CR & FC තවමත් අපරාජිතයි; පොලිසියෙන් විශිෂ්ට නැගී සිටීමක්

Nippon Paint Club Rugby League 2023/24

583
Nippon Paint Club Rugby League 2023/24

2023/24 Nippon Paint Club Rugby League තරගාවලියේ 09 වැනි සතියට අදාළ තරග ගෙවී ගිය සති අන්තයේ දී පැවැත්වුණා. 

මෙම තරග අතුරින් පොලිස් ක්‍රීඩා සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය අතර පැවැත්වුණු තරගය අතිශය තියුණු මුහුණුවරක් ගත් අතර, මෙතෙක් තරග වාරයේ පැවැත්වුණු විශිෂ්ටතම තරගයක් ලෙසින් එය නිමාව දුටුවේ පොලිස් ක්‍රීඩා සමාජයේ පලඟ ශූරතාව ද තහවුරු කරමිනුයි. 

ඊට අමතරව CR & FC ක්‍රීඩා සමාජය තවදුරටත් සිය අපරාජිත බව රැක ගත් බවත් සහ මහනුවර තවදුරටත් ශූරතාව වෙනුවෙන් සටන් වදින බවත් ගෙවුණු සති අන්තයේ දී තහවුරු වුනා. 

පොලිස් ක්‍රීඩා සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය අතර 

පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මෙම තරගය ආරම්භ වී දෙවැනි මිනිත්තුව ගෙවී යත්ම යුද හමුදාවේ සුදාරක දික්කුඹුර විසින් පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වූ අතර, තරගයේ 06 වැනි මිනිත්තුවේ දී පොලිස් ක්‍රීඩක විහඟ පිවිතුරු විසින් උත්සාහක දිනුමක් වාර්තා කරමින් ලකුණු තත්වය සම කිරීමට සමත් වුනා. 

ඉන් පසුව වරෙක ලකුණු පුවරුව 15 -12ක් ලෙස පොලිස් ක්‍රීඩා සමාජය පෙරමුණේ රැඳුණු අතර, තවත් මිනිත්තු කිහිපයකින් යුද හමුදාව ලකුණු 19-15ක් ලෙස පෙරමුණට පැමිණියා. තරගයේ පළමු අර්ධය නිමා වන විට ලකුණු 29 – 20ක් ලෙස යුද හමුදාව පෙරමුණේ රැඳීමට සමත් වූ අතර දෙවැනි අර්ධයේ 66 වැනි මිනිත්තුව වන විට ඔවුන් ලකුණු 37 – 23ක් ලෙස ලකුණු 14ක් දක්වා ලකුණු පරතරය ඉහළ දමා ගැනීමට ද සමත් වුනා. 

නමුත් තරගයේ 70 වැනි මිනිත්තුවේ දී හිරන්ත පෙරේරා විසින් පොලිසිය වෙනුවෙන් වාර්තා කළ උත්සාහක දිනුමත් සමඟින් තරගයේ ස්වභාවය සම්පූර්ණයෙන්ම වෙනස් වීමට පටන් ගත්තා. 

තරගයේ 79 වැනි මිනිත්තුවේ දී හිරන්ත විසින් තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමත් සමඟින් තරගයේ ලකුණු තත්වය 37 – 37ක් ලෙස සම මට්ටමට පැමිණි අතර, තරගයේ අවසන් මිනිත්තුවේ දී සුජාන් කොඩිතුවක්කු විසින් තරගයේ සිය තෙවන උත්සාහක දිනුමත් වාර්තා කරමින් පොලිසිය වෙත නොතිබූ ජයක් ගෙන ඒමට සමත් වුනා. 

මෙම ජයග්‍රහණයත් සමඟින් ම පොලිස් ක්‍රීඩා සමාජය මෙවර තරග වාරයේ තවත් එක් තරගයක් ඉතිරිව තිබිය දී ම පලඟ ශූරතාව තමන්ගේ බව තහවුරු කර ගැනීමට ද සමත් වීම විශේෂත්වයක්. 

අවසන් ලකුණු තත්වය: 

පොලිස් ක්‍රීඩා සමාජය 42 ( 6T, 3C, 2P) – යුද හමුදා ක්‍රීඩා සමාජය 37 (5T, 3C, 2P) 

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්: 

  • පොලිස් ක්‍රීඩා සමාජයසුජාන් කොඩිතුවක්කු 3T, හිරන්ත පෙරේරා 2T, විහඟ පිවිතුරු 1T, shane Hopwood 2P, 2C, නවීන් කණිෂ්ක 1C,  
  • යුද හමුදා ක්‍රීඩා සමාජය – සුදාරක දික්කුඹුර 2T, ලසන්ත කුමාර 1T, නවීන් පෙරේරා 1T, අශාන් බණ්ඩාර 1T, 3C, 2P 

Black Knight තරගයේ වීරයා – සුජාන් කොඩිතුවක්කු  


මහනුවර ක්‍රීඩා සමාජය සහ Havelock ක්‍රීඩා සමාජය 

හැව්ලොක් පාක් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මෙම තරගයේ පළමු අර්ධය පුරාවටම එකඳු කණ්ඩායමක් හෝ උත්සාහය දිනුම් වාර්තා කිරීමට සමත් වුනේ නැහැ. කෙසේ වෙතත් පළමු අර්ධය අවසන් වීමට මොහොතකට පෙර හැව්ලොක් කණ්ඩායමේ ජනිත් චන්දිමාල් විසින් දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමත් සමඟින් ලකුණු 3 – 0ක් ලෙස හැව්ලොක් තරගයේ පෙරමුණට පිවිසුණා. 

කෙසේ වෙතත් තරගයේ දෙවන අර්ධයේ දී තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට මහනුවර කණ්ඩායමේ සුරංග තෙන්නකෝන් විසින් සමත් වූ අතර, ඒත් සමඟම මහනුවර තරගයේ පෙරමුණට පැමිණියා. 

එයින් ද නොනැවතුණු මහනුවර කණ්ඩායම වෙනුවෙන් ශනුෂ්ක අබේවික්‍රම විසින් තවත් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර ලකුණු තත්වය 14 – 03ක් ලෙස මහනුවර තවත් ඉදිරියට පැමිණියා. 

ඉන් පසුව හැව්ලොක් වෙනුවෙන් තවත් උත්සාහක දිනුම් දෙකක් වාර්තා වූ අතර, මහනුවර වෙනුවෙනුත් එක් උත්සාහක දිනුමක් වාර්තා වුනා. මේ අනුව මෙම තරගය ජයග්‍රහණය කිරීමට මහනුවර සමත් වූ අතර, ඒත් සමඟින් ම මෙවර රග්බි ලීග් තරගාවලියේ ශූරතාව වෙනුවෙන් ඔවුන්ගේ බලාපොරොත්තු තවදුරටත් රඳවා ගැනීමේ අවස්ථාව ද ඔවුන්ට ඉතිරි වුනා. 

තරගයේ අවසන් ලකුණු තත්වය: 

මහනුවර ක්‍රීඩා සමාජය 19 (3T 2C) –  Havelock ක්‍රීඩා සමාජය 15 (2T 1C 1P) 

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්: 

  • මහනුවර ක්‍රීඩා සමාජය : තරින්ද රත්වත්තේ  2C, ලවන්ග පෙරේරා 1T, සුරංග තෙන්නකෝන් 1T, ශනුෂ්ක අබේවික්‍රම 1T 
  • Havelock ක්‍රීඩා සමාජය : සන්දේශ් ජයවික්‍රම  1C, ජනිත් චන්දිමාල් 1T 1P, Oliver Buckle 1T 

Black Knight තරගයේ වීරයා : සූර්ය දොඩංගොඩ (Havelock SC)


ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය 

මෙතෙක් තරගාවලියේ එකඳු තරගයක් හෝ ජයග්‍රහණය කිරීමට නොහැකි වූ නාවික හමුදා කණ්ඩායම සිය ප්‍රථම ජය සොයමින් ගුවන් හමුදාව සමඟ ගැටුණත් මෙහි දී ද එය සාර්ථක කර ගැනීමට ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැහැ. 

තරගයේ පළමු අර්ධය නිමා වන විට ලකුණු 26 – 7ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වූ ගුවන් හමුදාව නොනිල වශයෙන් ම තරගයේ ජය තහවුරු කර ගත්තා. 

දෙවන අර්ධය තුළ දී ගුවන් හමුදා ක්‍රීඩකයින් තවත් ලකුණු 14ක් සිය ලකුණු පුවරුව වෙත එක් කර ගනිද්දී, නාවික හමුදාවෙන් වාර්තා වුනේ ලකුණු 7ක් පමණයි. 

තරගයේ අවසන් ලකුණු තත්වය:  

ගුවන් හමුදාව 41 (6T, 4C,1P) – නාවික හමුදාව 14 (2T,2C ) 

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්:  

  • ගුවන් හමුදා ක්‍රීඩා සමාජය: ජේසන් කරුණාරත්න, කවීෂ රුචින්ත, නිමල් වික්‍රමසිංහ, රුමේෂ් වසන්ත, ශාමික කෞශාන් මිලින්ද සහ සුදත් බණ්ඩාර 1T, ප්‍රමෝද් පත්මසංක 4C, 1P 
  • නාවික හමුදාව: ස්ටෙෆාන් ජෝර්ජ්,  අනුෂ්ක රමේෂ් 1T, ඉෂාර ඉමංක 1C, ඉසුරු කෝන්ගහවත්ත 1C 

Black Knight තරගයේ වීරයා ප්‍රමෝද් පත්මසංක 


CH & FC ක්‍රීඩා සමාජය සහ CR & FC ක්‍රීඩා සමාජය 

මෙම තරගාවලියේ තවත් උණුසුම් ගැටුමක් අපේක්ෂාවෙන් ආරම්භ වූ මෙම තරගයේ සත්කාරකත්වය CH විසින් දැරූ නමුත්, පළමුව ලකුණු රැස් කිරීමේ ගෞරවය ලබා ගැනීමට CR ක්‍රීඩක ඉරංග ආරියපාල විසින් සමත් වුනා. 

ඉන් පසුව තරගයේ දෙවැනි උත්සාහක දිනුමත් CR වෙනුවෙන් වාර්තා කිරීමට ලසිඳු කරුණාතිලක විසින් සමත් වුනේ තරගයේ ලකුණු තත්වය 14 – 0ක් ලෙස CR & FC ඉදිරියට රැගෙන යමිනුයි. 

කෙසේ වෙතත් තරගයේ පළමු අර්ධය නිමා වීමට පෙර CH වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට ප්‍රසාත් මදුශංක විසින් සමත් වුනා. 

තරගයේ දෙවන අර්ධයේ දී ද CH වෙත නැගී සිටීමේ අවස්ථාවක් ලබා නොදුන් CR ක්‍රීඩකයින් තවත් ලකුණු 18ක් සිය ලකුණු පුවරුවට එක් කර ගත්තේ උත්සාහක දිනුම් 2ක් ද සමඟයි. නමුත් එම කාල සීමාව තුළ CH වෙතින් වාර්තා වුනේ ලකුණු 8ක් පමණයි. ඒ අනුව මෙතෙක් තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම ලෙස CR & FC තවදුරටත් සිය ගෞරවය රැක ගැනීමට සමත් වුනා. 

අවසන් ලකුණු තත්වය: 

CR & FC 32 (4T 3C 2P) – CH & FC 12 (2T 1C) 

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්:  

  • CR & FC: ලසිඳු කරුණාතිලක 3T, ඉරංග ආරියපාල 1T, මනෙල්ක රුබේරු 2C, චතුර සෙනෙවිරත්න 1C 2P 
  • CH & FC: ප්‍රසාත් මදුශංක 1T, නිරෝශ් පෙරේරා 1T, මලීෂ පෙරේරා 1C 

Black Knight තරගයේ වීරයා – ලසිඳු කරුණාතිලක  

Nippon Paint Club Rugby League 2023/24 තරගාවලියේ 10 වැනි සති අන්තයේ තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<