංවිධානය කරනු ලබන 28වන වෙළෙඳසේවා එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (25) දින කොළඹ දී පැවැත්වුනු අතර එම තරග වලින් Hayleys සහ HNB යන කණ්ඩායම් ජයග්‍රහණ හිමිකර ගත්තා. ඒ අනුව HNB කණ්ඩායම මෙවර තරගාවලිය තුළ වාර්තා කරගත් පළමු ජයග්‍රහණය මෙය වන අතර ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින Hayleys කණ්ඩායම තරග තුනකට මුහුණ දී තවමත් අපරාජිතව සිටිනවා. 

John Keels සහ Hayleys අතර තරගයේ දී John Keels කණ්ඩායම වෙනුවෙන් තුන් ඉරියව් දස්කම් දක්වන ධනංජය ලක්ෂාන් ලකුණු 41ක් රැස්කර ගත් අතර ආරම්භක වමත් පිතිකරු නිපුන් දනංජය ලකුණු 30ක් රැස්කර ගනිමින් John Keels ලකුණු සටහන සවිමත් කළා. පන්දු යැවීමේ දී වමතින් වේගපන්දු යවන කලන පෙරේරා සහ දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක නුවනිඳු ප්‍රනාන්දු කඩුලු 3 බැඟින් දවා ගනිමින් දස්කම් දැක්වූවා.  

John Keels කණ්ඩායම වාර්තා කරගත් ලකුණු 196ක ඉලක්කය හඹා යෑමේ දී Hayleys මුල්පෙළ පිතිකරු නුවනිඳු හතරේ පහර 7ක් සහ හයේ පහරක් එල්ල කරමින් පන්දු 82ක දී අගනා ලකුණු 69ක් රැස්කර ගනිමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණයට අවශ්‍ය මූලික අඩිතාලම සකස් කළා. ඊට අමතරව ඔවුන්ගේ ආරම්භක පිතිකරු රොන් චන්ද්‍රගුප්ත පන්දු 43ක දී වේගවත් ලකුණු 46ක් වාර්තා කරගෙන දස්කම් අතරට පැමිණියා. ඔවුන්ගේ මැදපෙළ පිතිකරුවන් කිහිපදෙනෙකු අසාර්ථක වීම නිසා තරගය ඉතාමත් තියුණු මට්ටමක් දක්වා ඇදී ගිය නමුත් විශාද් රන්දික සහ ලහිරු සමරකෝන් පිළිවෙළින් ලකුණු 28ක් සහ ලකුණු 29ක් වාර්තා කරගනිමින් ඔවුන්ගේ කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය වුනු පසුපෙළ සවිය ලබාදුන්නා. පන්දු යැවීමේ දී දකුණතින් පිටදඟ පන්දු යවන සචින්ත පීරිස් කඩුලු 3ක් දවා ගත්තා. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

Hatton National බැංකුව සහ CDB Finance අතර තරගයේ දී Hatton National බැංකු කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු සඳුන් වීරක්කොඩි ලකුණු 52ක් වාර්තා කරගනිමින් සිය සුපුරුදු දක්ෂතා අතරට පැමිණියා. ඔහුගේ එම ඉනිම සඳහා හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් ඇතුළත් වුනු අතර එම ලකුණු 52ක ලබා ගැනීම සඳහා සඳුන් හට අවශ්‍ය වූයේ පන්දු 47ක් පමණයි. අයන සිරිවර්ධන ලකුණු 32යි. අවසානයේ දී HNB කණ්ඩායම පන්දුවාර 48කුත් පන්දු 2ක් අවසානයේ දී සියල්ලන්ම දැවී ලකුණු 200ක් වාර්තා කරගත්තා. පන්දු යැවීමේ දී ලහිරු මදුසංක පන්දුවාර 9කුත් පන්දු 2ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 31කට කඩුලු 5ක් දවා ගත්තේ නිලකුණු පන්දුවාර දෙකක්ද ක්‍රියාත්මක කරමිනි. එම දවා ගත් කඩුලු 5 අවස්ථාව ද සමඟින් තරගාවලියේ දැනට වැඩිම කඩුලු දවා ගත් පන්දු යවන්නා බවට පත්වීමට මදුසංකට හැකියාව ලැබුනා. 

ලකුණු 201ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි CDB Finance කණ්ඩායමේ පළමු කඩුලු 2ක ලකුණු 19කට දැවී ගොස් තිබිය දී ලහිරු උදාර එම හානිය අවම කරමින් හතරේ පහර 5ක් සහ හයේ පහර දෙකක් සමඟ පන්දු 53ක දී ලකුණු 63ක් රැස්කර ගැනීමට සමත් වුනා. දමිත සිල්වා ලකුණු 30ක් රැස්කර ගැනීමට සමත් වුවත් ඔවුන්ගේ පසුපෙළ පිතිකරුවන් හට තරමක් සාර්ථක වීමට අවස්ථාවක් නොලැබුනු නිසාවෙන් පන්දු ඉතිරිව තිබුන ද කඩුලු ඉතිරිව නොමැති වීම නිසා මෙම තරගය ලකුණු 10කින් පරාජයට පත්වීමට CDB කණ්ඩායමට සිදුවුනා. පන්දු යැවීමේ දී ලක්ෂිත රසාංජන කඩුලු 4ක් දවා ගනිමින් දස්කම් දක්වන විට චමිඳු විජේසිංහ සහ නවීන් ගුණවර්ධන අතරේ කඩුලු 2ක බැඟින් බෙදී ගියා. 

John Keels සහ Hayleys

පී. සරා ඕවල් පිටියේ දී පැවති මේ තරගයේ දී කාසියේ වාසිය දිනාගත් Hayleys කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා. 

John Keels – 196/10 (48.5): ධනංජය ලක්ෂාන් 41, නිපුන් ධනංජය 30, කලන පෙරේරා 3/27, නුවනිඳු ප්‍රනාන්දු 3/32.

Hayleys – 200/8 (39.2): නුවනිඳු ප්‍රනාන්දු 69, රොන් චන්ද්‍රගුප්ත 46, ලහිරු සමරකෝන් 29, සචින්ත පීරිස් 3/40.

Hayleys කණ්ඩායමට කඩුලු 2ක තියුණු ජයක්

Hatton National බැංකුව සහ CDB Finance

NCC පිටියේ දී පැවති මේ තරගයේ දී කාසියේ වාසිය දිනාගත් CDB කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා. 

Hatton National බැංකුව – 200/10 (48.2): සඳුන් වීරක්කොඩි 52, අයන සිරිවර්ධන 32, ලහිරු මදුසංක 5/31.

CDB Finance – 190/10 (44.4): ලහිරු උදාර 63, දමිත සිල්වා 30, ලක්ෂිත රසාංජන 4/47, චමිඳු විජේසිංහ 2/31, නවීන් ගුණවර්ධන 2/37. 

Hatton National බැංකු කණ්ඩායමට ලකුණු 10ක තියුණු ජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<