මහනුවර, CR & FC, CH & FC සහ Havelock ජයග්‍රහණය අතරට

Nippon Paint Club Rugby League 2023/24

345
Week 03 Roundup

දේශීය රග්බි පිටිය උණුසුම් කරමින් පැවැත්වෙන Nippon Paint Club Rugby League තරගාවලියේ තෙවැනි සතියේ තරග පසුගිය දා නිමාවට පත් වුනා.  

නත්තල් විවේකයට පෙර තරග පැවැත් වූ අවසන් සතිය වූ එම සතියේ තරග වලින් ජයග්‍රහණ ලබා ගෙන ප්‍රබල ලෙස තෙවැනි සතිය අවසන් කිරීමට මහනුවර, CH & FC, Havelock සහ CR & FC කණ්ඩායම් සමත් වීම විශේෂත්වයක්. 

CR & FC සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය  

කොළඹ CR & FC පිටියේ පැවති මෙම තරගයෙන් ගුවන් හමුදාව 29 – 05ක් ලෙස පරාජය කරමින් සිය අපරාජිකත්වය ආරක්ෂා කර ගැනීමට ප්‍රබල CR & FC ක්‍රීඩකයින් සමත්  වුනා.  

තරගය ආරම්භයේ සිටම ප්‍රතිවාදීන්ට දැඩි පීඩනයක් එල්ල කළ CR & FC කණ්ඩායම වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට ගැමුණු චේතියට හැකි වූවත් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට හැකි වුනේ නැහැ.  

CR & FC කණ්ඩායම වෙනුවෙන් ලසිඳු කරුණාතිලක, තේනුක නානායක්කාර සහ රැන්ඩි සිල්වා උත්සාහක දිනුම් වාර්තා කිරීමට සමත් වූ අතර එම අර්ධය තුළ කිසිදු ලකුණක් වාර්තා කිරීමට ගුවන් හමුදා ක්‍රීඩකයින් අසමත් වීම කැපී පෙනුණා.  

දෙවැනි අර්ධයේ දී ගුවන් හමුදා ආරක්ෂක ක්‍රීඩකයින් ඉතා ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ අතර CR & FC කණ්ඩායම වෙනුවෙන් එම අර්ධයේ වාර්තා වූ එකම උත්සාහක දිනුම යසස් කවිඳු වාර්තා කළා. 

තරගය පුරාවට ගුවන් හමුදා කණ්ඩායම වෙනුවෙන් වාර්තා වූ පළමු ලකුණ වාර්තා කරමින් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට උදේශ් මදුශංකට හැකි වූ අතර එයින් පසු කිසිදු ලකුණක් වාර්තා කිරීමට දෙපිලම සමත් වුනේ නැහැ.  

Black Knight තරගයේ වීරයා: කවිඳු ද කොස්තා (CR & FC) 

අවසන් ලකුණු තත්වය: CR & FC 29 (5T 2C) – 05 (1T) ගුවන් හමුදාව 

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්, 

  • CR & FCගැමුණු චේතිය 1T, ලසිඳු කරුණාතිලක 1T, තේනුක නානායක්කාර 1T & 2C, රැන්ඩි සිල්වා 1T, යසස් කවිඳු 1T. 
  • ගුවන් හමුදාව : උදේශ් මදුශංක 1T 

නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ CH & FC  

නාවික හමුදා ක්‍රීඩකයින් සිය සත්කාරක ක්‍රීඩාංගණය තුළ අසරණ කරමින් ලකුණු 34-14ක් ලෙස ජයග්‍රහණය ලබා ගැනීමට CH & FC කණ්ඩායම සමත් වුනා.  

තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට මහනුවර ක්‍රීඩකයින් 17 වැනි මිනිත්තුවේ දී සමත් වූ අතර ධනුෂ්ක රාජන් විසින් එම උත්සාහක දිනුම වාර්තා කළා.  

එම උත්සාහක දිනුමෙන් කෙටි වේලාවක් තුළ ක්‍රියාත්මක වූ CH & FC ක්‍රීඩක නිරෝෂ් පෙරේරා CH & FC කණ්ඩායම වෙනුවෙන් දෙවැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වූ අතර එහි ප්‍රවර්තනය නෙත්මින සාර්ථකව එල්ල කළා. 

නාවික හමුදා ක්‍රීඩකයින් තරගයට අවතීර්ණ කරමින් Stephan Gregory වාර්තා කළ උත්සාහක දිනුමේ ප්‍රවර්තනය සාර්ථකව එල්ල කිරීමට ඉසුරු කෝන්ගහවත්තට හැකි වූවත් CH & FC ක්‍රීඩක ජනිත ලක්සර උත්සාහක දිනුමක් වාර්තා කරමින් තරගයේ ලකුණු පරතරය වැඩි කළා. 

පළමු අර්ධය අවසන් වීමට කෙටි වෙලාවකට පෙර හිමි වූ දඬුවම් පහරක් සාර්ථකව එල්ල කිරීමට නෙත්මින සමත් වූ නිසා පළමු අර්ධය CH & FC ක්‍රීඩකයින් පෙරමුණේ තබමින් අවසන් වුනා. 

දෙවැනි අර්ධයේ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට CH & FC ක්‍රීඩක ප්‍රසාත් මදුශංක සමත් වූ අතර එයට පිළිතුරු ලෙස නාවික හමුදා කණ්ඩායම වෙනුවෙන් දෙවැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට දෙනුවන් වික්‍රමාරච්චි සමත් වුනා. 

තරගය අවසන් වීමට කෙටි වේලාවක් තිබිය දී CH & FC කණ්ඩායම වෙනුවෙන් දෙවැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට ප්‍රසාත් මදුශංකට හැකි වීමත් සමඟ තරගයේ ජයග්‍රහණය තහවුරු කර ගැනීමට CH & FC ක්‍රීඩකයින්ට හැකි වුනා. 

Black Knight තරගයේ වීරයා: හර්ෂ මදුරංග (CH & FC) 

අවසන් ලකුණු තත්වය: CH & FC 34 (5T 3C 1P) – 14 (2T 2C) නාවික හමුදාව 

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්, 

  • CH & FCහිරූෂ නෙත්මින 3C & 1P, ප්‍රසාත් මදුශංක 2T, නිරෝෂ් පෙරේරා 1T, ජනිත් ලක්සර 1T. 
  • නාවික හමුදාව ඉසුරු කෝන්ගහවත්ත 2C, දෙනුවන් වික්‍රමාරච්චි 1T, Stephan Gregory 1T. 

යුද හමුදා ක්‍රීඩා සමාජය සහ Havelock ක්‍රීඩා සමාජය  

අවසන් මිනිත්තුව දක්වා ඇදී ගිය තියුණු සටනකින් පසු යුද හමුදා ක්‍රීඩකයින් ලකුණු 41 – 43ක් ලෙස පරාජය කරමින් ජයග්‍රහණය ලැබීමට Havelock ක්‍රීඩකයින් සමත් වුනා.  

සත්කාරක ක්‍රීඩා පිටියේ සුපුරුදු වාසිය ලබා ගත් Havelock නායක Azmir Fajudeen සහ රන්දිත වර්ණපුර උත්සාහක දිනුම් වාර්තා කිරීමට සමත් වෙද්දී, එහි එක් ප්‍රවර්තන අවස්ථාවක් සැමුවෙල් මදුවන්ත සාර්ථකව එල්ල කළා.  

තරගයේ 33 වැනි මිනිත්තුවේ දී ජයතු රාජරත්න අගනා උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූ අතර Azmir Fajudeen සිය දෙවැනි උත්සාහක දිනුම වාර්තා කරමින් Havelock ක්‍රීඩකයින් පෙරමුණට ගෙන ආවා.  

පළමු අර්ධය වීමට පෙර හිමි වූ දඬුවම් පහරක් එල්ල කිරීමේ අවස්ථාව යුද හමුදා ක්‍රීඩකයින් සාර්ථක කර ගැනීමට අසමත් වීම නිසා ලකුණු 33-7ක් ලෙස Havelock ක්‍රීඩකයින්ට වාසි ගෙන දෙමින් පළමු අර්ධය නිමා වුනා. 

දෙවැනි අර්ධය ආරම්භයේ යුද හමුදා කණ්ඩායම වෙනුවෙන් සුදාරක දික්කුඹුර උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූවත් Havelock කණ්ඩායම වෙනුවෙන් හයවැනි උත්සාහක දිනුම ශෙහාන් ඩයස් වාර්තා කළා.  

යුද හමුදා නායක අශේන් බණ්ඩාර තෙවැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වෙද්දී, තරගයේ කැපී පෙනෙන උත්සාහක දිනුම වාර්තා කරමින් තරගයට අවතීර්ණ වීමට යුද හමුදා ක්‍රීඩක ලහිරු රත්නායක සමත් වුනා. 

සත්කාරකයින්ට දිගින් දිගටම පීඩනය එල්ල කරමින් යුද හමුදා ක්‍රීඩක ලසන්ත කුමාර උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූවත් අවශ්‍ය මොහොතේ හිමි වූ දඬුවම් පහරක් සාර්ථකව එල්ල කරමින් මදුවන්ත ලකුණු පරතරය වැඩි කළා.  

අවසන් මොහොත තෙක් දැඩි පීඩනයක් එල්ල කරමින් යුද හමුදාව වෙනුවෙන් සුදාරක සහ ලසන්ත තවත් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කිරීමට සමත් වූවත් ලකුණු 2ක පරතරයකින් ජයග්‍රහණය තහවුරු කර ගැනීමට Havelock ක්‍රීඩකයින් සමත් වුනා. 

Black Knight තරගයේ වීරයා: සුදාරක දික්කුඹුර (යුද හමුදා ක්‍රීඩා සමාජය) 

අවසන් ලකුණු තත්වය: Havelock SC 43 (6T 5C 1P) – 41 (7T 3C) යුද හමුදා ක්‍රීඩා සමාජය  

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්, 

  • Havelock SC – Azmir Fajudeen 2T, රන්දිත වර්නපුර 1T, Christian De Lile 1T, ශෙහාන් ඩයස් 1T, සැමුවෙල් මදුවන්ත 5C & 1P. 
  • යුද හමුදා ක්‍රීඩා සමාජය – සුදාරක දික්කුඹුර 2T, ලහිරු රත්නායක 2T, ලසන්ත කුමාර 2T, අශේන් බණ්ඩාර 2C, ඩිල්ෂාන් හෙට්ටිආරච්චි 1C. 

මහනුවර ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය  

පොලිස් ක්‍රීඩකයින් සත්කාරක නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී ලකුණු 33-19ක් ලෙස පරාජයට පත් කරමින් අපරාජිතව තෙවැනි සතිය නිමා කිරීමට වත්මන් ශූර මහනුවර ක්‍රීඩකයින් සමත් වුනා. 

තරගයේ 15 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ මහනුවර ක්‍රීඩක ධනුෂ්ක රාජන් පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වූවත් එහි ප්‍රවර්තනය සාර්ථකව අවසන් කිරීමට තරින්ද රත්වත්ත අසමත් වුනා.  

මහනුවර ක්‍රීඩකයින්ට තරමක පීඩනයක් එල්ල කරමින් Amjad Fawmy වාර්තා කළ උත්සාහක දිනුමේ ප්‍රවර්තනය ඉතා සාර්ථකව එල්ල කිරීමට ප්‍රින්ස් චාමරට හැකි වුනේ තරගයේ පෙරමුණ පොලිස් ක්‍රීඩකයින්ට ලබාදෙමිනුයි 

පොලිස් ක්‍රීඩකයින්ගේ සතුට කෙටි වේලාවක් තුළ අහිමි කරමින් ඩිල්ෂාන් ෆරීඩ් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූ අතර එහි ප්‍රවර්තනය තරින්ද රත්වත්ත සාර්ථකව අවසන් කළා.  

සිය කණ්ඩායමේ ලකුණු පරතරය ඉහළ නංවමින් අලංකාර උත්සාහක දිනුමක් වාර්තා කිරීමට තරින්ද රත්වත්තට හැකි වූ අතර එහි ප්‍රවර්තනය ද ඔහු විසින් සාර්ථකව එල්ල කළා. 

පළමු අර්ධය අවසන් වීමට කෙටි වෙලාවක් ඉතිරිව තිබිය දී දිනයේ දෙවැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට ඩිල්ෂාන්ට හැකි වීමත් සමඟ ලකුණු 26 – 07ක් ලෙස දැඩි පෙරමුණකින් පළමු අර්ධය අවසන් කිරීමට මහනුවර ක්‍රීඩකයින් සමත් වුනා.  

දෙවැනි අර්ධයට අවශ්‍ය ආරම්භය ලබා දෙමින් පොලිස් කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සචිත් සිල්වා සමත් වෙද්දී, එහි ප්‍රවර්තනය ප්‍රින්ස් සාර්ථකව එල්ල කළා. 

පොලිස් ක්‍රීඩකයින් තවදුරටත් තරගයේ රඳවා ගනිමින් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට දුලංජන විජේසිංහට හැකි වූවත් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ප්‍රින්ස්ට හැකි වුනේ නැහැ.  

නමුත් තරගයේ ජයග්‍රහණය සිය කණ්ඩායමට තහවුරු කරමින් දිනයේ දෙවැනි උත්සාහක දිනුම සහ ප්‍රවර්තනය වාර්තා කිරීමට තරින්ද රත්වත්තට හැකි වුනා.  

Black Knight තරගයේ වීරයා: තරින්ද රත්වත්ත (මහනුවර ක්‍රීඩා සමාජය) 

අවසන් ලකුණු තත්වය: මහනුවර ක්‍රීඩා සමාජය 33 (5T 4C) – 19 (3T 2C) පොලිස් ක්‍රීඩා සමාජය  

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්, 

  • මහනුවර ක්‍රීඩා සමාජය – තරින්ද රත්වත්ත 2T & 4C, ඩිල්ෂාන් ෆරීඩ් 2T, ධනුෂ්ක රාජන් 1T. 
  • පොලිස් ක්‍රීඩා සමාජය – සචිත් සිල්වා 1T, Amjad Fawmy 1T, දුලංජන විජේසිංහ 1T, ප්‍රින්ස් චාමර 2C.  

2023/24 Nippon Paint Clubරග්බිලීග් තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කිරීමට ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වනThePapareඅප සූදානම්. රැඳී සිටින්න අප සමඟ. 

>>තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න<<