මිෂෙල් පෙරෙයිරා තරග තීරකවරියක් ලෙසින් මැලේසියාවට

2023 ICC Men’s T20 World Cup Asia Qualifier

1933
Michell Pereira

2023 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආසියානු B කාණ්ඩයේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී තරග තීරකවරියක් ලෙසින් කටයුතු කිරීමට ශ්‍රී ලංකාවේ මිෂෙල් පෙරෙයිරා හට අවස්ථාව හිමිව තිබෙනවා.  

ඒ අනුව ලෝක කුසලාන පිරිමි ක්‍රිකට් තරගාවලියක දී තරග තීරකවරියක් ලෙසින් සහභාගී වන පළමු ශ්‍රී ලාංකීය තරග තීරකවරිය වන්නේ ඇයයි 

ඇය මීට පෙර දකුණු අප්‍රිකාවේ දී නිමා වූ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ද තරග තීරකවරියක් ලෙසින් කටයුතු කරමින් ලෝක කුසලාන තරගාවලියක තරග තීරකවරියක් ලෙසින් කටයුතු කළ පළමුවැන්නිය බවට ද පත්වූවා 

කොළඹ, මිලාගිරිය සාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන ඇය කොළඹ කෝල්ට්ස් කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රිකට් පිටියට එක් වූ අතර 2005 වසරේ දකුණු අප්‍රිකාවේ දී පැවති කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට ද සමත් වුනා. 

පසුගිය අප්‍රේල් මාසයේ දී මෙරට තරග සංචාරයකට පිවිසි බංග්ලාදේශ කාන්ත කණ්ඩායම සමඟ වූ එක්දින තරගාවලියේ දී ද තරග තීරකවරියක් ලෙසින් සහභාගී වූයේ ඇයයි 

ඒ අනුව ඇය මේ වන විට කාන්තා එක්දින ජාත්‍යන්තර තරග 2ක දී ද සහ කාන්තා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 10ක දී ද තරග තීරකවරියක් ලෙසින් කටයුතු කර තිබෙනවා. ඊට අමතර පළමු පෙළ තරගයක ද, List A තරග 8ක ද සහ විස්සයි විස්ස තරග 5ක ද තරග තීරකවරියක් ලෙසින් කටයුතු කර තිබෙනවා.  

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරකවරියක් ලෙසින් උසස් වීම් ලද ඇයට පසුගිය දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් උපහාර පිදීමක් ද සිදු කළා.  

මිෂෙල් පෙරෙයිරා සහභාගී වන මෙම තරගාවලියේ මේ මස 26 වැනිදා සිට අගෝස්තු 01 වැනිදා දක්වා මැලේසියාවේ දී පැවැත්වීමට නියමිත අතර තරගාවලිය නියෝජනය කරමින් භූතානය, චීනය, මියන්මාරය, තායිලන්තය සහ සත්කාරක මැලේසියාව සහභාගී වීමට නියමිතයි. 

දෙස් විදෙස් ක්‍රිකට් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<