මහනුවර ආධිපත්‍යය බිඳ දැමූ CR & FC වසර 26කට පසුව රග්බි කිරුළ දිනයි!

Nippon Paint Club Rugby League 2023/24

349

ශ්‍රී ලාංකේය රග්බි ශූරතා ඉතිහාසයේ වඩාත් සුවිශේෂිත ම තරගාවලියක නිමාව සනිටුහන් කරමින් 2023/24 Nippon Paint Club League ශුරතාව ජයග්‍රහණය කිරීමට CR & FC ක්‍රීඩා සමාජය අද (18) සමත් වුනා.

මෙවර තරගවාරයේ එකම අපරාජිත කණ්ඩායම ලෙස තරගාවලියේ අවසන් සහ දස වැනි සති අන්තය තෙක් පැමිණි CR & FC කණ්ඩායම විසින් අද සවස කොළඹ ලොන්ඩන් පෙදෙසේ දී මහනුවර ක්‍රීඩා සමාජය සමඟ තරගාවලියේ වඩාත් තීරණාත්මක ම තරගයට මුහුණ දුන්නා.

මෙවර තරගවාරයේ මීට පෙර නිත්තවෙල දී CR සහ මහනුවර අතර පැවැත්වුණු තරගයෙන් ඓතිහාසික ජයක් ලබා ගැනීමට CR & FC විසින් සමත් වූ අතර, ඔවුන්ට අද පැවැත්වෙන තරගය ද ජයග්‍රහණය කළ හැකි වුව හොත් වසර 26කට පසුව නැවතත් රග්බි ශූරයින් බවට පත් වීමේ අවස්ථාවක් උදා වී තිබුණා. කෙසේ වෙතත් මහනුවර කණ්ඩායමට ද අද තරගය ජයග්‍රහණය කළ හැකි නම් නැවත වරක් ශූරතාව තමන් සන්තකයේ ම රඳවා ගැනීමේ අවස්ථාව තිබූ අතර, මේ නිසාම තරගය ආරම්භ වීමට පෙර සිටම ඉතා උණුසුම් තරගයක් දැක බලා ගැනීමට හැකි වෙතැයි බොහෝ දෙනා බලාපොරොත්තු තබා සිටියා.

CR & FC ක්‍රීඩා සමාජය සහ මහනුවර ක්‍රීඩා සමාජය

Longdon Place – පෙබරවාරි 18

සියලු ප්‍රේක්ෂක බලාපොරොත්තු සඵල කරමින් ආරම්භ වූ තරගයේ පළමු අර්ධයේ වැඩි වාසි මහනුවර සතු බවක් පෙනෙන්නට තිබුණා.

දඬුවම් පහරක් සාර්ථක කර ගත් CR කණ්ඩායමේ චතුර සෙනෙවිරත්න විසින් තරගයේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ අතර, ඊට මොහොතකට පසු තරින්ද රත්වත්ත විසින් ද දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් මහනුවර වෙනුවෙන් ලකුණු පුවරුව ක්‍රියාත්මක කළා. ඉන් මොහොතකට පසුව මහනුවර වෙනුවෙන් ලසිත අත්තනගොඩ තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වූ අතර, තරින්ද විසින් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගනිමින් තරගයේ ලකුණු තත්වය 3 – 10ක් ලෙස ඉදිරියට රැගෙන ඒමට සමත් වුනා.

තරගයේ පළමු අර්ධය නිමා වීමට පෙර මහනුවර වෙනුවෙන් තරින්ද රත්වත්ත සහ CR වෙනුවෙන් චතුර සෙනෙවිරත්න විසින් තවත් දඬුවම් පහර බැගින්  සාර්ථක කරගත්තා.

පළමු අර්ධය: CR 06 – 13 මහනුවර

මහනුවර විසින් තරගයේ පළමු අර්ධයේ පෙරමුණ ලබා ගැනීමට සමත් වුනත් දෙවැනි අර්ධයේ දී නම් CR පෙරටත් වඩා සටන්කාමී ලෙසින් තරගයට අවතීර්ණ වූ බවක් පෙනෙන්නට තිබුණා.

තරගයේ 42 වැනි මිනිත්තුවේ දී අදීශ වීරතුංග විසින් CR & FC වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර, චතුර විසින් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත්තා. (13 – 13)

නමුත් ඉන් මිනිත්තුවක් ගත වීමටත් පෙර තරින්ද රත්වත්ත විසින් මහනුවර වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වුනා. (13 – 18)

මේ වන විට තරගයේ වාසිය මහනුවර සතු වී තිබූ නමුත් රවීන් ද සිල්වා විසින් CR වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් වාර්තා කරමින් තරගයේ ලකුණු තත්වය නැවතත් සම මට්ටමට ගෙන ආවා. එයින් ද නොනැවතුණු CR ලකුණු පුවරුවට තවත් ලකුණු 5ක් එක් කළ ගැමුණු චේතිය තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වුනේ තරගයේ 59 වැනි මිනිත්තුවේ දීයි. (23 – 18)

කෙසේ වෙතත් තරගයේ උණුසුම පහව යාමට ඉඩ නොදුන් දනුශ්ක රන්ජන් විසින් තරගයේ 66 වැනි මිනිත්තුවේ දී මහනුවර වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූ අතර, තරින්ද විසින් එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගත්තා. (23 – 25)

නමුත් තවදුරටත් රග්බි ශූරතාව මහනුවර සතුව නොතැබීමේ අරමුණින් යුතුව ක්‍රීඩා කළ CR වෙනුවෙන් රැන්ඩි සිල්වා සහ ලසිඳු කරුණාතිලක විසින් තරගයේ අවසන් මිනිත්තු දහය තුළ තවත් උත්සාහක දිනුම් ද්විත්වයක් වාර්තා කිරීමට සමත් වීමත් සමඟ CR & FC කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු වුනා. (33 – 25)

තරගයේ අවසන් ලකුණු තත්වය:

CR & FC 33 (5T, 1C, 2P) – මහනුවර 25 (3T, 2C, 2P)

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්:

  • CR & FC – අදීශ වීරතුංග 1T, රවීන් ද සිල්වා 1T, ගැමුණු චේතිය 1T,  රැන්ඩි සිල්වා 1T, ලසිඳු කරුණාතිලක 1T, චතුර සෙනෙවිරත්න 1C, 2P
  • මහනුවර ක්‍රීඩා සමාජය – ලසිත අත්තනගොඩ 1T, දනුශ්ක රන්ජන් 1T, තරින්ද රත්වත්ත 1T, 2C, 2P

Black Knight තරගයේ වීරයා: Zubair Doray

තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා: තරින්ද රත්වත්ත

මේ අනුව 2013/14 තරග වාරයේ දී නාවික හමුදාව විසින් ශූරතාව ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව නොකඩවා වසර 8ක දී ශූරතාව ජයග්‍රහණය කරමින් මහනුවර පැමිණි ජයග්‍රාහී ගමන නිමා කිරීමට CR & FC ක්‍රීඩකයින්ට අද හැකියාව ලැබුණා.

එමෙන්ම 1998 වසරේ දී ශූරතාවක් ජයග්‍රහණය කිරීමෙන් වසර 26කට පසුවයි නැවත වරක් රග්බි ශූරයන් ලෙස මෙසේ කිරුළු දැරීමට CR & FC ක්‍රීඩා සමාජයට හැකියාව ලැබුණේ.

මේ අතර තරගාවලියේ අවසන් සතියේ තරග ලෙස ගෙවී ගිය සති අන්තයේ තවත් තරග ත්‍රිත්වයක් පැවැත්වුණා.

එම තරග විස්තර සැකෙවින්,

නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය

වැලිසර දී – පෙබරවාරි 16

මෙතෙක් තරගවාරයේ එකදු තරගයක් හෝ ජයග්‍රහණය කිරීමට සමත් නොවූ නාවික හමුදාව ජයග්‍රහණයක් කරා යාමට තමන්ට තිබූ අවසන් අවස්ථාව ද යුද හමුදාව හමුවේ පසුගිය සිකුරාදා (16) අහිමි කර ගත්තා.

නාවික හමුදාවේ සත්කාරකතවයෙන් යුතුව වැලිසර දී පැවැත්වුණු මෙම තරගයේ ලකුණු රැස් කිරීම ආරම්භ කිරීමට ධනංජය සෙනෙවිරත්න විසින් සමත් වූ අතර Steven Sansoni විසින් සාර්ථක කර ගත් ප්‍රවර්තනය සහ දඬුවම් පහරක් නිසා නාවික හමුදාව ලකුණු 10ක් ලබා ගනිමින් සාර්ථක ආරම්භයක් ලබා ගත්තා.

නමුත් ඉන් පසුව නම් තරගයේ නියමිත කාල සීමාව අවසන් වන තුරු ම තරගයේ සම්පූර්ණ ආධිපත්‍ය යුධ හමුදාව සතු වූ අතර, ඔවුන් එම කාල සීමාව තුළ උත්සාහක දිනුම් පහක් වාර්තා කලා. එමෙන්ම එයින් අවස්ථා හතරක ප්‍රවර්තනයන් සාර්ථක කර ගැනීමට ද ඔවුන් සමත් වුනා.

තරගයේ අවසන් ලකුණු තත්වය:

යුද හමුදාව 33 (5T, 4C) – නාවික හමුදාව 10 (1T, 1C, 1)

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්:

  • යුද හමුදාව: සුදාරක දික්කුඹුර 2T, ලසන්ත කුමාර 1T, සම්පත් විජේරත්න 1T, ලහිරු රත්නායක 1T
  • නාවික හමුදාව: ධනංජය සෙනෙවිරත්න 1T, Steven Sansoni 1C, 1P

Black Knight තරගයේ වීරයා: සුදාරක දික්කුඹුර

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය

රත්මලානේ දී – පෙබරවාරි 17

තරගාවලියේ 09 වැනි සතියේ දී පළඟ ශූරතාවය තමන් වෙත ස්ථිර කර ගත් පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව මෙම තරගයේ දී විශිෂ්ට ක්‍රීඩා රටාවක් පෙන්නුම් කිරීමට යුද හමුදාව විසින් සමත් වුනා.

සත්කාරකත්වයේ වාසිය ද සමඟින් තරගයේ පළමු අර්ධය නිමා වන විට ලකුණු 12 – 05ක් ලෙස තරගයේ පෙරමුණ ගැනීමට යුද හමුදාව විසින් සමත් වූ අතර, පළමු අර්ධයේ දී යුද හමුදාව වෙනුවෙන් ඉශාර මදුශාන් සහ ඉසුරු ජයරත්න උත්සාහක දිනුම් වාර්තා කරද්දී, පොලිසිය වෙනුවෙන් සමීර ජයසිංහ උත්සාහක දිනුමක් වාර්තා කළා.

කෙසේ වෙතත් තරගයේ දෙවන අර්ධය නම් පොලිසියට කිසි සේත් ම සුබදායී එකක් වුනේ නැහැ. තරගයේ දෙවන අර්ධය තුළ ගුවන් හමුදාව විසින් තවත් උත්සාහක දිනුම් ද්විත්වයක් වාර්තා කර ගැනීමට සමත් වූ අතර, පොලිසිය එකඳු ලකුණක් හෝ මෙහි දී ලබා ගැනීමට සමත් වුනේ නැහැ.

ඒ අනුව පළඟ ශූරයින්ට එරෙහිව තරගාවලියේ අවසන් සතියේ ජයග්‍රහණයක් ලබා ගත් ගුවන් හමුදාව මෙවර ලකුණු සටහනේ 06 වැනි ස්ථානය ස්ථිර කර ගත්තා.

අවසන් ලකුණු තත්වය:

ගුවන් හමුදාව 26 (4T, 3C) – පොලිසිය 05 (1T)

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්:

  • ගුවන් හමුදාව – ඉශාර මදුශාන් 1T 1C, ශෂික ප්‍රනාන්දු 1T, රුමේශ් වසන්ත 1T, ඉසුරු ජයරත්න 1T, ප්‍රමෝත් පත්මසන්ක 2C
  • පොලිසිය – සමීර ජයසිංහ 1T

Black Knight තරගයේ වීරයා: උදේශ් මදුශංක (ගුවන් හමුදාව)

CH & FC ක්‍රීඩා සමාජය සහ Havelock ක්‍රීඩා සමාජය

Royal Complex – පෙබරවාරි 17

මෙම තරගයේ පළමු අර්ධය තුළ දෙපිළම කරට කර සටනක නිරත වෙමින් ක්‍රීඩාවේ යෙදුණා. Havelock ක්‍රීඩක සැමුවෙල් මදුවන්ත විසින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ අතර, එක් උත්සාහක දිනුමක් සමඟින් ඔවුන් ඉක්මනින් ම සිය ලකුණු තත්වය 10ක් කරා රැගෙන ඒමට සමත් වුනා. කෙසේ වෙතත් ජනිත් ලක්සර වාර්තා කළ උත්සාහක දිනුමත් සමඟ CH කණ්ඩායම ද තරගයට අවතීර්ණ වුනා. තරගයේ පළමු අර්ධය නිමා වන විට ඔවුන් ලකුණු 08ක් ලකුණු පුවරුවට එක් කර ගත්තා.

කෙසේ වෙතත් තරගයේ දෙවන අර්ධයේ දී නම් CH පාර්ශවයෙන් වාර්තා වුනේ ලකුණු තුනක් පමණයි, නමුත් Havelock කණ්ඩායම විසින් මෙම අර්ධය තුළ තවත් උත්සාහක දිනුම් දෙකක් සාර්ථක කර ගනිමින් තරගයේ ජයග්‍රහණය ස්ථිර කර ගත්තා.

මෙම ජයත් සමඟින් ම Havelock මෙවර තරගවාරයේ ලකුණු සටහනේ තෙවන ස්ථානය ස්ථිර කර ගැනීමට සමත් වූ අතර, CH & FC ලකුණු සටහනේ සිව් වැනි ස්ථානයේ නතර වුනා.

අවසන් ලකුණු තත්වය:

Havelock ක්‍රීඩා සමාජය 28 (3T, 2C, 3P) – CH & FC 11 (1T, 2P)

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්:

  • Havelock – සුදේශ් ජයවික්‍රම 1T, ජනිඳු ප්‍රනාන්දු 1T, ඩිල්ශාන් චතුර 1T, Cons: සැමුවෙල් මදුවන්ත 2C, 3P
  • CH & FC – ජනිත් ලක්සර (T), රෝහිත රාජපක්ෂ (2P)

Black Knight තරගයේ වීරයා: ජනිඳු ප්‍රනාන්දු (Havelock)

මේ අනුව 2023/24 Nippon Paint Club Rugby League තරගාවලිය අද දිනයෙන් අති සාර්ථක ලෙස අවසන් වුනා.

දිනෙන් දින උණුසුම් වන දේශීය රග්බි පිටියේ නැවුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<