පහත රට සාන්තුවරයෝ ශූරතාව මාතොටට ගෙන යයි

178
U17 Finals - St.Antony's vs St. Servatius

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ සිංගර් කුසලාන පළමු කොටසේ එක්දින තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය සමත් විය.

අද (30දා) කොළඹ මුවර්ස් ක්‍රීඩා සමාජ පිටියේ දී පැවති අවසන් මහා තරගයෙන් දී ඔවුන් මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයට එරෙහිව ලකුණු 209ක දැවැන්ත ජයක් හිමිකර ගතහ. පළමුවෙන් පන්දුවට පහර දුන් සාන්ත සර්වේශස් විද්‍යාලය සියලුම දෙනා දැවී ලකුණු 278ක් රැස් කළ අතර ප්‍රතිවාදී ඉනිම ක්‍රීඩා කළ සාන්ත අන්තෝනි විද්‍යාලයට ලබා ගත හැකි වූයේ ලකුණු 69ක් පමණි.

සාන්තුවරයන්ගේ අභියෝගය

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස අවුරුදු 17න් පහළ සිංගර් කුසලාන අන්තර් පාසල් එක්දින…

කේශර නුවන්තගේ නායකත්වයෙන් යුත් සාන්ත සර්වේශස් විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම අවසන් මහා තරගයේ දී කිසිදු අභියෝගයක් නොමැතිව ජයග්‍රහණය කිරීම කැපී පෙණුනි. ඒ සියලු ගෞරවයන් ද සමඟින් ඔවුන් තමන්ට හිමි කුසලානය දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් මාතොටට රැගෙන ගියේ මෙම වයස් කාණ්ඩයේ ශූරතාව පළමු වරට දිනා ගනිමිනි.

සාන්ත සර්වේශස් විද්‍යාලය මෙම වයස් කාණ්ඩයෙන් පළමු වරට අවසන් මහා තරගයකට පිවිසෙන්නේ මෙම තරගයේ දී ය. සාන්ත අන්තෝනි විද්‍යාලය මෙම වයස් කාණ්ඩයෙන් අවසන් මහා තරගයකට පිවිසියේ වසර 11කට පසුව ය. මෙවර සේ ම එවකට ද ඔවුන්ට හිමි වූයේ අනුශූරතාවයි.

කාසියේ වාසිය දිනා ගත් සාන්ත සර්වේශස් විද්‍යාලයීය නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ ද ඔවුන්ගේ ආරම්භය එතරම් සුබදායක වූයේ නැත. පළමු කඩුලු 4 ලකුණු 40කට දැවී ගිය පසු පස් වැනි කඩුල්ලට එකතු වූ පුලස්ති ඩිල්ශාන් සහ ශෂික දුල්ශාන් ලකුණු පුවරුව 127ක් දක්වා ගෙන ගියේ ලකුණු 87ක සබඳතාවක් එක් කරමිනි. පුලස්තිගේ ඉනිම පන්දු 86ක දී ලකුණු 56ක් වූ අතර ඒ සඳහා හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් එක් කළේය.

අනතුරුව හය වැනි කඩුල්ලේ දී ශෂික දුල්ශාන්, කේශර නුවන් (28) සමඟ එක්වෙමින් ලකුණු 43ක සබඳතාවක් ගොඩ නගමින් සාන්ත සර්වේශස් ඉනිම ඉහළට ඔසවා තැබූහ. ශෂික දුල්ශාන් දුවද්දී දැවී යන විට පන්දු 61ක දී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 45ක් රැස් කරගෙන සිටියේ ය.

අනතුරුව සාන්ත සර්වේශස් ඉනිමේ කැපී පෙණෙනම පිතිකරු වූයේ අංක 10 පිතිකරු ලෙස පිටියට පිවිසි පසන් තත්සර ය. දකුණතින් පන්දුවට පහර දුන් පසන් පන්දු 17කට පමණක් මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟින් ඉක්මන් ලකුණු 48ක් ලබා ගත්තේ ය. ඔහු 9 වැනි කඩුල්ල සඳහා චිහාන් කළිඳු (39) සමඟ ලකුණු 57ක් තම කණ්ඩායමට එක් කිරීමට සමත් විය.

සාන්ත සර්වේශස් ඉනිමේ තවත් පන්දු 17ක් යැවීමට තිබිය දී ලකුණු 278 දී නිමා කිරීමට සාන්ත අන්තෝනි පන්දු යවන්නෝ සමත් වූහ. පන්දු යැවීමේ දී සසිත් තෙන්නකෝන් කඩුලු 3ක් දවා ගත් අතර නවෝද්‍ය විජේකුමාර කඩුලු 2ක් දවා ගත්තේ ය. කල්හාර සේනාරත්න, ගයාන් කවිශ්ක සහ ගිහාන් අචින්තට කඩුල්ල බැගින් හිමි විය.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි සාන්ත අන්තෝනියන්ගේ ඉනිම ස්ථාවර ලකුණු ප්‍රමාණයකට යන අයුරක් දිස් වුණි. පළමු පන්දුවාර කිහිපයේ දී ඉතා ආරක්ෂාකාරීව සහ වගකීමකින් පන්දුවට පහර දුන් නායක තීක්ෂණ ගුණසිංහ (22) සහ මොහොමඩ් රුක්ෂාන් (17) ලකුණු 41ක සබඳතාවක් පළමු කඩුල්ලට එක් කළහ. ඔවුන්ගේ සබඳතාව නිමා වූයේ ක්ෂණයකින් දෙදෙනා අතර වූ අනවබෝධාත්මක කඩුලු අතර දිවීම හේතුවෙනි. ඒ වන විට මොවුන් දෙදෙනා මාතොට සාන්තුවරයන්ට හිසරදයක් වූ පිතිකරුවෝ වූහ.

ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් සාන්ත සර්වේශස් පන්දු යවන්නෝ එතැන් සිට සාන්ත අන්තෝනි පිතිකරුවන්ගේ පිතිවලට විලංගු දැමීමට පෙරමුණ ගත්හ. අනතුරුව පැමිණි කිසිදු පිතිකරුවෙක්ට ඉලක්කම් දෙකේ ලකුණු අතර පිවිසීමට ඔවුන් ඉඩ දුන්නේ නැත. ප්‍රතිඵලය වූයේ ඔවුන්ගේ ඉනිම 23 වැනි පන්දුවාරයේ දී නිමා වීමයි.

එහි දී නායක කේෂර නුවන්ත දකුණතින් දඟපන්දු යවමින් පන්දුවාර 5.3ක දී එක් නොයිඳුල් පන්දුවාරයක් සමඟින් ලකුණු 10කට කඩුලු 5ක් දවා ගත්තේ ය. ඔහුට අනගි සහායක් ලබා දුන්නේ උපනායක ශෂික දුල්ශාන් ය. වමතින් පා දඟපන්දු යවන ශෂික ලකුණු 5කට කඩුලු 3ක් දවා ගත්තේ ය. ඊට අමතරව නවීන් සාහිත් ද කඩුල්ලක් දවා ගත්තේ ය.

අවසන් මහා තරගයේ ලකුණු සාරාංශය  

සාන්ත සර්වේශස් විද්‍යාලය; සියලුම දෙනා දැවී 278/10(47.1) රිසිර ලක්වින් 18, පුලස්ති ඩිල්ශාන් 56, ශෂික දුල්ශාන් 45, කේෂර නුවන් 28, චිහාන් කළිඳු 39, පසන් තත්සර 48, නවෝද්‍ය විජේකුමාර 2/36, සසිත් තෙන්නකෝන් 3/42

සාන්ත අන්තෝනි විද්‍යාලය; සියලුම දෙනා දැවි 69(22.3) තීක්ෂණ ගුණසිංහ 22, මොහොමඩ් රුක්ෂාන් 17, කේෂර නුවන්ත 5/10, ශෂික දුල්ශාන් 3/05

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට