වනිඳු හසරංග තුන් ඉරියව්වෙන් පළමු තැනට

ICC Men’s T20 Rankings

59

නවතම විස්සයි විස්ස තුන් ඉරියව් ශ්‍රේණිගත කිරීමේ බංග්ලාදේශ ක්‍රීඩක Shakib Al Hasan සම කරමින් පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක වනිඳු හසරංග සමත්ව තිබෙනවා. 

ඒ අනුව වනිඳු සහ Shakib ප්‍රසාද ලකුණු 228 බැගින් ලබා ගනිමින් සම තත්වයේ පසු වන අතර නවතම ශ්‍රේණිගත කිරීමට අනුව ප්‍රසාද ලකුණු 218ක් හිමි කර ගනිමින් ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක Mohammad Nabi තෙවැනි ස්ථානයේ පසුවෙනවා. 

පෙර ශ්‍රේණිගත කිරීමට අනුව වනිඳු තුන් ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීමේ තෙවැනි ස්ථානයේ රැඳී සිටි අතර දෙවැනි ස්ථානය හිමිව තිබුණේ Mohammad Nabi හටයි. ඒ අනුව වනිඳු ස්ථාන දෙකක් ඉහළට පැමිණෙද්දී, Mohammad Nabi එක් ස්ථානය පසු බැස තිබීම විශේෂත්වයක්. 

විස්සයි විස්ස පිටියේ කැපී පෙනෙන දස්කම් දක්වන වනිඳු හසරංග මීට පෙර විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය ද හිමිකර ගැනීමට සමත් ව තිබූ අතර ඔහු එම ශ්‍රේණිගත කිරීමේ මේ වන විට ප්‍රසාද ලකුණු 687ක් ලබා ගෙන දෙවැනි ස්ථානයේ පසු වෙනවා. 

මේ දක්වා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 65ක්  ක්‍රීඩා කර ඇති වනිඳු ලකුණු 650ක් සහ කඩුලු 104ක් දවා ගැනීමට සමත් ව තිබෙනවා.  

එමෙන්ම වර්තමාන ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන වනිඳු හසරංග ලබන මස ආරම්භ වීමට නියමිතව තිබෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වීමට නියමිතයි.  

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<