CR & FC සහ මහනුවර අපරාජිත ගමනක; නාවික හමුදාව තවමත් ජයක් සොයයි

Nippon Paint Club Rugby League 2023/24

462
Nippon paint club rugby

දේශීය රග්බි පිටියේ වැඩිම අවධානයක් යොමු වන Nippon paint Club Rugby League 2023/24 තරගාවලියේ හය වැනි සතියේ තරග ගෙවුණු සති අන්තයේ දී නිමා වුනේ මහනුවර සහ CR & FC කණ්ඩායම් දෙක තවදුරටත් සිය අපරාජිත බව රැක ගන්නා අතරේ දීයි. 

ගෙවුණු සති අන්තයේ පැවැත්වුණු තරගවලින් ගුවන් හමුදා, මහනුවර, CR & FC සහ CH & FC යන කණ්ඩායම ජයග්‍රහණ හිමි කර ගැනීමට සමත් වුනා. 

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය 

ගුවන් හමුදාවේ සත්කාරකත්වයෙන් රත්මලානේ දී පැවැත්වුණු මෙම තරගය ඉතා තියුණු මුහුණුවරක් ගනු ලැබුවා. 

කෙසේ වෙතත් තරගයේ 14 වැනි මිනිත්තුව ගෙවෙන විට ශෂික ප්‍රනාන්දු විසින් ලබා ගත් උත්සාහක දිනුමත් සමඟින් ගුවන් හමුදාව සිය 10 වැනි ලකුණත් ලකුණු පුවරුවේ සටහන් කර ගැනීමට සමත් වුනා. 

තරගයේ මුල් මිනිත්තු 30ක පමණ කාලය ගුවන් හමුදාවේ ආධිපත්‍යයට නතු වී තිබූ අතර, පසුව නාලක මදුරංග විසින් උත්සාහ දිනුමක් වාර්තා කරමින් යුද හමුදා ලකුණු පුවරුව ද ක්‍රියාත්මක කළා. 

පසුව යුද හමුදා නායක අශාන් බණ්ඩාර විසින් වාර්තා කළ උත්සාහක දිනුමත් සමගින් යුද හමුදාව ලකුණු 14ක් ලබමින් තරගයේ පළමු අර්ධය නිමා වන විට තරගයේ පෙරමුණට පැමිණීමට සමත් වුනා. 

නමුත් තරගයේ දෙවන අර්ධය සම්පූර්ණයෙන්ම ගුවන් හමුදාවට නතු වූ එකක් වුනා. එම අර්ධයේ දී වාර්තා වූ එක ම උත්සාහක දිනුම නිශාන් පීරිස් විසින් ගුවන් හමුදාව වෙනුවෙන් වාර්තා කිරීමට සමත් වූ අතර එයත් සමඟින් තරගයේ ජයග්‍රහණය ද ගුවන් හමුදාවට හිමි වුනා. 

  • ගුවන් හමුදාව 17 (2T, 2C, 1P) – යුද හමුදාව 14 (2T, 2C) 

Blac Knight තරගයේ වීරයා: ශෂික ප්‍රනාන්දු (ගුවන් හමුදාව)  

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්:  

  • ගුවන් හමුදාව – ශෂික ප්‍රනාන්දු 1T, නිශාන් පීරිස් 1T, ගයන්ත ඉද්දමල්ගොඩ 2C, 1P 
  • යුද හමුදාව – නාලක මදුරංග 1T, අශාන් බණ්ඩාර 1T, චමත් ප්‍රනාන්දු 2C 

CR & FC සහ Havelock  

දේශීය රග්බි පිටියේ වඩාත් උණුසුම් ගැටුමක් ලෙස සැලකුම් ලබන මෙම රග්බි ගැටුමෙන් මෙවර ජයග්‍රහණය කිරීමට CR & FC කණ්ඩායම විසින් සමත් වුනේ මෙම තරගවාරයේ සිය අපරාජිත බව ඉදිරියටත් රැක ගනිමිනුයි. 

තරගයේ අට වැනි මිනිත්තුවේ දී උදාර ලක්ශාන් විසින් වාර්තා කල උත්සාහක දිනුමත් සමඟින් Havelock කණ්ඩායම ලකුණු ලබා ගැනීම ආරම්භ කළා. 

තරගයේ පළමු අර්ධය නිමා වන තෙක් ම Havelock ක්‍රීඩකයින් නැවත ලකුණු ලබා ගැනීමට සමත් නොවූ අතර, CR & FC ක්‍රීඩකයින් ද ප්‍රථම අර්ධයේ සාර්ථක කර ගත්තේ එක් දඬුවම් පහරක් පමණයි. 

කෙසේ වෙතත් තරගයේ දෙවන අර්ධය ආරම්භ වීමත් සමඟින් CR ක්‍රීඩකයින් සිය සුපුරුදු සටනට එළඹුණා. CR උපනායක ගැමුණු චේතිය විසින් උත්සාක දිනුමක් සාර්ථක කර ගනිමින් තම කණ්ඩායම ලකුණු සටහනේ පෙරමුණට රැගෙන ආ නමුත් ඉන් පසුව Havelock කණ්ඩායම දඬුවම් පහරක් සමඟ නැවතත් ලකුණු සටහනේ පෙරමුණට පැමිණියා. 

කෙසේ වෙතත් එතැනින් පසු තරගයේ ආධිපත්‍යය සම්පූර්ණයෙන්ම CR වෙත නතු වූ අතර ඔවුන් තවත් උත්සාහක දිනුම් තුනක් වාර්තා කිරීමට සමත් වුනා. නමුත් Havelock ක්‍රීඩකයින් තවත් එකඳු ලකුණක් හෝ සිය ලකුණු පුවරුවට එක් කර ගැනීමට සමත් වුනේ නැහැ. 

  • CR & FC 25 (4T, 1C, 1P) – Havelock 10 (1T, 1P, 1C) 

Black Knight තරගයේ වීරයාසෙනුර පෙරේරා (CR & FC) 

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්: 

  • CR & FCගැමුණු චේතිය 1T, මනිල්ක රුබේරු 1T, කුශාන් තරිඳු 1T, වෙනුර කෝදාගොඩ 1T, තේනුක නානායක්කාර 1P 
  • Havelockඋදාර ලක්ෂාන් 1T, සැමුවෙල් මදුවන්ත 1C, ජනිත් චන්දිමාල් 1P 

මහනුවර ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය  

තරගාවලියේ මෙතෙක් අපරාජිත කණ්ඩායම් දෙකෙන් එකක් ලෙස මහනුවර මෙම තරගයට පිවිසෙද්දී, මෙතෙක් එකඳු ජයග්‍රහණයක් හෝ ලබා ගැනීමට නොහැකි වූ නාවික හමුදාව අනෙක් පසින් තරගයට එක් වුනා. 

කෙසේ වෙතත් මෙම තරගයත් නාවික හමුදාවට නම් එතරම් සුබ ප්‍රතිඵලයක් ගෙන දුන්නේ නැහැ.  

තරගයේ පළමු උත්සාහක දිනුම මහනුවර නායක ලවන්ග පෙරේරා විසින් ලබා ගැනීමට සමත් වූ අතර, පසුව ලසිත අත්තනගොඩ විසින් තවත් උත්සාහක දිනුමක් වාර්තා කළා. පසුව නාවික හමුදාව වෙනුවෙන් ක්‍රියාත්මක වූ අමිත් මදුශංක නාවික හමුදාව වෙනුවෙන් උතාසාහක දිනුමක් වාර්තා කරමින් ලකුණු ලබා ගැනීම ආරම්භ කළා. 

තරගයේ පළමු අර්ධය අවසන් වීමට පෙර ධනුෂ්ක රන්ජන් විසින් මහනුවර වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් වාර්තා කළා. තරගයේ පළමු අර්ධය නිමා වන විට මහනුවර ලකුණු 17 – 07ක් ලෙස පෙරමුණේ පසු වුනා. 

තරගාවලියේ දෙවන අර්ධයේ දී නම් නාවික හමුදාවට පළමු අර්ධයේ තරම් හෝ දස්කම් පෑමට හැකියාව ලැබුණේ නැහැ. නමුත් මහනුවර විසින් මෙම අර්ධයේ දී තවත් උත්සාහක දිනුම් හතරක් වාර්තා කිරීමට සමත් වුනේ මෙවර තරගාවලියේ සිය ආධිපත්‍ය කෙතරම් ද යන්න මොනවට පෙන්නුම් කරමිනුයි. 

  • මහනුවර 48 (7T, 5C, 1P) – නාවික හමුදාව 07 (1T, 1C)  

Black Knight තරගයේ වීරයාතරින්ද රත්වත්තේ (මහනුවර) 

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්: 

  • මහනුවරතරින්ද රත්වත්තේ 1T 4C 1P, නිගෙල් රත්වත්තේ 1C, කවිඳු පෙරේරා 1T, හේශාන් ජන්සෙන් 1T, හේශාන් ද සිල්වා 1T, ලවන්ග පෙරේරා 1T, ලසිත අත්තනගොඩ 1T, ධනුෂ්ක රන්ජන් 1T 
  • නාවික හමුදාව – අමිත් මදුශංක 1T, ඉසුරු කෝන්ගහවත්ත 1C 

CH & FC සහ පොලිස් ක්‍රීඩා සමාජය 

මෙවර තරගවාරයේ ලකුණු සටහනේ ඉදිරියට පැමිණීම  වෙනුවෙන් මෙම කණ්ඩායම් දෙකට මෙම තරගයේ දී විවෘත අවස්ථාවක් ඉතිරිව තිබූ අතර, ඒ වෙනුවෙන් කණ්ඩායම් ද්විත්වයම ඉතා ආක්‍රමණශීලී ලෙස ක්‍රීඩා කළා. 

එහි අවසන් ප්‍රතිඵල වුනේ තරගය නිමා වන විට කණ්ඩායම් ද්විත්වය විසින් දඬුවම් පහර 34ක් දෙපාර්ශවයට ලබා දී තිබීමයි. 

මින් දඬුවම් පහර 22ක් CH & FC විසින් ලබා දුන් ඒවා වන අතර පොලිස් ක්‍රීඩකයින් විසින් දඬුවම් පහර 12ක් ලබා දුන්නා. තරගය කෙතරම් තරගකාරී වී ද යත් තරගය පුරාවට කහ කාඩ් පත් හතරක් CH & FC ක්‍රීඩකයින්ට හිමි වුනා. 

තරගයේ පළමු අර්ධය තුළ CH & FC විසින් ලකුණු 18ක් ලබා ගැනීමට සමත් වුනේ උත්සාහක දිනුම් තුනක් ද සමඟයි. ඒ වන විට පොලිස් ක්‍රීඩා සමාජය විසින් එක් උත්සාහක දිනුමක් ද සමඟ ලකුණු 07ක් ලබා සිටියා. 

තරගයේ දෙවන අර්ධය තුළ CH විසින් ලකුණු ලබා නොගත් අතර, පොලිස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් මිතුන් හපුගොඩ උත්සාහක දිනුමත් වාර්තා කළා. නමුත් CH කණ්ඩායමේ ජයග්‍රහණය වළක්වාලීමට එය ප්‍රමාණවත් වුනේ නැහැ. 

  • CH & FC 18 (3P, 1T) – පොලිස් ක්‍රීඩා සමාජය  12 (2T, 1C) 

Black Knight තරගයේ වීරයා – රවිඳු අංජුල (CH & FC) 

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්: 

  • CH & FCමොහොමඩ් අබ්සාල් 1T, ගිම්හාන සිල්වා 1T, ගිහාන් මදුශංක 1T, හිරුශ නෙත්මින 1P 
  • පොලිස් ක්‍රීඩා සමාජයහිරන්ත පෙරේරා 1T, මිතුන් හපුගොඩ 1T, යොහාන් පීරිස් 1C 

මේ අනුව මහනුවර සහ CR & FC ඉදිරි සතිය වන තෙක් අපරාජිත ව ලකුණු සටහනේ පෙරමුණේ රැඳී සිටිනු ඇති. නමුත් එළඹෙන සති අන්තයේ දී මෙම කණ්ඩායම් ද්විත්වය එකිනෙකා හා ගැටීමට නියමිත අතර එයින් මෙම එක් කණ්ඩායමක අපරාජිත ගමන නිමා වනු ඇති. 

Nippon Paint Club Rugby League 2023/24 තරගවාරයේ සියලු තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<