CR & FC ඉතිහාසගත ජයක් ලබමින් අපරාජිත ව ඉදිරියට

Nippon Paint Club Rugby League 2023/24

503
Club Rugby

දේශීය රග්බි පිටියේ වඩාත් කතාබහට ලක් වූ සති අන්තයක් නිමා වෙමින් Nippon Paint Club Rugby League 2023/34 තරගාවලියේ හත් වැනි සතිය ඊයේ (21) දිනයෙන් අවසන් වුනේ මහනුවර ක්‍රීඩා සමාජය සිය සත්කාරක ක්‍රීඩාංගණය වූ නිත්තවෙල දී ම පරාජය කිරීමට CR & FC කණ්ඩායම සමත් වීමත් සමඟයි. 

මෙම සති අන්තයේ දී CR & FC ට අමතරව Havelock, පොලිස් සහ CH & FC කණ්ඩායම් විසින් ද ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වුනා. 

Havelock ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය 

තරගාවලියේ හත් වැනි සතිය ආරම්භ කරමින් පසුගිය සිකුරාදා (20) පැවැත්වුණු මෙම තරගය ජයග්‍රහණය කිරීමට Havelock ක්‍රීඩා සමාජය විසින් සමත් වුනේ මෙවර තරග වාරයේ සිය සිව් වැනි ජය සනිටුහන් කර ගනිමිනුයි. 

Havelock සත්කාරකත්වයෙන් ආරම්භ වූ මෙම තරගයේ ලකුණු ලබා ගැනීම ආරම්භ කිරීමේ ගෞරවය ද Havelock සතු වූ අතර Oliver Buckle විසින් වාර්තා කළ උත්සාහක දිනුම සහ ජනිත් චන්දිමාල් විසින් සාර්ථක කර ගත් එහි ප්‍රවර්තනය සමඟ Havelock ලකුණු තත්වය 07ක් දක්වා වර්ධනය වුනා. 

මෙතැන් සිට තරගයේ පළමු අර්ධය නිමා වන තෙක් Havelock ක්‍රීඩකයින් විසින් තවත් උත්සාහක දිනුම් තුනක් වාර්තා කිරීමට සමත් වුනා. මේ අතරේ දී නාවික හමුදා පාර්ශවයෙන් වාර්තා වුනේ එක් උත්සාහක දිනුමක් පමණයි. 

මේ අනුව තරගයේ පළමු අර්ධය නිමා වන විට ලකුණු 29 – 07ක් ලෙස Havelock විසින් පෙරමුණේ රැඳුණා. නමුත් තරගයේ දෙවන අර්ධයේ දී නැවතත් තරගයට අවතීර්ණ වීමට නාවික හමුදා ක්‍රීඩකයින් විසින් ප්‍රබල උත්සාහයක යෙදෙමින් තවත් උත්සාහක දිනුම් තුනක් වාර්තා කළා. කෙසේ වෙතත් මේ අතරතුර Havelock පාර්ශවයෙන් ද තවත් උත්සාහක දිනුම් තුනක් වාර්තා වූ අතර මේ හේතුවෙන් නියමිත කාලය අවසන් වන විට තරගයේ ජයග්‍රහණය Havelock වෙත හිමි වුනා. 

මේ අනුව නාවික හමුදාව මෙවර තරගවාරයේ තවමත් එකඳු ජයග්‍රහණයක් හෝ ලබා ගැනීමට සමත් වී නැහැ. 

Havelock SC 39 (6T, 3C, 1P) – නාවික හමුදාව 26 (4T, 3C) 

  • Black Knight තරගයේ වීරයා – Stephen Sivaraj (Havelock) 

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්: 

  • Havelock SCඋදාර ලක්ශාන් 1T, Oliver Buckle 1T, සුදේශ් ජයවික්‍රම 1T, නෙපුල් අතුකෝරල 1T, ජයතු රජරත්න 1T, Stephen Sivaraj 1T, ජනිත් චන්දිමාල්  3C 1P  
  • නාවික හමුදාව – ස්ටීපන් ග්‍රෙගරි 2T, ලහිරු හේරත් 1T, කවිශ්ක ගයාශාන් 1T, ඉමන්ක ඉෂාර 1C, ඉසුරු කෝන්ගහවත්ත 1C, Steven Sansoni 1C  

පොලිස් ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 

පොලිස් කණ්ඩායමේ සත්කාරකත්වය යටතේ පැවැත්වුණු මෙම තරගයේ ලකුණු රැස් කිරීම ගුවන් හමුදාව විසින් ආරම්භ කළ නමුත් පසුව පොලිස් ක්‍රීඩකයින් විසින් නොකඩවා උත්සාහ දිනුම් දෙකක් වාර්තා කරමින් ලකුණු සටහනේ පෙරමුණ ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 14ක් සමඟයි. 

කෙසේ වෙතත් තරගයේ පළමු අර්ධය අවසන් වීමට පෙර ගුවන් හමුදා නායක පරාක්‍රම රත්නායක විසින් වාර්තා කළ උත්සාහක දිනුමත් සමඟින් ගුවන් හමුදාව ද ලකුණු 10 සීමාවට පිවිසුණා. 

තරගයේ දෙවන අර්ධයේ දී ද දෙපිලේ ම ක්‍රීඩකයින් කරට කර සටනක නිරත වෙමින් ලකුණු රැස් කිරීමේ නියැලුණු නමුත් එහි වැඩි ගෞරවය පොලිස් ක්‍රීඩා සමාජය සතු වුනා. පොලිසිය විසින් මෙම අර්ධයේ දී තවත් උත්සාහක දිනුම් තුනක් වාර්තා කල අතර ගුවන් හමුදාවෙන් වාර්තා උනේ එක් උත්සාහක දිනුමක් පමණයි. 

පොලිස් ක්‍රීඩා සමාජය 34 (5T, 3C, 1P) – ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 22 (3T, 2C, 1P) 

  • Black Knight තරගයේ වීරයා – ආකාෂ් මදුශංක (පොලිස් ක්‍රීඩා සමාජය) 

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්:  

  • පොලිස් ක්‍රීඩා සමාජය –  ආකාශ් මදුශංක (1T), විහඟ පිවිතුරු (1T), දේශාන් ප්‍රනාන්දු (1T), සමීර ජයසිංහ (1T), මතීෂ පෙරේරා (1T), ශවීන් ජයවර්ධන (3C), ප්‍රින්ස් චාමර (1P)  
  • ගුවන් හමුදා ක්‍රීඩා සමාජය – පරාක්‍රම රත්නායක (2T),  හසිඳු හේමසිරි (1T), ගයන්ත ඉද්දමල්ගොඩ (2C 1P)  

යුද හමුදා ක්‍රීඩා සමාජය සහ CH & FC  

මෙම තරගය ඉතා තියුණු මුහුණුවරක් ගනිමින් අවසන් වූ අතර, තරගයේ ජයග්‍රහණය CH & FC වෙත හිමි වුනා.  

තරගයේ 17 වැනි මිනිත්තුවේ දී යුද හමුදාවේ අශාන් බණ්ඩාර විසින් දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් ලකුණු රැස් කිරීම ආරම්භ කළ අතර පසුව CH වෙනුවෙන් ප්‍රසාත් මදුශංක විසින් උත්සාහක දිනුමක් වාර්තා කරමින් CH ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීම ආරම්භ කළා. 

තරගයේ පළමු අර්ධය නිම වන විට ලකුණු 07 – 03ක් ලෙස CH & FC ඉදිරියෙන් පසු වූ අතර, තරගයේ දෙවන අර්ධය පෙරටත් වඩා තරගකාරී ලෙසින් ක්‍රියාත්මක වුනා. මෙහි දී තරගයේ 65 වැනි මිනිත්තුව වන විට යුද හමුදාව වෙනුවෙන් නාලක මදුරංග සහ කවීන් පෙරේරා විසින් වාර්තා කළ උත්සාහක දිනුම් දෙකක් ද සමඟින් යුද හමුදාව ලකුණු 17-13ක් ලෙස තරගයේ පෙරමුණ ගැනීමට සමත් වුනා. 

කෙසේ වෙතත් තරගයේ 68 වැනි මිනිත්තුවේ දී CH & FC වෙනුවෙන් නිරෝශ් පෙරේරා විසින් වාර්තා කළ උත්සාහක දිනුමත් සමඟින් තරගයේ ජයග්‍රහණය CH වෙත හිමි වුනා. 

CH & FC 18 (2T, 1C, 2P) – යුද හමුදාව 17 (2T, 2C, 1P) 

  • Black Knight තරගයේ වීරයා – දිනේශ් ද සිල්වා (CH & FC) 

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්: 

  • CH & FCප්‍රසාත් මදුශංක 1T, නිරෝශ් පෙරේරා 1T, හිරුශ නෙත්මින 1P, 1C 
  • යුද හමුදා ක්‍රීඩා සමාජය – නාලක මදුරංග 1T, කවීන් පෙරේරා 1T, අශාන් බණ්ඩාර 1C, 1P, ලක්ෂාන් ජයවික්‍රම 1C 

මහනුවර ක්‍රීඩා සමාජය සහ CR & FC 

මෙම සති අන්තයේ දී දේශීය වශයෙන් වඩා ඉහළ අවධානයක් යොමු වූ ක්‍රීඩා ඉසව්ව ලෙස මෙම තරගය හඳුන්වා දිය හැකි. මෙතෙක් තරග වාරයේ අපරාජිත කණ්ඩායම් යුගලය ලෙස මෙම තරගයට පිවිසුණු මහනුවර සහ CR කණ්ඩායම් විසින් සිය අපරාජිත බව රැක ගැනීම වෙනුවෙන් මෙන්ම, තම ගෞරවය රැක ගැනීම වෙනුවෙන් ද සටන් වැදුණු ආකාරය තරගය පුරාවටම දක්නට ලැබුණා. 

මනිල්ක රුබේරු විසින් තරගයේ ලකුණු ලබා ගැනීම ආරම්භ කරමින් CR වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වූ අතර, එයින් පසුව තරගයේ පළමු අර්ධය තුළ CR & FC විසින් තවත් උත්සාහක දිනුම් තුනක් වාර්තා කරමින් සිය ලකුණු තත්වය 26ක් කරා රැගෙන ගියා. නමුත් තරගයේ ප්‍රථම අර්ධයේ දී මහනුවර වෙනුවෙන් තරින්ද රත්වත්තේ විසින් වාර්තා කල උත්සාහක දිනුම හැරෙන්නට වෙනත් උත්සාහක දිනුම් වාර්තා උනේ නැහැ. 

කෙසේ වෙතත් තරගයේ දෙවන අර්ධය ආරම්භ වීමත් සමඟින් තරගයට විශිෂ්ට ලෙස අවතීර්ණ වූ මහනුවර ක්‍රීඩකයින් ඉක්මන් උත්සාහක දිනුම් දෙකක් සමඟින් ලකුණු තත්වය 21 – 26ක් දක්වා වර්ධනය කර ගැනීමට සමත් වුනා. 

කෙසේ වෙතත් පසුව CR & FC වෙනුවෙන් ක්‍රියාත්මක වූ අදීශ වීරතුංග විසින් සිය දෙවන උත්සාහක දිනුම වාර්තා කරමින් මහනුවරින් තරගයේ වාසි ඈත් කරවීමට සමත් වුනා. ඉන් පසුව දෙපිළෙන් ම තවත් එක් උත්සාහක දිනුම බැගින් වාර්තා වූ අතර තරගයේ අවසන් ලකුණු තත්වය 26 – 38ක් ලෙස සටහන් වුනා. 

CR & FC විසින් මහනුවර කණ්ඩායමට එරෙහිව, නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී මෙසේ ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වුනේ වසර 22කට පසුව වීම විශේෂත්වයක්. 

මහනුවර 26 (4T, 3C) – CR & FC 38 (6T 4C) 

  • Black Knight තරගයේ වීරයා – අදීශ වීරතුංග (CR & FC) 

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්:  

  • මහනුවර ක්‍රීඩා සමාජය: තරින්ද රත්වත්ත 1T 3C, නිගෙල් රත්වත්ත 1T, තරිඳු චතුරංග 1T, දිනල් ඒකනායක 1T  
  • CR & FC: මනිල්ක රුබේරු 1T, අදීශ වීරතුංග 2T, කවිඳු ද කොස්තා 1T, ගැමුණු චේතිය 1T, කුශාන් තරිඳු 1T, තේනුක නානායක්කාර 4C  

CR & FC විසින් ලද මෙම ඉතිහාසගත ජයග්‍රහණයත් සමඟින් මහනුවර කණ්ඩායමේ අපරාජිත තරග වාරය මෙතෙකින් අවසන් වන අතර, තවමත් අපරාජිත CR & FC කණ්ඩායම Nippon Paint Club Rugby League ලකුණු සටහනේ පළමු ස්ථානයට ද පත් වනු ඇති. 

මේ අනුව තරගාවලියේ පළමු තරග වටය මෙම සතියෙන් අවසන් වන අතර, දෙවන වටයේ තරග සමගින් තරගාවලියේ 08 වැනි සතියට නියමිත තරග එළඹෙන සති අන්තයේ දී පැවැත්වීමට නියමිතයි. 

Nippon Paint Club Rugby League 2023/24 තරගවාරයේ සියලු උණුසුම් තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<