මහනුවර, CR & FC, යුද හමුදා සහ Havelock ජයග්‍රහණ ලබමින් වසර අවසන් කරයි

Nippon Paint Club Rugby League 2023/24

205

2023 වසරේ අවසන් සති අන්තයේ දී Nippon Paint Club Rugby League 2023/24 තරග වාරයේ සිව් වැනි සතියට අදාළ තරග පැවැත්වුණා.

එහි දී වසරේ අවසාන සතියේ ජයග්‍රහණ වාර්තා කිරීමට යුද හමුදා, Havelock, මහනුවර සහ CR & FC කණ්ඩායම් විසින් සමත් වුනේ එළඹෙන වසරේ දී මෙවර තරග වාරයේ තරගකාරීත්වය තවත් ඉහළ නංවනු ඇති බවට ඉඟි ලබා දෙමිනුයි.

CR & FC සහ CH & FC

කොළඹ CR & FC පිටියේ පැවැත්වුණු මෙම තරගයෙන් ලකුණු 28 – 23ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සත්කාරක CR කණ්ඩායම විසින් සමත් වුනා.

දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමත් සමඟින් තේනුක නානායක්කාර විසින් CR & FC වෙනුවෙන් ලකුණු ලබා ගැනීම ආරම්භ කල අතර CH & FC වෙනුවෙන් ලකුණු ලබා ගැනීම හිරුශ නෙත්මින විසින් ආරම්භ කළා.

තරගයේ පළමු උත්සාහක දිනුම CR & FC වෙනුවෙන් වාර්තා කිරීමට ලසිඳු කරුණාතිලක විසින් සමත් වූ අතර, පසුව රැන්ඩි සිල්වා විසින් CR & FC වෙනුවෙන් තරගයේ දෙවන උත්සාහක දිනුම ද වාර්තා කිරීමට සමත් වුනා. මේ අතරේ ප්‍රසාන්ත් මදුශංක විසින් CH & FC වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමත් සමඟින් තරගයේ පළමු අර්ධය ලකුණු 13 – 10ක් ලෙස CR & FC ඉදිරියෙන් සිටිය දී අවසන් වුනා.

තරගයේ දෙවන අර්ධයේ දී CR & FC වෙනුවෙන් මනෙල්ක රුබේරු සහ අමිත් ගුරුසිංහ විසින් තවත් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කිරීමට සමත් වූ අතර දිනේශ් ද සිල්වා විසින් දෙවන අර්ධයේ CH & FC වෙනුවෙන් වාර්තා වූ එකම උත්සාහක දිනුම රැස් කිරීමට සමත් වුනා. කෙසේ වෙතත් එය සත්කාරක කණ්ඩායමේ ජයග්‍රහණය වළකාලීමට තරම් ප්‍රමාණවත් වුනේ නැහැ.

Black Knight තරගයේ වීරයා : අමිත් ගුරුසිංහ (CR & FC)

  • අවසන් ලකුණු තත්වය: CR & FC 28 (4T 1C 2P) – CH & FC 23 (2T 2C 3P)

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්,

  • CR & FC: ලසිඳු කරුණාතිලක 1T, රැන්ඩි සිල්වා 1T, මනෙල්ක රුබේරු 1T, අමිත් ගුරුසිංහ 1T, තේනුක නානායක්කාර 1C, 2P
  • CH & FC: ප්‍රසාන්ත් මදුශංක 1T, දිනේශ් සිල්වා 1T, හිරුශ නෙත්මින 2C, 3P

මහනුවර ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

මෙම තරගයෙන් වත්මන් ශූර මහනුවර කණ්ඩායම විසින් ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව ලකුණු 30 – 13ක් ලෙස පහසු ජයක් වාර්තා කිරීමට සමත් වුනා.

රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ පැවැත්වුණු මෙම තරගයේ පළමු අර්ධය නම් සම්පූර්ණයෙන්ම ගුවන් හමුදාවට නතු වූ එකක් ලෙස හඳුන්වා දිය හැකියි. තරගයේ

පහළොස් වැනි මිනිත්තුවේ දී දඬුවම් පහරක් සාර්ථක කර ගත් ගයන්ත ඉද්දමල්ගොඩ විසින් ගුවන් හමුදාව වෙනුවෙන් ලකුණු ලබා ගැනීම ආරම්භ කළා.

තරගයේ පළමු අර්ධය නිමා වන විට ලකුණු 05 – 06ක් ලෙස තරගයේ පෙරමුණ ගැනීමට ගුවන් හමුදාව විසින් සමත් වී සිටියා.

කෙසේ වෙතත් තරගයේ දෙවන අර්ධයේ දී නැවතත් සිය සුපුරුදු තරග රටාවට එළඹුණු මහනුවර කණ්ඩායම විසින් ගුවන් හමුදාවට ප්‍රබල අභියෝගයක් ලබා දුන් අතර තරගයේ නියමිත කාල සීමාව අවසන් වන විට ඔවුන් විසින් උත්සාහක දිනුම් පහක් වාර්තා කිරීමට සමත් වී තිබුණා.

මෙම උත්සාහක දිනුම් ලක්ෂිත රණවීර (1) තරිඳු චතුරංග (2) සහ සුරංග තෙන්නකෝන් (2) අතරේ බෙදී යද්දී, ගුවන් හමුදාව වෙනුවෙන් වාර්තා වූ එකම උත්සාහක දිනුම සදලු මන්දෙව්ගේ නම ඉදිරියෙන් සටහන් වුනා.

Black Knight තරගයේ වීරයා: තරිඳු චතුරංග (මහනුවර)

  • අවසන් ලකුණු තත්වය: මහනුවර 30 (5T, 1C, 1P) – 13 (1T, 1C, 2P)

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්,

  • මහනුවර ක්‍රීඩා සමාජය: ලක්ෂිත රණවීර (1T), තරිඳු චතුරංග (2T), සුරංග තෙන්නකෝන් (2T), ආසිරි සෙනෙවිරත්න (1C, 1P)
  • ගුවන් හමුදා ක්‍රීඩා සමාජය: සදලු මන්දෙව් (1T), නදුන් ගුණසේකර (1C), ගයන්ත ඉද්දමල්ගොඩ (2P)

යුද හමුදා ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය

පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවැත්වුණු මෙම තරගයෙන් ලකුණු 29 – 17ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට යුද හමුදා කණ්ඩායම විසින් සමත් වුනා.

මෙවර තරග වාරයේ ක්‍රීඩා කළ තරග සියල්ල ම පරාජය වෙමින් ලකුණු සටහනේ අඩියේ ම රැඳී සිටි මෙම කණ්ඩායම් ද්විත්වය තම පළමු ජය සොයමින් තරගයට අවතීර්ණ වුනා. කෙසේ වෙතත් තරගයේ ආරම්භයේ පටන් ම තරගයේ වැඩි වාසි අත් කර ගැනීමට යුද හමුදා කණ්ඩායමට හැකියාව ලැබුණා.

තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 17 – 07ක් ලෙස යුද හමුදාව විසින් තරගයේ පෙරමුණ ගැනීමට සමත් වූ අතර එහි දී යුද හමුදාව වෙනුවෙන් ඩිශාර කෝදාගොඩ,

නාලන් ප්‍රේමනාත් සහ ලසන්ත කුමාර උත්සාහක දිනුම් වාර්තා කළා. එමෙන්ම නාවික හමුදාව වෙනුවෙන් ලහිරු හේරත් ද උත්සාහක දිනුමක් වාර්තා කළා.

තරගයේ දෙවන අර්ධය පළමු අර්ධයට වඩා තරමක් තරගකාරී ලෙස ක්‍රියාත්මක වුනත් පළමු අර්ධයේ ලද වාසිය ද සමඟින් යුද හමුදාව විසින් තරගයේ ජයග්‍රහණය හිමි කර ගැනීමට සමත් වුනා.

එම අර්ධයේ දී යුද හමුදාව වෙනුවෙන් ලහිරු රත්නායක සහ අශාන් බණ්ඩාර තවත් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කළා, එමෙන්ම විරාජ් කොළඹආරච්චි සහ දිමුත් පෙරේරා නාවික හමුදාව වෙනුවෙන් උත්සාහක දිනුම් වාර්තා කළා.

Black Knight තරගයේ වීරයා: මදුරංග නාලක (යුද හමුදාව)

  • අවසන් ලකුණු තත්වය: යුද හමුදාව 29 (5T, 2C) vs 19 (3T, 1C)

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්,

  • යුද හමුදා ක්‍රීඩා සමාජය: ඩිශාර කෝදාගොඩ 1T, ලසන්ත කුමාර (1T), නාලන් ප්‍රේමනාත් (1T), ලහිරු රත්නායක (1T), අශාන් බණ්ඩාර (1T, 2C)
  • නාවික හමුදා ක්‍රීඩා සමාජය: ලහිරු හේරත් (1T), විරාජ් කොළඹආරච්චි (1T), දිමුත් පෙරේරා (1T), ඉසුරු කෝන්ගහවත්ත (1C)

Havelock ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය

Havelock ක්‍රීඩකයින් විසින් පොලිස් ක්‍රීඩකයින්ට එරෙහිව ලකුණු 16 – 05ක් ලෙස පහසු ජයග්‍රහණයක් වාර්තා කිරීමත් සමඟින් 2023 වසර සඳහා දේශීය රග්බි පිටියේ තරග අවසන් වුනා.

තරගයේ සත්කාරකත්වය දැරූ පොලිස් කණ්ඩායමට මෙම තරගයේ පළමු අර්ධය පුරාවටම එකඳු ලකුණක් හෝ ලබා ගැනීමට Havelock කණ්ඩායමෙන් ඉඩ ලැබුණේ නැහැ.

කෙසේ වෙතත් එම අර්ධය තුළ Havelock වෙනුවෙන් රන්දිත මදුවන්ත විසින් වාර්තා කළ උත්සාහක දිනුමක් ද සමගින් ඔවුන් ලකුණු 13ක් ලබා ගැනීමට සමත් වුනා.

තරගයේ දෙවන අර්ධයේ දී සත්කාරකයින් විසින් පෙරට වඩා හොඳින් තරගයට අවතීර්ණ කරවීමට සමත් වූ හිරන්ත පෙරේරා විසින් උත්සාහක දිනුමක් වාර්තා කළ ද එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ඔවුන්ට හැකියාව ලැබුණේ නැහැ. කෙසේ වෙතත් ඉන් පසුව Havelock ආරක්ෂක වලල්ල බිඳ දැමීමට කිසිඳු පොලිස් ක්‍රීඩකයකු හෝ සමත් වුනේ නැහැ.

මෙම අර්ධයේ දී Havelock වෙනුවෙන් සැමුවෙල් මදුවන්ත විසින් තවත් ලකුණු 03ක් ලකුණු පුවරුවට එක් කිරීමට සමත් වුනා.

Black Knight තරගයේ වීරයා: සැමුවෙල් මදුවන්ත (Havelock)

  • අවසන් ලකුණු තත්වය: Havelock ක්‍රීඩා සමාජය 16 (1T, 1C, 3P) – පොලිස් ක්‍රීඩා සමාජය 05 (1T)

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්,

  • පොලිස් ක්‍රීඩා සමාජය: හිරන්ත පෙරේරා (1T)
  • Havelock ක්‍රීඩා සමාජය: රන්දිත වර්ණපුර (1T), සැමුවෙල් මදුවන්ත (1C, 3P)

2023/24 Nippon Paint Club Rugby League තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<