CR & FC නොනැවතී ඉදිරියට; මහනුවර නැවතත් සුපුරුදු රිද්මයට

Nippon Paint Club Rugby League 2023/24

343

2023/24 Nippon Paint Club Rugby League තරගාවලියේ 08 වැනි සතියට අදාළ තරග පසුගිය සිකුරාදා (02) සහ සෙනසුරාදා (03) දිනවල දී පැවැත්වුණා.

මෙම සති අන්තයේ පටන් තරගාවලියේ දෙවන වටයේ තරග ආරම්භ වූ අතර එහි දී මූලික වටයෙන් ලකුණු සටහනේ මුල් ස්ථාන හතර පිළිවලින් හිමි කර ගත් CR & FC, මහනුවර, CH & FC සහ Havelock කණ්ඩායම් තරගාවලියේ ශූරතාව වෙනුවෙන් සටන් වදිනා අතරේ, ලකුණු සටහනේ අවසන් ස්ථාන හතර හිමි වූ පොලීසිය, ගුවන් හමුදාව, යුද හමුදාව සහ නාවික හමුදාව පළඟ ශූරතාව වෙනුවෙන් සටන් වැදීමට පෙළගැසුණා.

මේ අනුව තරගාවලියේ ශූරතාව සඳහා වන සටනේ දී Havelock සහ CR & FC කණ්ඩායම් ද, මහනුවර සහ CH & FC යන කණ්ඩායම් ද ගෙවුණු සති අන්තයේ දී තරග බිමට පිවිසුණා. එමෙන්ම පළඟ ශූරතාව වෙනුවෙන් නාවික හමුදාව සහ පොලීසියත්, යුද හමුදාව සහ ගුවන් හමුදාවත් තරග බිමට පිවිසුණා.

Havelock සහ CR & FC

තරගාවලියේ මෙතෙක් අපරාජිත එකම කණ්ඩායම වන CR & FC සහ Havelock කණ්ඩායම අතර තරගයෙන් මෙම සතියේ තරග ආරම්භ වූ අතර, මෙහි දී CR & FC විසින් තවදුරටත් සිය අපරාජිත බව රැක ගනිමින් තරගාවලියේ පෙරමුණේ රැඳී සිටීමට සමත් වුනා.

Havelock සත්කාරකත්වය යටතේ පැවැත්වුණු මෙම තරගයේ පළමුවෙන් ලකුණු රැස් කිරීමට ද Havelock විසින් ම සමත් වූ නමුත් ඊට මොහොතකට පසුව CR වෙනුවෙන් ක්‍රියාත්මක වූ Zubair Doray විසින් තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වුනා.

කෙසේ වෙතත් ඉන් පසුව තරගයේ පළමු අර්ධය නිමා වන තෙක් එකඳු කණ්ඩායමක් හෝ ලකුණු ලබා ගැනීමට අපොහොසත් වූ අතර, පළමු අර්ධයේ දී ලකුණු 05 – 03ක් ලෙස CR & FC තරගයේ පෙරමුණ ලබා ගැනීමට සමත් වුනා.

තරගයේ දෙවන අර්ධය ආරම්භයේ දී ම Havelock කණ්ඩායමේ සැමුවෙල් මදුවන්ත විසින් තවත් දඬුවම් පහර යුගලයක් සාර්ථක කර ගනිමින් Havelock කණ්ඩායම ලකුණු සටහනේ පෙරමුණට රැගෙන ආවා.

තරගයේ වැඩි වාසි Havelock වෙත පැවති අවස්ථාවක ක්‍රියාත්මක වූ අමිත් ගුණසිංහ විසින් CR වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූ අතර, මනිල්ක රුබේරු විසින් එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගත්තේ තරගයේ ජයග්‍රහණය CR & FC වෙත ස්ථිර කරවමිනුයි.

අවසන් ලකුණු තත්වය:

CR & FC 12 (2T, 1C) – Havelock 09 (3P)

Black Knight තරගයේ වීරයා: මනිල්ක රුබේරු (CR & FC)

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්

  • CR & FC : Zubair Doray 1T, අමිත් ගුණසිංහ 1T, මනිල්ක රුබේරු 1C
  • Havelock SC : සැමුවෙල් මදුවන්ත 3P

නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය

මෙතෙක් තරගාවලියේ එකඳු ජයග්‍රහණයක් හෝ වාර්තා කර ගැනීමට සමත් නොවූ නාවික හමුදාව, සිය පළමු ජයග්‍රහණය සොයමින් වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී පොලිසිය සමඟ තරග වැදුණා.

නමුත් මෙම තරගය ද සම්පූර්ණයෙන්ම පාහේ පොලිස් අණසකට නතු වූ අතර තරගයේ පළමු අර්ධය නිමා වන විට ලකුණු 20 – 07ක් ලෙස පොලිස් ක්‍රීඩකයින් තරගයේ පෙරමුණ ලබා ගැනීමට සමත් වුනා.

පළමු අර්ධයේ දී පොලිසිය වෙනුවෙන් උත්සාහක දිනුම් ද්විත්වයක් වාර්තා වූ අතර, නාවික හමුදාව එක් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වුනා.

තරගයේ දෙවන අර්ධයේ දී පොලිස් ක්‍රීඩකයින් විසින් තවත් ලකුණු 17ක් රැස් කිරීමට සමත් වූ නමුත් නාවික හමුදාවෙන් එකඳු ලකුණක් හෝ වාර්තා වුනේ නැහැ.

අවසන් ලකුණු තත්වය:

පොලිස් ක්‍රීඩා සමාජය 37 (5T, 1C,1P) – නාවික හමුදාව 07 (1T, 1C)

Black Knight තරගයේ වීරයා: ප්‍රින්ස් චාමර

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්:

  • පොලිස් ක්‍රීඩා සමාජය: ආකාශ් මදුශංක 3T, හිරන්ත පෙරේරා 1T, උදය සංජුල 1T, ප්‍රින්ස් චාමර 1T, 1C, 1P
  • නාවික හමුදාව: චිරන්ත කළුආරච්චි 1T, ඉෂාර ඉමංක 1C

 

CH & FC ක්‍රීඩා සමාජය සහ මහනුවර ක්‍රීඩා සමාජය

කොළබ තුරඟ තරග පිටියේ දී ඊයේ (03) දිනයේ පැවැත්වුණු මෙම තරගයෙන් සත්කාරක CH & FC පරාජය කරමින් ලකුණු 32 – 24ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට මහනුවර ක්‍රීඩකයින් විසින් සමත් වුනා.

මෙම තරගයේ පළමු මිනිත්තු 53ක පමණ කාලය තුළ තරගයේ ආධිපත්‍යය සම්පූර්ණයෙන්ම CH කණ්ඩායම සතු ව තිබුණා. තරගයේ පළමු අර්ධයේ දී දෙපිළම උත්සාහක දිනුම් දෙක බැඟින් වාර්තා කරමින් ලකුණු 12 බැඟින් ගැනීමට සමත් වූ අතර, ඉන් පසුව CH විසින් තවත් දඬුවම් පහර දෙකක් සාර්ථක කර ගනිමින් ලකුණු 18ක් දක්වා සිය ලකුණු තත්වය ඉහළ දමා ගැනීමට සමත් වුනා.

තරගයේ පළමු අර්ධය එසේ අවසන් වූ අතර, දෙවන අර්ධයේ දී CH වෙනුවෙන් හිරුෂ නෙත්මින විසින් තවත් දඬුවම් පහර ද්විත්වයක් සාර්ථක කර ගනිමින් CH ලකුණු පුවරුව ලකුණු 24ක් දක්වා ඉහළ දැමීමට සමත් වුනේ මහනුවරට වඩා ලකුණු 12ක පරතරයක් ලබා ගනිමිනුයි.

නමුත් තරගයේ 53 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ ශ්‍රීනාත් සූරියබණ්ඩාර විසින් තරගයේ ස්වභාවය වෙනස් කිරීමේ පළමු පියවර තබමින් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වුනා, පසුව තරින්ද රත්වත්තේ විසින් තවත් උත්සාහක දිනුමක් වාර්තා කරමින් CH & FC ලකුණු මට්ටම අබිබවා යාමේ අවස්ථාව මහනුවර කණ්ඩායමට ලබා දුන්නා. ඉන් පසුවත් වත් දඬුවම් පහර ද්විත්වයක් සාර්ථක කර ගත් මහනුවර කණ්ඩායම තරගය නිමා වන විට ලකුණු 32ක් ලබා ගැනීමට සමත් වී සිටියා.

ඒ අනුව මහනුවර විසින් තරගාවලියේ 07 වැනි සති අන්තයේ දී CR & FC වෙතින් ලද පරාජයෙන් පසුව නැවත සිය නැඟී සිටීම සම්බන්ධයෙන් ඉඟියක් ලබා දීමට ද සමත් වුනා.

අවසන් ලකුණු තත්වය:

මහනුවර 32 (4T, 3C, 2P) – CH & FC 24 (2T, 1C, 4P)

Black Knight තරගයේ වීරයා: ශ්‍රීනාත් සූරියබණ්ඩාර

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්:

  • මහනුවර: ජේසන් දිසානායක 1T, Fawmy Wajid 1T, ශ්‍රීනාත් සූරියබණ්ඩාර 1T, තරින්ද රත්වත්තේ 1T, 3C, 2P
  • CH & FC: නිරෝශ් පෙරේරා 1T, ජනිත් ලක්සර 1T, හිරුෂ නෙත්මින 1C, 4P

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය

පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී ඊයේ පැවැත්වුණු මෙම තරගය ජයග්‍රහණය කිරීමට සත්කාරක යුද හමුදාව විසින් සමත් වුනා.

තරගයේ ලකුණු රැස් කිරීම ආරම්භ කිරීමේ ගෞරවය යුද හමුදාවේ තිළිණ පුෂ්පකුමාර සතු වූ අතර ඔහු විසින් වාර්තා කළ උත්සාහක දිනුමෙන් පසුව නැවතත් යුද හමුදාව වෙනුවෙන් ක්‍රියාත්මක වූ සුධාරක දික්කුඹුර විසින් තවත් උත්සාහක දිනුමක් වාර්තා කළා.

මේ අතරේ ඉෂාර මධුශාන් විසින් ගුවන් හමුදාව වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වූ අතර, තරගයේ පළමු අර්ධය නිමා වන විට ලකුණු 10 – 08ක් ලෙස යුද හමුදාව තරගයේ පෙරමුණ ගැනීමට සමත් වී සිටියා.

තරගයේ දෙවන අර්ධය තුළ යුද හමුදාව විසින් තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූ අතර, අනෙක් පසින් ගුවන් හමුදාවෙන් ද එක් උත්සාහක දිනුමක් වාර්තා වුනා. කෙසේ වෙතත් යුද හමුදාව විසින් තරගයේ අවසන් භාගයේ දී සාර්ථක කර ගත් දඬුවම් පහර යුගලය නිසා තරගයේ ජයග්‍රහණය ස්ථිර කර ගැනීමට ඔවුන්ට හැකියාව ලැබුණා.

අවසන් ලකුණු තත්වය:

යුද හමුදාව 21 (3T, 2P) – ගුවන් හමුදාව 15 (2T, 1C, 1P)

Black Knight තරගයේ වීරයා: සුධාරක දික්කුඹුර (යුද හමුදාව)

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්:

  • යුද හමුදාව: සුධාරක දික්කුඹුර 1T , අශාන් බණ්ඩාර 1T , තිළිණ පුෂ්පකුමාර 1T , චමත් ප්‍රනාන්දු 2P
  • ගුවන් හමුදාව: ඉෂාර මධුශාන් 1T , දර්ශන දාබරේ 1T , නදුන් ගුණසේකර 1C 1P

තරගාවලියේ 09 වැනි සති අන්තයේ තරග විස්තර ද ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<