අලුත් ක්‍රීඩා සභාවේ නිලධාරීන්ගේ වතගොත

925
Sri Lanka Sports

නව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රීඩා අමාත්‍යංශයට උපදෙස් ලබා දීමේ අරමුණින් සහ නව ක්‍රීඩා ප්‍රතිපත්තියක් හඳුන්වා දීමේ අරමුණින් 14 දෙනෙකුගෙන් යුතු කමිටුවක් පසුගිය දා (20) ඔහු විසින් තෝරාපත් කරගන්නා ලදි.

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයෙකු වන මහේල ජයවර්ධන මහතා එම ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ලෙස කටයුතු කරන අතර හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර, මෝටර් රථ ධාවක ඩිලන්ත මාලගමුව සහ විවිධ අංශවල පළපුරුදු වෘත්තිකයන්ගෙන් ද සමන්විත වූ මෙම ජාතික ක්‍රීඩා සභාව බොහෝ දෙනාගේ ප්‍රසාදයට ලක්ව තිබුණි. මේ ලිපිය වෙන්වන්නේ කමිටුවේ සාමාජිකයින් කවුරුන් ද සහ ඔවුන්ගෙන් රටේ ක්‍රීඩාවට විය හැකි සේවය සම්බන්ධවයි.

Video – ක්‍රීඩාව හරි මාර්ගයේ ගෙන යා හැකි අලුත් ක්‍රීඩා පනතක් – නාමල් රාජපක්ෂ

මහේල ජයවර්ධන – සභාපති (හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක)

මහේල කමිටු සාමාජික රැස්වීම අතරතුර දී

1997 දී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට තේරී පත්වූ මහේල ජයවර්ධන 2007 වසරේ සිට අවස්ථා ගණනක දී ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් විය. මෙරට බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම නායකයෙකු ලෙස ද සැලකෙන ඔහු 2007 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සහ 2012 ලෝක කුසලාන පන්දුවාර 20 තරගාවලියේ අවසන් මහා තරගය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම රැගෙන එන්නට විශාල කැපවීමක් කළ නිහතමානී නායකයෙකි.

මීට අමතරව, 2007 අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ වසරේ නායකයා සම්මානයෙන් ද පිදුම් ලද ඔහු ක්‍රිකට් පිටියෙන් සමුගැනීමෙන් අනතුරුව ලොව පුරා තවත් ප්‍රචලිත වන්නේ විශිෂ්ට පුහුණුකරුවෙකු ලෙසයි. වර්තමානයේ දී ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රකට කණ්ඩායමක් වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස මහේල කටයුතු කරයි.

නායකත්වය, කළමනාකරණය සහ තීරණ ගැනීම සම්බන්ධයෙන් ගෞරවයට පාත්‍ර වී සිටින මහේල ජයවර්ධන වැන්නෙකු මෙම ක්‍රීඩා සභාවේ සභාපති ලෙස පත්වීම මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් නොව සියලුම ක්‍රීඩා සඳහා වන සුබ ලකුණකි.

Video – අපි ඉන්නේ ක්‍රිකට් ක්‍රීඩාව විතරක් දියුණු කරන්න නෙවෙයි! – මහේල ජයවර්ධන

කුමාර් සංගක්කාර (හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක) 

2000 වසරේ සිට 2015 වසර දක්වා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ කුමාර් සංගක්කාර මහතා මෙරට මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ද බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයෙකු බව අවිවාදයෙන් යුතුව සඳහන් කළ හැක. 

2011 වසරේ පැවති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවමින් අවසන් මහා තරගය දක්වා කණ්ඩායම රැගෙන ඒමට ඔහු විශාල කැපකිරීමක් කරන ලදි.

සංගක්කාර කමිටු සාමාජික රැස්වීම අතරතුර දී

මීට අමතරව පාසල් කාලයේ දී ටෙනිස් ක්‍රීඩාවේ ද ඉහළ දස්කම් දැක්වූ ඔහු නීතිය පිළිබඳව ද අධ්‍යාපනය ලැබූවෙකි. ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව 2019 වසරේ දී ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර ලෙස විරුදාවලිය ලත් සුප්‍රකට මාලිබෝන් ක්‍රිකට් සමාජයේ ළාබාලතම සභාපතිවරයා ලෙස ද තේරීපත් වීමට ඔහු සමත් වූයේ එම තනතුර සඳහා තේරීපත් වූ ප්‍රථම බ්‍රිතාන්‍ය නොවන පුරවැසියා බවට ද පත්වෙමිනි.

දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර ප්‍රජාවන්ගේ ද ගරු බුහුමනට පාත්‍ර වූ, ක්‍රීඩාවේ මෙන්ම ක්‍රීඩා පරිපාලනයේ ද හසළ දැනුමක් ඇති සංගක්කාර වැන්නෙකු ක්‍රීඩා සභාවේ සාමාජිකයෙකු ලෙස සිටීම මෙරට ක්‍රීඩාවේ අනාගතයට මහඟු අත්වැලක් වනු ඇත.

Video – ක්‍රීඩාව දියුණු කරන්න සහය වෙන්න මම ලෑස්තියි – සංගක්කාර

කස්තුරි චෙල්ලරාජා විල්සන් (හිටපු ශ්‍රී ලංකා දැල්පන්දු/ පැසිපන්දු ක්‍රීඩිකා, CEO Hemas)

ශ්‍රී ලංකා කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත ව්‍යාපාර සමූහයක විධායක ධුරයකට තේරීපත් වූ ප්‍රථම කාන්තාව ලෙස මෑතක දී කාගේත් අවධානය දිනා ගත් කස්තුරි චෙල්ලරාජා මහත්මිය Hemas සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිණිය ලෙස කටයුතු කරයි. 

ව්‍යාපාරික කාන්තාවක් ලෙස හිණිපෙත්තටම ගමන් කළ ඇය 2019 වසරේ දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් නම් කරන ලද “ශ්‍රී ලංකාවේ සුවිශේෂීම කාන්තාවන් 12” දෙනා අතරින් ද අයෙකි.

යොවුන් වියේ දී ක්‍රීඩා රැසක් සඳහා දායකත්වය ලබා දුන් ඇය ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමේ ද සාමාජිකාවක් වූ අතර 1989 ජාතික පැසිපන්දු කණ්ඩායමේ නායකත්වයේ වගකීම ද ඇය විසින් දරණ ලදි. ක්‍රීඩාවෙන් ලද පන්නරය මේතාක් දුරක් එන්නට ඇයට උදව් කළ බව, පසුගිය දා BBC සිංහල වෙත අදහස් දක්වමින් ඇය පැවසුවේ මෙසේයි.

“අපි ක්‍රීඩා කරනකොට ටීම් එක දිනන්න නම්, කණ්ඩායමේ ඉන්න විවිධ දක්ෂතා තියෙන අය එක ලෙස කැපවෙලා සෙල්ලම් කරන්න ඕනා. ටීම් එක කල්ලි වලට කැඩෙන්න දෙන්න බෑ. ඒ වගේම මානසික තත්වය ඉතා ඉහළ මට්ටමින් පවත්වා ගන්න වෙනවා. එක මැච් එකක් පැරදුනොත්, අපි පහුවෙනිදා ඒ සියල්ල අමතක කරලා අලුත් ජවයකින් ඊට මුහුණ දෙනවා. ඒ අත්දැකීම තමයි මගේ වෘත්තීය සාර්ථකත්වයේ රහස.”

පුහුණු සැසි හරහා සෑම විටම තමන් සතු දැනුම අන් අය හා බෙදාගැනීමටත්, ඔවුන්ගේ මනස ශක්තිමත් කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දීමටත් ඇය කටයුතු කරන අතර 2018 වසරේ දී එංගලන්තයේ හාවඩ් විශ්වවිද්‍යාලයේ Senior Executive Leadership වැඩසටහන ද සාර්ථකව අවසන් කරන්නට ද ඇය සමත් වුවාය.

ක්‍රීඩාවෙන් ලද අත්දැකීම් ඔස්සේ සිය වෘත්තීය දිවිය සාර්ථක කර ගත් ඇය සෑම විටම සිය උත්සහය අතනොහැර ඉලක්කය කරා යෑමට හැකියාවක් ඇති අධිෂ්ඨානශීලී අයෙකු වන නිසාවෙන් ජාතික ක්‍රීඩා සභාවේ ඉදිරි කටයුතු සඳහා ඇය විශාල දායකත්වය දක්වනු ඇති බව නම් නොඅනුමානයි.

ඩිලන්ත මාලගමුව (මෝටර් රථ ධාවනශූර)

ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පිටියේ ලක් මාතාව වෙනුවෙන් විශිෂ්ට නාමයක් ගොඩනගන්නට සමත් වූ නිහඬ විරුවෙකු ලෙස සැලකෙන ඩිලන්ත මාලගමුව මහතා 1995 වසරේ ජපානයේ පැවති N1 Championship තරගාවලිය ජයග්‍රහණය කරමින් ජාත්‍යන්තර ධාවන පථයට අවතීර්ණ විය. පසුකාලීනව, Malaysia Super Car Series, Aston Martin Asia Cup වැනි ආසියානු තරගවල දී නොකඩවා දස්කම් දක්වමින් ආසියානු තලයේ කැපී පෙනෙන ක්‍රීඩකයෙකු බවට පත්වීමට ඔහු සමත් විය.

ඡායාරූපය – DILANTHA MALAGAMUWA Facebook පිටුවෙනි.

එම ජයග්‍රහණවලින් අනතුරුව Lamborghini Super Trofeo Asian series හී දැක්වූ දස්කම් නිසාවෙන් 2017 වසරේ පැවති Lamborghini Super Trofeo World Finals සඳහා තේරී පත්වූ ඔහු එහි දෙවැනි තරගයේ තුන්වැන්නා ලෙස අවසන් කිරීමට සමත් වූයේ ලෝක මෝටර් රථ ධාවන පිටියේ එවැනි දස්කමක් දක්වන්නට සමත් වූ ප්‍රථම සහ එකම ශ්‍රී ලාංකික ධාවකයා ලෙස ද අභිෂේක ලබමිනි.

ජනතාවගේ ඇගයීමටත්, ආදරයටත් පාත්‍ර වූ ඔහු වැනි නිහතමානී ක්‍රීඩකයෙකුගේ පත්වීම මෙරට මෝටර් රථ ධාවනයේ ඉදිරි කටයුතුවලට විශාල පිටිවහලක් වනු ඇත.

ජූලියන් බෝලිං (හිටපු ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩක)

මෙරටින් බිහි වූ සාර්ථකම පිහිනුම් ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන ජූලියන් බෝලිං මහතා 1984, 1988 සහ 1992 වසරවල පැවති ගිම්හාන ඔලිම්පික් තරගාවලි පවා නියෝජනය කිරීමට සමත් වූ ශ්‍රී ලාංකිකයෙකි.

දකුණු ආසියානු තලයේ කැපී පෙනෙන දස්කම් දක්වමින් පදක්කම් 15ක් දිනා ගැනීමට සමත් වූ ඔහුගේ එම දස්කම් අතරින් 1991 වසරේ කොළඹ දී පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පිහිනුම් ඉසව්වෙන් රන් පදක්කම් හයක් දිනා ගැනීමට සමත් වූ අතර එය පසුගිය වසරේ මැතිව් අබේසිංහ විසින් බිඳ හෙළන තුරුම වාර්තාවක් ලෙස ද පැවතිණි.

ඔහුගේ විශිෂ්ට දස්කම් පදනම් කරගනිමින් 1988 වසරේ දේශබන්දු සම්මානයෙන් පවා ඔහු පිදුම් ලද අතර පිහිනුම් පිටියෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව පුහුණුකරුවෙකු ලෙස ද ඔහු කටයුතු කළේය. කමිටුව සඳහා ඔහුගේ තෝරාපත් කර ගැනීම ලාංකීය පිහිනුම් ක්‍රීඩාවේ ඉදිරිය වෙනුවෙන් ගැනුණු සුබවාදී තීරණයක් වනු ඇත.

ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා (හමුදාපති; ශ්‍රී ලංකා යුද හමුදාව)

ශ්‍රී ලංකා යුද හමුදා ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, මෙරට පැවති ඊලාම් සටනේ දී බොහෝ කතාබහට ලක්වූ 58 වැනි සේනාංකය සඳහා අණ ලබා දෙමින්, සාර්ථකව තම සේනාංකය මෙහෙයවමින් ශ්‍රී ලංකාවට නිදහස දිනා දෙන්නට සටන් කළ පුරෝගාමී විරුවෙකි.

යුද පිටියේ දස්කම්වලට අමතරව ක්‍රීඩා පිටියේ ද දස්කම් දැක්වීමට සමත් වූ එතුමා පාසල් සමයේ දී සිය පාසල වූ මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයේ පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය හොබවා ඇත. ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සාමාජිකයෙකු ද වූ එතුමා යුද හමුදා හොකී සම්මේලනයේ ද සභාපතිවරයා ලෙස ද කටයුතු කර ඇත.

මෑත කාලීනව ලෝකය මුහුණ දුන් කොරෝනා වසංගත තත්වයෙන් ශ්‍රී ලංකා පුරවැසියන් ආරක්ෂා කරගන්නට ද මාහැඟී සේවයක් සපයමින් ජනතාවගේ ජනාදරයට පාත්‍ර වූ, ක්‍රීඩාවේ මෙන්ම පරිපාලනයේ ද දක්ෂයෙකු වන එතුමාගේ දායකත්වය මෙරට ක්‍රීඩාවේ ඉදිරි පරිපාලන තීරණ සඳහා වැදගත් සාධකයක් වනු ඇත.

සුපුන් වීරසිංහ (CEO – Dialog Axiata PLC)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සබඳතා සැපයුම්කරු වන Dialog Axiata PLC ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරි ලෙස කටයුතු කරන සුපුන් වීරසිංහ මහතා දුරකතන සන්නිවේදන ක්ෂේත්‍රය පිළිබඳව හසළ දැනුමක් සහිත ව්‍යවසායකයෙකි. 

ඔහු, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණය හා මූල්‍ය කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී උපාධිධාරියෙකු මෙන්ම University of Western Sydney හි MBA උපාධිධාරියෙකු ද වේ. තවද Chartered Institute of Management Accountants (FCMA) – UK හි සාමාජිකයෙකු වන ඔහු Harvard Business School හිද ආදි සිසුවෙකි.

Dialog Axiata ආයතනයේ අනුග්‍රාහක දායකත්වය හරහා මෙරට පාසල් සහ අන්තර් සමාජ මට්ටමින් මෙන්ම ජාතික මට්ටමින් ක්‍රීඩා ද ඉහළ තැනකට ගෙන ඒමට සිය අධීක්ෂණය ලබා දුන් ඔහු, අප රටට මදක් නුහුරු ක්‍රීඩාවක් වන ඊ-ස්පෝර්ට්ස් (E-sports) ක්‍රීඩාව මෙරට ප්‍රචලිත කිරීම සඳහා ද මහඟු සේවාවක් ඉටු කරමින් පසුවේ.

ව්‍යාපාර කළමනාකරණයේ මෙන්ම ක්‍රීඩාව නඟා සිටුවීම, ක්‍රීඩා ආර්ථිකයක් ගොඩනැගීම වැනි කරුණු සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීමට සුපුන් වීරසිංහ වැන්නෙකු ජාතික ක්‍රීඩා සභාවට ඇතුළත් වීම මෙරට ක්‍රීඩාවේ අනාගත අභිවෘද්ධියට විශාල දායකත්වය ලබා දෙනු ඇත.

මේජර් ජෙනරාල් රාජිත අම්පෙමොහොට්ටි (ජාතික පැරාලිම්පික් කමිටුවේ සභාපති)

රට වෙනුවෙන් යුද බිමේ සටන් වදිමින් සිටිය දී 1990 වසරේ දී අවාසනාවන්ත ලෙස ආබාධිත තත්වයට පත්වූ මේජර් ජෙනරාල් රාජිත මහතා එම සිදුවීමෙන් පසුව පැරා ක්‍රීඩකයෙකු ලෙස බැඩ්මින්ටන්, ටෙනිස්, මලල ක්‍රීඩා, රෝද පුටු මැරතන් වැනි බොහෝ ඉසව්වන්ගෙන් කැපී පෙනෙන දස්කම් දක්වමින් තරගාවලි රැසක දී මෙරට සහ ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් දක්ෂතා දැක්වූ යුද විරුවෙකි.

ඡායාරූපය – ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෙබ් අඩවියෙන්

ක්‍රීඩා පිටියෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ද පරිපාලනය ඔස්සේ සිය සේවාව සැපයූ වූ ඔහු ජාතික පැරාලිම්පික් කමිටුවේ සභාපති ලෙස ද කටයුතු කරමින් වසර ගණනාවක් මුළුල්ලේ ශ්‍රී ලාංකික පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ශක්තියක් වෙමින් මෙරට පැරා ක්‍රීඩකයන් හට ජාත්‍යන්තර තලයේ දස්කම් දැක්වීමට අවශ්‍ය වැඩ කටයුතු සම්පාදනය කරමින් සිටී.

එතුමාගේ වසර ගණනක ක්‍රීඩා පිටියේ මෙන්ම ක්‍රීඩා පරිපාලනයේ අත්දැකීම් මෙරට පැරා ක්‍රීඩාවේ අනාගතයට මෙන්ම මෙරට සමස්ත ක්‍රීඩාවේ ඉදිරි අනාගතයට ද මහඟු අත්වැලක් වනු ඇත.

තවත් විශේෂාංග ලිපි: 

රොහාන් ප්‍රනාන්දු (CEO – Sri Lanka Telecom)

Heladiv Tea ආයතනයේ නිර්මාතෘවරයා මෙන්ම ප්‍රධාන තේ අපනයනකරුවෙකු ලෙස කටයුතු කරන රොහාන් ප්‍රනාන්දු මහතා මෙම වසරේ ජනවාරි සිට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස ද කටයුතු කරයි. ඔහු ජාතික තේ අපනයන සංගමයේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම වර්තමාන සාමාජිකයෙකු ද වේ.

ඡායාරූපය අද දෙරණ BIZ

ආයතන සහ සංගම් රැසක පරිපාලන තනතුරු දරා ඇති ඔහු Amateur Rowing Association of Sri Lanka හී සභාපතිවරයා ලෙස ද කටයුතු කරන අතර පරිපාලන අංශයේ ඉතා පළපුරුද්දකින් යුත් ඔහුගේ අත්දැකීම් ශ්‍රී ලංකා ක්‍රීඩාවේ ඉදිරි පරිපාලනයට ද ඉතා වැදගත් වනු ඇත.

රුවන් කෑරගල (Director MAS)

මෙරට ක්‍රීඩාවට සෑමවිටම සමීපතම නාමයක් වන MAS ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු වන රුවන් කෑරගල මහතා Colombo School of Business & Management හී උප ප්‍රධාන විධායක නිලධාරියෙකු ලෙස ද කටයුතු කරයි. ඔහු ක්‍රීඩා අමාත්‍යාංශය විසින් නම් කෙරූ ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක කමිටුවේ ලේකම්වරයා ලෙස ද කටයුතු කළේය.

එමෙන්ම 2014 වසරේ පැවති Asia Pacific Sports Management and Leadership Awards හිදී සම්මානයට පාත්‍ර වූ, ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩකයින් හට ඉතා වටිනා තරගාවලියක් වූ Super Fighter තරගාවලියේ අධ්‍යක්ෂවරයා ද වන ඔහු අන්තර්ජාතික සුදුසුකම් සපුරාලීමට සමත් වූ බොක්සිං පුහුණුකරුවෙකි. 

ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩාවේ අභිවෘද්ධියට දායක වන කෑරගල මහතා ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනයේ භාණ්ඩාගාරික ලෙස ද කටයුතු කර ඇත. ඔහුගේ පත්වීම මෙරට බොක්සිං ක්‍රීඩාවේ දියුණුවට විශාල අත්වැලක් වනු ඇත.

සංජීව වික්‍රමනායක (Chairman-EWIS)

EWIS සමාගමේ සභාපති ලෙස කටයුතු කරන සංජීව වික්‍රමනායක මහතා සිය සමාගම සමඟින් දශක තුනකට අධික කාලයක් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නියැලෙමින් මෙරට තොරතුරු තාක්ෂණය ජාත්‍යන්තර තලය දක්වා ගෙන යාමට සමත් වූ අතර ඔහුගේ මග පෙන්වීම යටතේ මෙරට මුල්ම වරට පරිගණක නිෂ්පාදන කම්හලක් ද ආරම්භ විය.

ඡායාරූපය Business Today

එමෙන්ම නිරන්තරයෙන්ම ක්‍රීඩාව හා බැඳී සිට එතුමා සිය සමාගම සමඟ එක්ව මෙරට දේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකට ඉහළට පැමිණීමට පසුගිය දශක කිහිපය තුළ දී ම සිය සහයෝගය ලබා දී තිබෙන අතර එතුමාගේ පත්වීම තුළින් මෙරට ක්‍රීඩාවේ අනාගතයට අවශ්‍ය තාක්ෂණික දියුණුව ළගාකර ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම ලබා ගත හැකි වනු ඇත.

යශ්වන්ත මුත්තෙට්ටුවගම (ලෝක පැසිපන්දු තාක්ෂණික නිලධාරි)

ලෝක පැසිපන්දු සංගමයේ තාක්ෂණික නිලධාරියෙකු ලෙස කටයුතු කරන යශ්වන්ත මුත්තෙට්ටුවගම මහතා ආසියානු කලාපය නියෝජනය කරමින් තේරී පත් වූ අතර එලෙස තේරී පත්වූ නිලධාරීන් 20 දෙනෙකු අතරින් ළාබාලතම නිලධාරියා වූ ඔහු එම තනතුර සඳහා තේරී පත්වූ ළාබාලතම ආසියානුවා ලෙස ද ඉතිහාසගත විය.

අන්තර්ජාතික සම්මේලනයන් සමඟින් කටයුතු කිරීමෙන් ලද අත්දැකීම් සහ පැසිපන්දු ක්‍රීඩාව පිළිබඳව ඔහුගේ ඇති දැනුම මගින් මෙරට පැසිපන්දු ක්‍රීඩාවේ ඉදිරිය සුබවාදී කිරීමට විශාල දායකත්වයෙන් යශ්වන්ත මහතාගෙන් ලබා ගැනීමට හැකි වනු ඇත.

අමල් එරිදිසූරිය (ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්)

කොළඹ රාජකීය විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපනය නිමා කිරීමෙන් අනතුරුව කැළණිය විශ්වවිද්‍යාලයෙන් සිය උපාධිය ලබා ගත් අමල් එදිරිසූරිය මහතා වර්තමාන ක්‍රීඩා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ලෙස කටයුතු කරන අතර 2000 වසරේ සිට දශක දෙකක කාලයක් මුළුල්ලේ ජාතික පරිපාලන ක්ෂේත්‍රය සඳහා ද සිය දායකත්වය සපයමින් සිටී.

ක්‍රීඩා පරිපාලනයේ දී සහ පරිපාලන ක්‍රේෂ්ත්‍රයේ ඔහුගේ ඇති අත්දැකීම් මෙරට ක්‍රීඩාව වෙනුවෙන් නම් කළ නව ජාතික ක්‍රීඩා සභාවට උපකාරී වනු ඇත.

රොවේනා සමරසිංහ (ක්‍රීඩා නීතිඥ)

ක්‍රීඩා ක්‍රේෂ්ත්‍රය තුල දශකයකට වඩා අත්දැකීම් සහිත ක්‍රීඩා නීතිඥවරියෙකු වන රොවේනා සමරසිංහ මහත්මියට පාපන්දු, මලල ක්‍රීඩා සහ ඔලිම්පික් ක්‍රීඩා ආශ්‍රිතව කටයුතු කරමින් පළපුරුද්දක් ඇත.

එංගලන්තයේ ප්‍රධාන නීති ආයතනයකට ඇය සිය සේවාව ලබා දීමට ද කටයුතු කර තිබුණු අතර එංගලන්තයේ සහ වේල්සයේ ප්‍රවීණ උසාවි සංකීර්ණවල දී සොලිසිටර්වරියෙකු ලෙස ද කටයුතු කළ ඇය කමිටුවේ සමාරම්භක අවස්ථාව සඳහා වීඩියෝ තාක්ෂණය උපයෝගී කරගනිමින් සම්බන්ධ වූයේ ඇය මේ වන විට රටින් බැහැරව සිටින නිසාවෙනි.

එමෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩා පරිපාලනය පිළිබඳව ගෞරව උපාධියකට හිමිකම් කියන ඇයගේ ක්‍රීඩා නීති පිළිබඳව ඇති දැනුම සහ පළපුරුද්ද, ඉදිරියේ දී ප්‍රතිසංවිධානය කිරීමට නියමිත ක්‍රීඩා පනතෙහි කටයුතු සඳහා විශාල දායකත්වයක් සපයනු ඇත.

මෙම නව ජාතික ක්‍රීඩා සභාව රටේ විවිධ ක්ෂේත්‍ර මෙන්ම ක්‍රීඩාව සම්බන්ධයෙන් ද හසළ දැනුමක් සහ අත්දැකීම් සහිත පුද්ගලයන්ගෙන් සමන්විත වන අතර මෙරට ක්‍රීඩාවේ දියුණුවට අවශ්‍ය නිවැරදි තීරණ ගනිමින් ශ්‍රී ලාංකීය ක්‍රීඩාව ජාත්‍යන්තර තලයේ තව තවත් බැබළවීමට හැකි පසුබිම සැකසීමට මෙම කමිටු සාමාජිකයන්ට හැකි වේවා යන්න ThePapare.com අපගේ ප්‍රාර්ථනයයි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<