Chris Gayle නැවතත් T20 සංචිතයට

1642

මාර්තු මාසයේ දී සංචාරයක ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ කොදෙව් සංචිතය සඳහා සුපිරි පිතිකරු Chris Gayle කැඳවනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

තරගාවලිය සඳහා ක්‍රීඩා කරන කොදෙව් සංචිතය මෙම සතිඅන්තයේ දී නම් කිරීමට නියමිත අතර පාකිස්තානු සුපිරි ලීගයට සහභාගි වෙමින් සිටි Chris Gayle ශ්‍රී ලංකාව සමඟින් පැවැත්වෙන පන්දුවාර 20 තරගාවලියට සහභාගි විය යුතු යැයි දන්වමින් නැවතත් සිය මව් රට බලා පැමිණීමට කටයුතු කර තිබුණි.

Chris Gayle තරගාවලිය සඳහා එක්වීමට පෙර සිය කණ්ඩායමේ අනෙකුත් සගයන් සමඟින් යෝග්‍යතා පරීක්ෂණයන්ට සහභාගි වීම අනිවාර්යය වන අතර යම්හෙයකින් ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන පන්දුවාර 20 තරගාවලිය සඳහා Chris Gayle නම් කළහොත් එය වසර දෙකකට පසු ඔහු කොදෙව් කණ්ඩායම නියෝජනය කරන මුල්ම අවස්ථාව වනු ඇත.

ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ Chris Gayle සහභාගි වූ අවසන් තරගය 2019 එක්දින ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සමඟ පැවති තරගය වන අතර ඔහු 2019 මාර්තු මාසයෙන් පසු පන්දුවාර 20 සංචිතය සඳහා එක් වී නොමැත.

මාර්තු මස 07 පැවැත්වෙන අවසන් පන්දුවාර 20 තරගයෙන් පසු Chris Gayle නැවතත් පාකිස්ථානය බලා පිටත් වීමට සැලසුම් කර ඇති අතර එය ඔහු නියෝජනයි කළ Quetta Gladiators සමඟින් තරගාවලිය ආරම්භයේ ඇති කර ගත් ගිවිසුමෙහි ද අන්තර් ගත වේ.

එමෙන්ම PSL තරගාවලිය ආරම්භයට පෙරම Chris Gayleගේ ආදේශකයක් ලෙස දකුණු අප්‍රිකානු පිතිකරු Faf du Plessis නම් කිරීමට කටයුතු කර තිබූ නමුත් ඒ කුමක් නිසා ද යන්න දැනුවත් කර තිබුණේ නැත.

වසර දෙකකට පසුව Kieron Pollardගේ නායකත්වයෙන් යුත් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට කැඳවීම Chris Gayleගේ ක්‍රීඩා දිවියේ නව පිබිදීමක් වනු ඇති අතර එය පන්දුවාර 20 ලෝක කුසලානය සඳහා සූදානම් වන කොදෙව් කණ්ඩායමට ද විශාල ශක්තියක් වනු ඇත.

පන්දුවාර 20 ක්‍රිකට් පිටියේ වත්මන් ශූරයන් වන බටහිර ඉන්දීය කොදෙව්වන් මෙම වසරේ අගභාගයේ ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිතව ඇති පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ දී සිය කිරුළ රැකගැනීම සඳහා සටන් කිරීමට නියමිතව ඇත.

තවත් ක්‍රිකට් පුවත්:

කෙසේ නමුත් 2019 වසරේ පැවති එක්දින ලෝක කුසලාන තරගාවලියට පෙර එය තමන්ගේ අවසාන එක්දින තරගාවලිය වනු ඇතැයි Chris Gayle ප්‍රකාශ කළ අතර ඔහු එම තරගාවලියේ  ඉන්දියාවට එරෙහිව වේගවත් ලකුණු 72ක් ලබා ගැනීමෙන් අනතුරුව ක්‍රීඩකයන්ට අතට අත දෙමින් සහ ප්‍රේක්ෂකයන්ට ආචාර කරමින් පිටියෙන් ඉවත් වූයේ එය තම අවසන් එක්දින තරගය බවට ඉඟියක් සපයමිනි.

ඔහු එම තරගයෙන් පසු කෙටි විවේකයක් ගනිමින් 2020 වසරේ පැවති බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වීමෙන් පසු ප්‍රකාශ කර සිටියේ ඔහු නැවත් වරක් කොදෙව් සංචිතයට පැමිණීමට ඉඩ ඇති බවයි.

Chris Gayleගේ පුරප්පාඩුව සඳහා Faf du Plessis එක් කරගැනීම පිළිබඳව දැනුවත් කරමින් පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ Chris Gayle ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන පන්දුවාර 20 තරගාවලිය සඳහා සහභාගි වීමට ඉතා ඉක්මනින් නැවත මව් රට බලා පිටත් වන බවයි.

2006/07 කාලසීමාවේ දී පැවති පකිස්තාන සංචාරයෙන් පසු Chris Gayle පාකිස්තානය වෙත පැමිණි මුල්ම අවස්ථාව මෙය වූ අතර එය පිළිබඳව අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ මෙම වසංගත තත්වය තුළ ක්‍රීඩා කිරීමට ලැබීම තමන් ලද භාග්‍යයක් බවයි.

“මෙම කාලසීමාව තුළ ක්‍රීඩා කිරීමට ලැබීම ආශීර්වාදයක්, අනාගතයේ දී මෙම දේවල් යහපත් වනු ඇතැයි හිතනවා. ලෝකයේ සිදු වෙන දේවල් ඔබ බැලුවොත් ක්‍රීඩාංගණ තුළ රසිකයන් නැහැ, ඔවුන්ට රූපවාහිනියෙන් තරග නැරඹීමට සිදු වෙලා.

මේ කාලසීමාවේ දී ලෝකය ඉතා දැඩියි, සමහර දේවල් විවෘත වූවත් අප අපගේ ජීවිතය සුළු කොට තැකීම නොකළ යුතුයි. අප උත්සහ කරන්නේ හොඳම ජීවිතය ගතකොට එහි උපරිම ලෙස ජීවත් වෙන්නයි, පවුලේ අය සහ මිතුරන් සමගින් වැඩි කාලයක් ගත්කොට ජනතාව වෙත ළඟා වෙන්නයි.

මට විශ්වාසයි ක්‍රීඩකයන් සම්පූර්ණ වශයෙන් ක්‍රිකට් නැවත ආරම්භ වනතුරු නොඉවසිල්ලෙන් සිටින බව, එය අපගේ ජීවනෝපාය, එය අපගේ රැකියාව, එය අපගේ ඉපැයීම සහ අප දන්නා දෙය එයයි” යනුවෙනු ඔහු ප්‍රකාශ කර සිටියා.

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවැත්වෙන තරගය 3කින් සමන්විත පන්දුවාර 20 තරගාවලිය මාර්තු මස 03 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<