මහනුවර, පොලිස්, CR&FC සහ Havelock ජයග්‍රාහීව තරගාවලිය අරඹයි

Nippon Paint Club Rugby League 2023/24

518

දේශීය රග්බි පිටියේ පැවැත්වෙන ප්‍රධානතම තරගාවලිය වන Nippon Paint අන්තර් සමාජ රග්බි ලීගයේ 2023/24 තරගවාරය ආරම්භ කරමින් පළමු සතියේ තරග ඊයේ (03) නිමාවට පත් වුනා.

Havelock ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය  

තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගය වූ මෙම තරගයෙන් ගුවන් හමුදා ක්‍රීඩකයින් පරාජය කරමින් ලකුණු 49-8ක පහසු ජයක් ලැබීමට සත්කාරක Havelock ක්‍රීඩකයින් සමත් වුනා. 

විදුලි ආලෝක තත්වය යටතේ රාත්‍රි තරගයක් ලෙස පැවති මෙම තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කරමින් ලකුණු ලබා ගැනීම ආරම්භ කිරීමට Havelock ක්‍රීඩක කවිෂ කලුආරච්චිට සමත් වුනා.  

ගුවන් හමුදා කණ්ඩායම වෙනුවෙන් පළමු ලකුණු වාර්තා කිරීමට සමත් වුනේ අත්දැකීම් බහුල ක්‍රීඩක ගයන්ත ඉද්දමල්ගොඩයි. Havelock ක්‍රීඩකයින් සිදු කළ වරදක් නිසා හිමි වූ දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් ඔවුන් ලකුණු ලබා ගැනීම ආරම්භ කළා. 

Havelock කණ්ඩායම වෙනුවෙන් නායක Azmir Fajudeen උත්සාහක දිනුමක් වාර්තා කරද්දී, එයට පිළිතුරු ලෙස ගුවන් හමුදාව වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට ප්‍රමෝද් පද්මසංක සමත් වුනා.  

පළමු අර්ධය අවසන් වීමට කෙටි වේලාවකට පෙර Havelock ක්‍රීඩක සැමුවෙල් මදුවන්ත වාර්තා කළ දඬුවම් පහර සමඟ ලකුණු 13-08ක් ලෙස සත්කාරකයින් පෙරමුණේ තබමින් පළමු අර්ධය අවසන් වුනා.  

දෙවැනි අර්ධය ආරම්භයේ සිට සිය ආධිපත්‍ය පැතිර වූ Havelock ක්‍රීඩකයින් එම අර්ධය තුළ උත්සාහක දිනුම් 5ක්, ප්‍රවර්තන 4ක් සහ එක් දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට හැකි වූවත් ප්‍රතිවාදී ගුවන් හමුදා ක්‍රීඩකයින්ට එක් ලකුණක් හෝ වාර්තා කිරීමට හැකි වුනේ නැහැ.  

සැමුවෙල් මදුවන්ත සිය කණ්ඩායම වෙනුවෙන් දෙවැනි දඬුවම් පහර වාර්තා කිරීමට සමත් වූ අතර දිනුප සෙනවිරත්න උත්සාහක දිනුම් ත්‍රිත්වයක් වාර්තා කළා.  

Havelock කණ්ඩායම වෙනුවෙන් අනෙක් උත්සාහක දිනුම් චානක චන්දිමාල්, උදාර ලක්මාල් සහ ජයතු රාජරත්න වාර්තා කරද්දී, ජනිත් චන්දිමාල් ප්‍රවර්තන අවස්ථා හතරක් සාර්ථකව එල්ල කළා.  

Blacknight තරගයේ වීරයා: Azmir Fajudeen 

අවසන් ලකුණු තත්වය: Havelock  SC 49 (7T 2P 4C) – 08 (1T 1P) Air Force SC 

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්, 

  • Havelock SCදිනුප සෙනවිරත්න 3T, Azmir Fajudeen 1T, චානක චන්දිමාල් 1T, උදාර ලක්ෂාන් 1T, ජයතු රාජරත්න 1T, සැමුවෙල් මදුවන්ත 2P, ජනිත් චන්දිමාල් 4C.  
  • Air Force SCප්‍රමෝද් පද්මසංක 1T, ගයන්ත ඉද්දමල්ගොඩ 1T.  

පොලිස් ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය  

කොළඹ පොලිස් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයෙන් ලකුණු 41-22ක් ලෙස නාවික හමුදා ක්‍රීඩකයින් පරාජය කරමින් ජයග්‍රහණය ලැබීමට පොලිස් ක්‍රීඩකයින් සමත් වුනා.  

සත්කාරක ක්‍රීඩාංගණයේ දී අවශ්‍ය ආරම්භය ලබා ගත් පොලිස් කණ්ඩායම වෙනුවෙන් සුජාන් කොඩිතුවක්කු පළමු උත්සාහක දිනුම වාර්තා කරද්දී,  එහි ප්‍රවර්තන අවස්ථාව ප්‍රින්ස් චාමර විසින් සාර්ථකව එල්ල කළා.  

එයින් කෙටි වෙලාවකට පසු නැවත ක්‍රියාත්මක වූ හිරන්ත පෙරේරා පොලිස් කණ්ඩායම වෙනුවෙන් දෙවැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වූ අතර නාවික හමුදාව වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කරමින් ලකුණු ලබා ගැනීම ආරම්භ කිරීමට දෙනුවන් වික්‍රමආරච්චි සමත් වුනා.  

පොලිස් කණ්ඩායම වෙනුවෙන් තෙවැනි උත්සාහක දිනුම වාර්තා කරමින් සිය ලකුණු පරතරය ඉහළ දැමීමට ලහිරු තිලකරත්න සමත් වෙද්දී, ප්‍රිමේෂ් ධනුෂ්ක ලබා දුන් පන්දුවක් සාර්ථකව සීමා ඉර පසු කරමින් ප්‍රසාද උත්සාහක දිනුම් සංඛ්‍යාව (bonus point try) පළමු මිනිත්තු 30 තුළ සම්පූර්ණ කිරීමට මතීෂ පෙරේරා සමත් වුනා.  

පළමු අර්ධය අවසන් වීමට මත්තෙන් පොලිස් ක්‍රීඩක හිරත්න සිය දෙවැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වූ අතර එහි ප්‍රවර්තනය චාමර සමත් වූ නිසා පළමු අර්ධය ලකුණු 31-08 ලෙස පොලිස් ක්‍රීඩකයින් පෙරමුණේ තබමින් අවසන් වුනා.  

පළමු අර්ධයේ ලබා ගත් ආධිපත්‍ය නැවත තහවුරු කළ මතීෂ දෙවැනි අර්ධය ආරම්භයේ තවත් උත්සාහක දිනුමක් වාර්තා කරද්දී, එහි ප්‍රවර්තනය ද චාමර සාර්ථකව එල්ල කළා.  

මෙතෙක් වෙලා දැඩි පසුබෑමකට ලක් ව තිබූ නාවික හමුදා කණ්ඩායම වෙනුවෙන් ක්‍රියාත්මක වූ අනුෂ්ක රමේෂ් සහ ලහිරු හේරත් උත්සාහක දිනුම් වාර්තා කළ අතර එහි ප්‍රවර්තන අවස්ථා ද්විත්වය නායක තිලින වීරසිංහ සාර්ථකව එල්ල කළා.  

නාවික හමුදා ක්‍රීඩකයින් සිදු කළ වරදක් නිසා හිමි වූ දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් සිය කණ්ඩායම ලකුණු 40 සීමාවට ගෙන ඒමට චාමරට හැකි වූ අතර එම අර්ධය තුළ වෙනත් කිසිදු ලකුණක් වාර්තා කිරීමට කණ්ඩායම් ද්විත්වයටම හැකි වුනේ නැහැ.  

Blacknight තරගයේ වීරයා: මතීෂ පෙරේරා (පොලිස් ක්‍රීඩා සමාජය) 

අවසන් ලකුණු තත්වය: පොලිස් ක්‍රීඩා සමාජය 41 (6T 4C 1P) – 22 (3T 2C 1P) නාවික හමුදා ක්‍රීඩා සමාජය  

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්,  

  • පොලිස් ක්‍රීඩා සමාජය : මතීෂ පෙරේරා 2T, හිරන්ත පෙරේරා 2T, සුජාන් කොඩිතුවක්කු 1T, ලහිරු තිලකරත්න 1T, ප්‍රින්ස් චාමර 4C & 1P. 
  • නාවික හමුදා ක්‍රීඩා සමාජය: ලහිරු හේරත් 1T, අනුෂ්ක රමේෂ් 1T, දෙනුවන් වික්‍රමාරච්චි 1T, තිලින වීරසිංහ 2C & 1P. 

CR&FC සහ යුද හමුදා ක්‍රීඩා සමාජය 

යුද හමුදා කණ්ඩායමට එරෙහිව ලකුණු 55-08ක පහසු ජයග්‍රහණයක් වාර්තා කරමින් තරගවාරය ඉතා සාර්ථකව ආරම්භ කිරීමට CR&FC ක්‍රීඩකයින් සමත් වුනා. 

පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට CR&FC ක්‍රීඩක ලසිඳු කරුණාතිලක සමත් වූ අතර තේනුක නානායක්කාර දඬුවම් පහරක් සාර්ථකව එල්ල කළා.  

CR&FC කණ්ඩායම වෙනුවෙන් චෙමෝද් මුතුනායක දෙවැනි උත්සාහක දිනුම වාර්තා කරද්දී, දිනයේ කැපී පෙනෙන උත්සාහක දිනුම වාර්තා කිරීමට අදීෂ වීරතුංග සමත් වුනා.  

යුද හමුදා ක්‍රීඩකයින් සිය ක්‍රීඩා පිටිය තුළ අසරණ කරමින් තවත් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කිරීමට තේනුක සමත් වූ අතර තරගයේ 37වැනි මිනිත්තුවේ දී හිමි වූ දඬුවම් පහරක් එල්ල කරමින් යුද හමුදා ක්‍රීඩකයින් තරගයේ ලකුණු ලබා ගැනීම ආරම්භ කළා.  

පළමු අර්ධයේ රිද්මය එලෙස රඳවා ගනිමින් දෙවැනි අර්ධය සඳහා පිවිසි CR&FC කණ්ඩායම වෙනුවෙන් තවත් උත්සාහක දිනුම් තුනක් වාර්තා කිරීමට සෙනාල් අදිකාරම්, සුහිරු ඇන්තනී සහ යසස් කවිඳු සමත් වුනා. 

යුද හමුදා කණ්ඩායම වෙනුවෙන් වාර්තා වූ එකම උත්සාහක දිනුම වාර්තා කිරීමට මොහොමඩ් අක්‍රම්ට හැකි වූ නමුත් එයින් පසු කිසිදු ලකුණක් වාර්තා කිරීමට ඔවුන්ට හැකි වුනේ නැහැ.  

Blacknight තරගයේ වීරයා: අදීෂ වීරතුංග (CR&FC)  

අවසන් ලකුණු තත්වය: CR&FC 55 (8T, 6C, 1P) – 08 (1T, 1P) 

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්, 

  • CR&FCතේනුක නානායක්කාර 2T, 5C & 1P, යසස් කවිඳු 1T & 1C, ලසිඳු කරුණාතිලක 1T, චෙමෝද් මුතුනායක 1T, අදීෂ වීරතුංග 1T, සෙනාල් අදිකාරම් 1T, සුහිරු ඇන්තනී 1T. 
  • යුද හමුදා ක්‍රීඩා සමාජය: මොහොමඩ් අක්‍රම් 1T, චමෝද් ප්‍රනාන්දු 1P. 

මහනුවර ක්‍රීඩා සමාජය සහ CH & FC 

CH & FC කණ්ඩායම ලකුණු 22-13ක් ලෙස පරාජයට පත් කරමින් තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට වත්මන් ශූර මහනුවර ක්‍රීඩා සමාජ ක්‍රීඩකයින් සමත් වුනා. 

මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට මහනුවර ක්‍රීඩක තිලින බණ්ඩාර සමත් වුනා.  

දඬුවම් පහර අවස්ථාවක් සාර්ථක කර ගනිමින් CH & FC කණ්ඩායමේ ලකුණු ලබා ගැනීම ආරම්භ කිරීමට හිරූෂ සම්පත්ට හැකි වූවත් එයට පිළිතුරු ලෙස මහනුවර කණ්ඩායම වෙනුවෙන් නයිජල් රත්වත්ත උත්සාහක දිනුමක් වාර්තා කළා.  

පළමු අර්ධය අවසන් වීමට පෙර ක්‍රියාත්මක වූ තිලින බණ්ඩාර තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූ අතර එම උත්සාහක දිනුම සමඟ පළමු අර්ධය අවසන් වුනේ ලකුණු 17-03ක් ලෙස මහනුවර ක්‍රීඩකයින් පෙරමුණේ තබමිනුයි. 

තරගය තවදුරටත් මහනුවර කණ්ඩායමට ගෙන එමින් තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට නයිජල් රත්වත්ත සමත් වූවත් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට හැකි වුනේ නැහැ. 

පළමු අර්ධයට වඩා දැඩි සටන්කාමී බවක් දෙවැනි අර්ධයේ දී පෙන්නුම් කළ CH & FC කණ්ඩායම වෙනුවෙන් අවන්ත ලී උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වෙද්දී, එහි ප්‍රවර්තනය සහ තවත් දඬුවම් පහරක් සාර්ථකව එල්ල කිරීමට හිරූෂ සමත් වුනා. 

දෙවැනි අර්ධයේ වැඩි ආධිපත්‍ය CH & FC ක්‍රීඩකයින් සතු වූවත් මහනුවර පසුපෙළ ක්‍රීඩකයින්ගේ කැපී පෙනෙන ක්‍රීඩා විලාසය නිසා තරගය ජයග්‍රාහීව අවසන් කිරීමට මහනුවර ක්‍රීඩකයින් සමත් වුනා. 

Blacknight තරගයේ වීරයා: තිලිණ බණ්ඩාර (මහනුවර ක්‍රීඩා සමාජය) 

අවසන් ලකුණු තත්වය: මහනුවර ක්‍රීඩා සමාජය 22 (4T,1C) – 13 (1T,1C,1P) CH & FC 

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්, 

  • මහනුවර ක්‍රීඩා සමාජය: තිලිණ බණ්ඩාර 2T, නයිජල් රත්වත්ත 2T, තරින්ද රත්වත්ත 1C.  
  • CH & FC: අවන්ත ලී 1T, හිරූෂ සම්පත් 1C & 1P.  

2023/24 Nippon Paint Club රග්බිලීග් තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කිරීමට ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare අප සූදානම්. රැඳී සිටින්න අප සමඟ.   

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<