Babar LPL ආවේ තාත්තා කියපු නිසා ලු!

LPL 2023

10948
Babar azam's father reveals why babar palying lpl

මෙවර LPL තරගාවලිය වෙනුවෙන් සහභාගී වන විදෙස් ක්‍රීඩකයින් අතරින් 13 දෙනෙකු පාකිස්තාන ක්‍රීඩකයින් වන අතර, ඒ අතරිනුත් වත්මන් පාකිස්තාන නායක Babar Azam හට ලොව පුරා ක්‍රිකට් රසික ප්‍රජාවෙන් විශේෂ අවධානයක් යොමු වී තිබෙනවා.

මෙවර LPL තරගාවලිය සහ කැනඩාවේ Global T20 තරගාවලිය ආසන්න කාලසීමාවන් දෙකක පැවැත්වීම නිසා ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ම තරමක අපහසුතාවලට ගොදුරු වුනා. Jaffna Kings නියෝජනය කරන Shoaib Malik ද මෙම ගැටලුවේ ගොදුරක් වූ අතර ඔහුගේ අවසන් තීරණය වුනේ Global T20 තරගාවලියෙන් පසුව LPL සමඟ සම්බන්ධ වීමට පැමිණීමයි. 

මෙම ගැටලුවට මේ අයුරින් ම Babar Azamට ද මුහුණ දීමට සිදු වූ අතර එහි දී ඔහු විසින් Malikට වඩා තරමක් වෙනස් තීරණයක් ගනිමින් කැනඩාවේ Global T20 තරගාවලිය අත් හැර දැමීමට තීරණය කළා. 

පසුගිය ජූලි 30 වැනිදා ආරම්භ වූ LPL තරගාවලිය නිමා වීමට නියමිත ව ඇත්තේ අගෝස්තු 20 වැනිදායි. නමුත් ගිය මාසයේ 21 වැනිදා ආරම්භ වූ Global T20 තරගාවලිය මෙම මස 06 වැනිදායින් අවසන් වීමට නියමිතයි. 

මෙම කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ LPL තරග පැවැත්වීමට නියමිත කොළඹ සහ මහනුවර උෂ්ණත්වය තරමක් ඉහළ අගයක (28-32°C) පවතින නමුත් කැනඩාවේ තත්වය ඊට වඩා සුවපහසු උෂ්ණත්වයක පවතින බවයි වාර්තා වන්නේ.

එමෙන්ම සාපේක්ෂව තරග පැවැත්වෙන කාලසීමාව අනුව බැලූව ද Global T20 තරගාවලිය, LPL තරගාවලියට වඩා අවම කාලයක් පැවැත්වීමටයි සැලසුම් කර තිබුණේ. කෙසේ වෙතත් කාලසීමාව හෝ අධික උෂ්ණත්වය යන කරුණු කිසිවක් නොසලකා තමන්ගේ පුත්‍රයා මෙවර LPL වෙත පැමිණීමට තීරණය කළ බව Babar Azamගේ පියා වන Azam Siddique විසින් හෙළිදරව් කරනවා. 

මෙහි දී ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත එළඹෙන ආසියානු කුසලානය, ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ලෝක කුසලානය වැනි තරගාවලි ඉලක්ක කර ගනිමින් දඟපන්දුවට හිතකර තණතීරු වල තවදුරටත් පුහුණුවක් ලබා ගැනීමට Babar විසින් තීරණය කළ බවත්, තමන් ද ඒ වෙනුවෙන් Babarව පෙලඹ වූ බවත් ඔහු විසින් සිය Instagram ගිණුමේ පළ කළ සටහනකින් හෙළිදරව් කරනවා. 

 

View this post on Instagram

 

A post shared by Azam Siddique (@azam.siddique65)

“ආයුබෝවන් පාකිස්තානය, ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අතරතුර Babar විසින් මට කිව්වා ඔහුට කැනඩාවේ දින 10 තිස්සේ (දින 16) පැවැත්වෙන Global T20 තරගාවලියෙන් සහ ශ්‍රී ලංකාවේ දින 25ක් තුළ පැවැත්වෙන LPL තරගාවලියෙන් එක හා සමාන මුදලක් හිමි වීමට නියමිත බව. කැනඩාවේ කාලගුණය ගොඩක් හොඳයි නමුත් ශ්‍රී ලංකාවේ තත්වය තරමක් උණුසුම්. 

ආසියානු කුසලානයත් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බව සඳහන් කරමින් මම ඔහුට LPL ක්‍රීඩා කරන්න කියලා යෝජනා කළා. ඒ වගේම පාකිස්තානය ශ්‍රී ලංකාවේ දී ඇෆ්ගනිස්තානය සමඟත් ක්‍රීඩා කරන්න නියමිතයි. ඊට අමතරව අසීරු කඩුලු තුළ ක්‍රීඩා කිරීම ලෝක කුසලානය වෙනුවෙනුත් උපකාරී වේවි. 

දවස් දහයක් හොඳ කාලගුණයක් යටතේ ක්‍රීඩා කරලා, පසුව දවස් දහයක් නිවසේ විවේකීව ගත කිරීම සිත් ඇද ගන්නා සුළුයි.  

නමුත් ඔහු රට වෙනුවෙන් සෑමදෙයක්ම කිරීමට සූදානම්! 

පසුගිය දා ශ්‍රී ලංකාවේ පැවැත්වුණු තරගයක් අතරතුර ඔහුට දෙවරක් වාඩි වෙලා විවේක ගන්න සිදු වුනා. ඒ වගේම ඔහුට නිසි ලෙස හුස්ම ගන්න පවා නොහැකි වුනා. 

මට කීමට අවශ්‍ය වන්නේ අපි කුමක් සිදු කළ ද එය පාකිස්තානය වෙනුවෙන් විය යුතු බවයි. පාකිස්තානයට දීර්ඝායු ලැබේවා.” 

Azam Siddique විසින් සිය සටහනේ දක්වා ඇති පරිදි මෙවර LPL තරගාවලියේ Colombo Strikers කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙස Babar Azam ක්‍රීඩා කිරීම ඔහුගේ පියාගේ මග පෙන්වීම යටතේ සිදු වූවක්. එමෙන්ම Babar විසි මෙහි දී ලබනා පන්නරය කෙතරම් ද යන්න එළඹෙන ආසියානු සහ ලෝක කුසලාන තරගාවලි වල දී දැක ගැනීමට ලැබෙනු ඇති බවත් අනුමාන කළ හැකියි. 

2023 LPL තරගාවලියේ සියලු ම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

Wisden ඇසුරිනි. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<