“ඔවුන් අවධි කළේ නිදා සිටි වලහෙක්” – Finch

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

11476

සිය කුළුඳුල් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලි ජයග්‍රහණය වාර්තා කිරීමට ඕස්ට්‍රේලියාව ඊයේ (14) සමත් වුනේ නවසීලන්ත කණ්ඩායම කඩුලු 8කින් පරාජය කරමින්.

අවසන් තරගයේ දී ඕස්ට්‍රේලියා ජයග්‍රහණයේ නියමුවා වූ Mitchel Marsh තරගයේ වීරයා සම්මානය දිනා ගනිද්දී, ඕස්ට්‍රේලියාව වෙනුවෙන් තරගාවලියේ වැඩිම ලකුණු ලකුණු ලාභියා වූ David Warner තරගාවලියේ වීරයා ලෙස නම් කෙරුණා.

ක්‍රිකට් ක්‍රීඩාව උත්සාහවන්තයන්ගේ ක්‍රීඩාවක් බව පසක් කිරීමට David Warnerගේ ලෝක කුසලාන ගමන ප්‍රබල උදාහරණයක් සපයනවා. මීට මාස කිහිපයකට පෙර නිමා වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ Sunrises Hyderabad කණ්ඩායමේ සාමාජිකයෙකු වූ Warner එම තරගාවලියේ දී කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුනේ නැහැ.

මේ නිසා කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරුවා වූ ඔහු  අවසන් තරග කිහිපය සඳහා විවේක ගැන්වීමට Sunrises Hyderabad තීරණය කර තිබුණා. මේ නිසා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරග කිහිපය සඳහා Warner සහභාගී වුනේ ප්‍රේක්ෂකයෙකු ලෙස වීම විශේෂත්වයක්. තරගාවලිය අතරතුර Warner ප්‍රේක්ෂකාගාරයේ සිට කණ්ඩායමට සහය දක්වන ආකාරය බොහෝ කැමරා කාචවල සටහන් වුනා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ තුන් වතාවක් වැඩිම ලකුණු ලාභියාට පිරිනමන තැඹිලි පැහැති හිස් වැස්මේ හිමිකරුවා වූ Warner එලෙස කණ්ඩායමෙන් ඉවත් කිරීම බොහෝ දෙනාගේ අවධානයට යොමු වී තිබුණා.

ඉන් මාස කිහිපයකින් අනතුරුව සිය දෛවය උත්සාහයෙන් වෙනස් කිරීමට සමත් වූ Warner විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ඕස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්වුණා.

Sunrises Hyderabad කණ්ඩායමේ පුහුණුකරුවන් වෙත සිය පිත්තෙන් පිළිතුරු ලබා දීමට සමත් වූ Warner ලෝක කුසලාන තරගාවලිය තුළ ඉනිම් 7ක දී ලකුණු 289ක් වාර්තා කළා. ඔහුගේ අවසන් ඉනිම තුන වාර්තා වුනේ නොදැවී ලකුණු 89ක්, 49ක් සහ අවසන් තරගයේ දී ලකුණු 53ක් ලෙසින්.

සිය කුළුඳුල් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ඕස්ට්‍රේලියා කණ්ඩායම කණ්ඩායමේ නායකයා වූ Aaron Finch සිය කණ්ඩායම් සගයා වූ David Warner පිළිබඳව ද අදහස් දක්වා සිටියා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සහ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ මුල් තරග කීපය තුළ Warner අසාර්ථක වීම පිළිබඳව බොහෝ දෙනා දැඩි විවේචනාත්මක ලෙස අදහස් දක්වා තිබූ බව සිහිපත් කළ Finch පවසා සිටියේ ඔවුන් සියලු දෙනා නිදා සිටි වලසෙකු අවදි කළ බවයි.

මට හිතා ගන්න බැහැ මීට සති දෙකකට කලින් ගොඩක් අය කිව්වේ David Warnerගේ ක්‍රිකට් ජීවිතය අවසන් කියලා. ඒක හරියට නිදාගෙන හිටපු වලහෙක් අවදි කළා වගේ දෙයක්”, තරගයෙන් අනතුරුව අදහස් දක්වමින් Aaron Finch පවසා සිටියා.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ වීරයා බවට Warner නම් කිරීමෙන් අනතුරුව ඔහු ලෝක කුසලාන තරගාවලියක් ජයග්‍රහණය කළ කණ්ඩායමෙන් තරගාවලියේ වීරයා ලෙස නම් කෙරුණු දෙවැනි ක්‍රීඩකයා බවට පත්වුනා. මීට පෙර එංගලන්ත කණ්ඩායම නියෝජනය කළ හෙමින් Kevin Pieterson එලෙස නම් කළ එකම ක්‍රීඩකයා බවට පත්ව සිටියා.

තරගයෙන් අනතුරුව මාධ්‍යවේදීන් Aaron Finchගෙන් විමසා සිටියේ බොහෝ දෙනා Dravid Warnerගේ අසාර්ථකත්වය පිළිබඳව අදහස් දක්වන පසුබිමක් තුළ නායකයා ලෙස ඔහු Warner පිළිබඳව විශ්වාස කළේ කෙසේ ද යන්නයි.

එහි දී Finch පවසා සිටියේ කිසිවකු විශ්වාස නොකළ නමුත් තරගාවලියේ වීරයා බවට David Warner  පත්වනු ඇති බව තමන් තරයේ විශ්වාස කළ බවයි.

මම මේ කියන්නේ බොරුවක් නෙමෙයි. මම ඔබට පොරොන්දු වෙනවා මම මීට මාස දෙකකට කලින් අපේ පුහුණුකරු Justin Langerට කිව්වා David Warner ගැන බය වෙන්න එපා, ඔහු තරගාවලියේ වීරයා බවට පත්වේවි කියලා. ඒ වගේම ඔහු එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම පිතිකරුවන්ගෙන් කෙනෙක්. ඒ වගේම ඔහු සටන්කරුවෙක්.

යම් කෙනෙක් Warner විවේචනය කරනවා නම් ඒ තමයි ඔහුගෙන් උපරිමය ගන්න පුළුවන් හොඳම අවස්ථාව. තරගාවලියේ වීරයා ලෙස මේ තරගාවලිය නිමා කිරීම ඔහුට සුවිශේෂී දෙයක්. විශේෂයෙන් අවසන් තරග දෙකේ දී ඔහුගේ ඉනිම් දෙක ඉතාමත් සුවිශේෂීයි”, Aaron Finch පවසා සිටියා.

2018 වසරේ දී වාර්තා වූ පන්දුව පළුදු කිරීමේ සිද්ධියෙන් අනතුරුව ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ වසරක තරග තහනමකට ලක් වූ David Warner, ඉන් වසර තුනකට පසු ඕස්ට්‍රේලියා කණ්ඩායම සිය පළමු විස්සයි විස්ස ලෝක කුසලාන ශූරතාවය දක්වා කැඳවාගෙන යාමට සමත් වීම විශේෂත්වයක්.

Hindustan Times ඇසුරිනි

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<