T20 ලෝක කුසලානයට ගිය සිංහ පෝතකයෝ

ICC Men's T20 World Cup 2024

161

ජුනි මස 01 වැනිදා සිට 29 වැනිදා දක්වා ඇමෙරිකාවේ දී සහ බටහිර ඉන්දීය කොදෙව් රාජ්‍යයේ දී පැවැත්වෙන්න 9 වැනි විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වෙන ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම ඇමෙරිකාව බලා පිටත් වුනා.

විස්සයි විස්ස ලෝක කුසලාන තරග ඉතිහාසයේ මෙතෙක් පැවැති තරගාවලි 8 සඳහා ම ශ්‍රී ලංකාව සහභාගී වී ඇති අතර ඔවුන් 2014 වසරේ දී ශූරයන් ලෙසින් ද සහ 2009 සහ 2012 වසර ද්විත්වයේ අනුශූරයන් ලෙසින් ද අභිශේක ලබා ගත් කණ්ඩායමක් ලෙසයි මෙවර තරගාවලිය සඳහා එක් වෙන්නේ.

තරගාවලිය හා එක් වෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සුපුරුදු ලෙසින් ම වනිඳු හසරංගට හිමි ව ඇති අතර ඔහු මීට පෙර 2021 සහ 2022 වසර ද්විත්වයේ පැවැති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියන් ද නියෝජනය කර තිබෙනවා.

එම තරගාවලියන් ද්විත්වයේ දී තරග 16කට සහභාගී වී ඇති වනිඳු හසරංග ලබා ඇති කඩුලු සංඛ්‍යාව 31ක්. ඉන් කඩුලු 16ක් ම නිමා වු ආසන්නත ම ලෝක කුසලාන තරගාවලියේ දී වාර්තා කර ගැනීමට ඔහු සමත් වෙන අතර එය තරගාවලියක දී පන්දු යවන්නෙක් ලබා ඇති ඉහළ ම කඩුලු සංඛ්‍යාව ලෙසින් ඉතිහාසයට එක් වුනා.

පිතිකරුවෙක් ලෙසින් වනිඳු හසරංග ලබා ඇති ලකුණු සංඛ්‍යාව ඉනිම 11ක දී අයර්ලන්තයට එරෙහිව ලබා ගත් අර්ධ ශතකයක් ද සමඟින් ලකුණු 144ක්.

සංචාරයට එක් වූ කණ්ඩායමේ පිතිකරුවන් ලෙසින් පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, උප නායක චරිත් අසලංක, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා සහ දසුන් ශානක එක් වෙනවා.

මේ අතුරින් කණ්ඩායම නම් කිරීමේ දී ඉදිරි පෙළ පිතිකරුවන් 6 දෙනෙක් වෙත කණ්ඩායම නම් කිරීමේ දී දොරටු විවර වෙනු ඇතැයි සිතිය හැකියි. ඒ අතුරින් පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, උප නායක චරිත් අසලංක, සදීර සමරවික්‍රම සහ කමිඳු මෙන්ඩිස් ට වැඩි තරග ප්‍රමාණයක් හිමි වෙනු වෙතැයි සිතිය හැකියි.

කණ්ඩායමේ ප්‍රධාන දඟ පන්දු යවන්නන් ලෙසින් නායක වනිඳු හසරංග සමඟින් මහීෂ් තීක්ෂණ කටයුතු කරද්දී යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ද කණ්ඩායමේ අසුනක් හිමිකර ගෙන සංචාරයට එක් වෙනවා.

මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග වරම් හිමි නොවූව ද ටෙස්ට් තරගයකට සහ එක්දින ජාත්‍යන්තර තරග 21කට ක්‍රීඩා කර ඇති දුනිත් වෙල්ලාලගේ ද මෙම සංචාරය හා එක් වීමට වරම් ලබා ගැනීම විශේෂත්වයක්. ඔහු මේ දක්වා පළමු පෙළ විස්සයි විස්ස තරග 37කට එක් ව ඇති අතර එහි දී කඩුලු 34ක් සහ ලකුණු 240ක් ලබා ගැනීමට ඔහු සමත් ව සිටිනවා.

දඟ පන්දු යවන්නන්ගේ සංචිතයේ ඔවුන් තිදෙනාට අමතර ව කණ්ඩායම හා එක් ව සිටින කමිඳු මෙන්ඩිස්, චරිත් අසලංක මෙන් ම ධනංජය ද සිල්වා ද අවශ්‍ය අවස්ථාවක දී විශ්වාසවන්ත පන්දු යවන්නන් ලෙසින් පන්දුව අතට දිය හැකි සහායක දඟ පන්දු යවන චරිත ලෙසින් නම් කර තිබෙනවා.

කණ්ඩායමේ වේග පන්දු යවන්නන් සුසැදි ඇත්තේ දුෂ්මන්ත චමීර, නුවන් තුෂාර, මතීෂ පතිරණ සහ ඩිල්ශාන් මදුශංකගෙනුයි. ඊට අමතර ව ඇන්ජලෝ මැතිව්ස් සහ දසුන් ශානක ද සහායක වේගපන්දු යවන්නන් ලෙසින් තමන් ගේ සේවය කණ්ඩායම වෙත ලබා දෙනු ඇත.

මෙම බලඇණියෙන් වැඩි වගකීම් ප්‍රමාණයක් දුෂ්මන්ත චමීර වෙත හිමි වෙතැයි සිතෙන අතර යොවුන් ක්‍රීඩකයෙක් ලෙසින් වඩාත් විශ්වාසවන්තයෙක් වී සිටින මතීෂ පතිරණ ද ප්‍රධාන පන්දු යවන්නෙක් ලෙසින් මෙම තරගාවලියේ දී කටයුතු කරතැයි සිතේ.

දෙවැනි තේරීමක දී ඩිල්ශාන් මධුශංක ඉදිරියෙන් සිටින අතර නුවන් තුෂාර ගේ මෑත කාලීන දක්ෂතා ද සුළු කොට තැකිය නොහැකියි.

සංචාරය සදහා මෙම කණ්ඩායම හා එක් ව සිටින සදීර සමරවික්‍රම, කමිඳු මෙන්ඩිස්, මතීෂ පතිරණ, දුනිත් වෙල්ලාලගේ සහ නුවන් තුෂාර ලෝක කුසලාන විස්සයි තරගාවලියකට එක් වෙන පළමු අවස්ථාව මෙයයි.

ඊට අමතර ව ගිය වර ලෝක කුසලාන තරගාවලියේ ස්ථානයක් හිමි නොවූ ඇන්ජලෝ මැතිව්ස් ද මෙම කණ්ඩායම හා එක් වීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා ක්‍රීඩකන්ගේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග දක්ෂතා

Batting Bowling
Players Mat Runs Best Av Wkts Best Econ
1 වනිඳු හසරංග 65 650 71 15.11 104 4/09 6.84
2 චරිත් අසලංක 44 990 80* 25.38 0 6.16
3 කුසල් මෙන්ඩිස් 64 1554 86 25.06  
4 පැතුම් නිස්සංක 48 1231 75 27.97  
5 කමිඳු මෙන්ඩිස් 10 209 65* 26.12 0 8.75
6 සදීර සමරවික්‍රම 18 310 61* 20.66  
7 ඇන්ජලෝ මැතිව්ස් 87 1354 81* 27.63 45 3/16 7.12
8 දසුන් ශානක 97 1444 74* 20.92 31 3/16 8.39
9 ධනංජය ද සිල්වා 43 792 66* 20.84 15 2/22 6.91
10 මහීෂ් තීක්ෂණ 46 36 11* 3.60 44 3/17 6.72
11 දුනිත් වෙල්ලාලගේ  
12 දුෂ්මන්ත චමීර 55 101 24* 6.73 55 4/17 8.08
13 මතීෂ පතිරණ 6 10 5* 10.00 11 4/24 9.55
14 නුවන් තුෂාර 8 8 6 8.00 11 5/20 8.97
15 ඩිල්ශාන් මදුශංක 14 2 1* 0.66 14 3/24 9.41
අතිරේක ක්‍රීඩකයන්
16 අසිත ප්‍රනාන්දු 3 1 1* 1.00 2 1/34 11.30
17 විජයකාන්ත වියස්කාන්ත 1 13 13* 1 1/28 7.00
18 භානුක රාජපක්ෂ 37 678 77 24.21
19 ජනිත් ලියනගේ 3 28 11 9.33

ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම

වනිඳු හසරංග (නායක), චරිත් අසලංක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා), සදීර සමරවික්‍රම (කඩුලු රකින්නා), ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස්, දසුන් ශානක, දුශ්මන්ත චමීර, ඩිල්ශාන් මධුශංක, මතීෂ පතිරණ, මහීෂ් තික්ෂණ, නුවන් තුෂාර සහ දුනිත් වෙල්ලාලගේ.

අතිරේක ක්‍රීඩකයන් – අසිත ප්‍රනාන්දු, විජයකාන්ත් වියස්කාන්ත්, භානුක රාජපක්ෂ සහ ජනිත් ලියනගේ.

තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම එක් වෙන්නේ D කාණ්ඩයෙනුයි. එම කාණ්ඩය නියෝජනය කරමින් දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය, නේපාලය සහ නෙදර්ලන්තය යන කණ්ඩායම් සහභාගී වීමට නියමිතයි.

මෙම කාණ්ඩයෙන් පළමු ස්ථාන ද්විත්වයට පත් වෙන කණ්ඩායම් සුපිරි 8 වටය සඳහා එක් වීමට සුදුසුකම් ලබා ගන්නවා. එම තරග ජුනි මස 19 වැනිදා සිට ආරම්භ වීමට නියමිතයි.

තරග කාල සටහන

  • ජුනි 03 – දකුණු අප්‍රිකාව සමඟ Nassau County ක්‍රිකට් ක්‍රීඩාංගණය, New York.
  • ජුනි 08 – බංග්ලාදේශය සමඟ Grand Prairie ක්‍රීඩාංගණය, Dallas.
  • ජුනි 12 – නේපාලය සමඟ Central Broward Regional ක්‍රීඩාංගණය, Lauderhill.
  • ජුනි 17 – නෙදර්ලන්තය සමඟ Daren Sammy ජාතික ක්‍රීඩාංගණය, St Lucia.

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<