සංගීත් සහ කමිඳු දැවැන්ත ඉනිම් ගොඩ නගයි

1279
Kamindu - Sangeeth

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ මෙම සතියේ පැවැත්වෙන තරගවල තෙවැනි දිනය (10) නිමාවෙද්දී Team Galle කණ්ඩායමේ නායක සංගීත් කුරේ සහ Team Dambulla කණ්ඩායමේ නායක කමිඳු මෙන්ඩිස් ශතක ඉක්මවා යන ඉනිම් ක්‍රීඩා කිරීමට සමත් වූවා.

මේ අතුරින් සංගීත් කුරේ තම ද්විත්වය ශතකය ලකුණු 7කින් අහිමි කර ගත් අතර කමිඳු මෙන්ඩිස් මේ වන විට නොදැවී ක්‍රීඩා කරමින් ලකුණු 167ක් ලබා සිටිනවා.

මේ අතර අද දවසේ දී Team Galle කණ්ඩායමේ ඔෂඳ ප්‍රනාන්දු සහ පසිඳු සූරියබණ්ඩාර, Team Dambulla සොනාල් දිනූෂ අර්ධ ශතක ඉනිම් ලබා ගනිමින් දක්ෂතා දැක් වූවා.

Team Galle සහ Team Jaffna

o ක්‍රීඩාංගණය – මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, හම්බන්තොට

o කාසියේ වාසිය – Team Galle

පළමුවෙන් පන්දුවට පහර දුන් Team Galle ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 265ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් Team Jaffna ක්‍රීඩකයෝ ලබා ගත්තේ සියලුම දෙනා දැවී ලකුණු 185ක් පමණයි.

පෙර දිනයේ දී ලකුණු 80ක් ඉදිරියේ සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි Team Galle ක්‍රීඩකයෝ දෙවැනි දිනය අවසන් වන විට කිසිවෙක් නොදැවී ලකුණු 51ක් ලබා ගනිමින් ප්‍රතිවාදීන්ට වඩා ලකුණු ලකුණු 131ක් ඉදිරියෙන් සිටියා.

අද ඔවුන් තම දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 4ක් දැවී ලකුණු 361ක් ලබා තිබිය දී ඉනිම අත්හිටවූවා. ඒ අනුව Team Jaffna කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 442ක ඉලක්කයක් ලැබුණ අතර ඔවුන් තරගය තෙවැනි දිනයට නතර කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 37ක් ලබා සිටියා.

Team Galle කණ්ඩායමේ දෙවැනි ඉනිමේ කැපී පෙණෙන ක්‍රීඩකයා බවට පත් වූයේ නායක, සංගීත් කුරේ. ඔහු පන්දු 271කට මුහුණ දෙමින් හතරේ පහර 18ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 193ක් ලබා ගත්තා.

දිනයේ පළමු කඩුල්ල ලෙසින් දැවී ගියේ ඔෂඳ ප්‍රනාන්දු. පෙර ඉනිමේ දී අර්ධ ශතකයක් ලබා ගත් ඔහු මෙම ඉනිමේ දී පන්දු 143කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 81ක් ලබා ගත්තා.

ඔහු නායක සංගීත් කුරේ සමඟ එක් වෙමින් පළමු කඩුල්ලට පන්දු 295ක දී ලකුණු 186ක සබඳතාවක් ද එක් කළා.

අනතුරුව පසිඳු සූරියබණ්ඩාර ද Team Galle ඉනිම වෙනුවෙන් පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 50ක් ලබා ගනිමින් දැවී ගියා. ඔහු හා සංගීත් කුරේ අතර තෙවැනි කඩුල්ලේ සබඳතාව පන්දු 125කට ලකුණු 102ක්.

කඩුලු ලබා ගැනීමේ දී සංතුශ් ගුණතිලක ලකුණු 53කට කඩුලු 2ක් දවා ගත් අතර ලහිරු මධුශංක සහ රවිඳු ප්‍රනාන්දු ද කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Team Jaffna කණ්ඩායම වෙනුවෙන් නිපුන් කරුණානායක නොදැවී ලකුණු 19ක් ලබා සිටියා.

එම ඉනිමේ දැවී ගිය කඩුලු 3න් 2ක් නිශාන් පීරිස් සතු වුණ අතර අනෙක් කඩුල්ලේ හිමිකාරීත්වය මිලාන් රත්නායක සතු වුනා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Team Dambulla සහ Team Kandy

o ක්‍රීඩාංගණය – රංගිරි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, දඹුල්ල.

o කාසියේ වාසිය – Team Dambulla

කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Team Dambulla කණ්ඩායම තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 311ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් පෙර දිනයේ තරගය නතර කරන විට Team Kandy ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 369ක් ලබා සිටියා.

ඒ අනුව ප්‍රතිවාදීන්ට වඩා ලකුණු 58ක් ඉදිරියෙන් සිටි ඔවුන් අද උදෑසන ම තම ඉනිම අත්හිටුවා නැවත Team Dambulla කණ්ඩායමට පන්දුවට පහර දීමට අවස්ථාව ලබා දුන්නා.

ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ගේ ඉදිරි පෙළ කඩුලු 4ක් ලකුණු 90කට දැවී ගිය අනතුරුව 5 වැනි කඩුල්ල සඳහා ලකුණු 149ක සබඳතාවක් එක් කිරීමට නායක, කමිඳු මෙන්ඩිස් සහ සොනාල් දිනූෂ සමත් වුනා.

සොනාල් දිනූෂ පන්දු 91කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 64ක් ලබා ගත්තා. තරගයේ තෙවැනි දිනය අවසන් වන විට කමිඳු මෙන්ඩිස් පන්දු 262කට මුහුණ දෙමින් හතරේ පහර 23ක් සමඟින් නොදැවී ලකුණු 167ක් ලබා සිටියා.

කඩුලු ලබා ගැනීමේ දී අශේන් ඩැනියෙල් කඩුලු 2ක් දවා ගත් අතර කමිල් මිෂාර, ලහිරු කුමාර, වනුජ සහන් සහ නිම්සර අතරගල්ල අතර කඩුල්ල බැගින් බෙදී ගියා.

තරගය තුන් වන දිනයට නතර කරන විට Team Dambulla කණ්ඩායම කඩුලු 6කට ලකුණු 325ක් ලබා සිටියා. ඒ අනුව ඔවුන් මේ වන විට ප්‍රතිවාදීන්ට වඩා ලකුණු 267ක් ඉදිරියෙන් සිටිනවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • Team Dambulla – පළමු ඉනිම සියලුම දෙනා දැවී 311 (83.0) රනේෂ් සිල්වා 32, කමිඳු මෙන්ඩිස් 73, සොනාල් දිනූෂ 82, දුශාන් හේමන්ත 30, චමිඳු විජේසිංහ 39, ලසිත් ඇඹුල්දෙණිය 2/67, වනුජ සහන් 6/70
  • Team Kandy – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 369 (94.0) කසුන් විදුර 34, පවන්ත වීරසිංහ 60, සහන් කෝසල 29, සිතාර ගිම්හාන් 94, අහන් වික්‍රමසිංහ 75, වනුජ සහන් නොදැවී 29, මර්වින් අභිනාෂ් 2/77, දුශාන් හේමන්ත 2/53, කමිඳු මෙන්ඩිස් 2/35
  • Team Dambulla – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 325 (85.0) කමිඳු මෙන්ඩිස් නොදැවී 167, සොනාල් දිනූෂ 64, චමිඳු විජේසිංහ නොදැවී 18, අශේන් ඩැනියෙල් 2/73

මෙම තරග හෙට (11) සිවු වැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<