අප්‍රිකානු වීරයාගේ අඩි පාරේ යන ඇමරිකානු යොවුන් ශූරයා

176

“බ්ලේඩ් රනර්” යන අන්වර්ථ නාමය ඇසූ පමණින් සෑම දෙනාගෙම මතකයට පැමිණෙන්නේ පැරා මලල ක්‍රීඩාව වෙනත් මානයකට ගෙන යමින් ගිම්හාන ඔලිම්පික් උළෙලක් පවා නියෝජනය කිරීමට සමත් වූ දකුණු අප්‍රිකානු සුපිරි පැරා ක්‍රීඩක ඔස්කාර් පිස්ටෝරියස් ය.

>>දෛවයට අභියෝග කළ අප්‍රිකානු කඟවේනා

පැරා පිටියේ සහ ඉන් පිටත ඔහු දැක්වූ දස්කම් නිසාවෙන් පැරා මලල ක්‍රීඩා පිටිය වෙත විශාල ප්‍රේක්ෂක අවධානයක් හිමි වූ බව නොරහසක්. ප්‍රේක්ෂකයන්ට අමතරව ඔහු නිසාවෙන් මලල ක්‍රීඩාව වැලඳ ගත් ක්‍රීඩකයන් ද රැසකි. එලෙස එක්වූ ක්‍රීඩකයන් අතරින් මේ දිනවල පැරා මලල ක්‍රීඩා පිටියේ ඉතා කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත්ව ඇති ඇමරිකානු යොවුන් ක්‍රීඩක හන්ටර් වුඩ්හෝල් හට විශාල අවධානයක් හිමිව ඇත.

1999 වසරේ පෙබරවාරි මස 17 වැනිදා ඇමරිකාවේ Utah හිදී උපත ලැබූ හන්ටර් වුඩ්හෝල් උපතින්ම පාද දෙකෙහි දුබලතාවයකින් පෙළෙනවා. එම දුබලතාව නිසාවෙන් ඔහුගේ වයස මාස 11ක් වන විට ඔහුගේ පාද දෙකේම කොටස් ශල්‍යකර්මයක් මගින් ඉවත් කිරීමට සිදුවෙනවා.

හන්ටර් වුඩ්හෝල් කුඩා කල දී Image Courtesy: Hunter Woodhall Facebook

සිය ජීවිතයේ ආරම්භයේ දී ම සිදු වූ මෙම අවාසනාවන්ත සිදුවීමත් සමඟ කෘතීම පාද භාවිතා කිරීමට කුඩා කල පටන්ම හුරු වූ ඔහු වයස අවුරුදු දහයක් පමණ වන තෙක් තම නිවස තුළම අධ්‍යාපන කටයුතු සිදු කරනවා. පසුව ඔහු සිය අධ්‍යාපන කටයුතු සඳහා නගරයේ පාසලකට යෑමට පටන් ගත් නමුත් එහි දී ඔහුට සිය ආබාධය නිසාවෙන් හිරිහැරවලට පවා මුහුණ පෑමට සිදු වනවා.

නමුත් සිතේ ඇති ධෛර්යය නිසාවෙන් එම හිරිහැර හමුවේ නොසැලුණු ඔහු වයස අවුරුදු 10 දී ම විවිධ ක්‍රීඩාවල නිරත වීමට පටන් ගත් අතර සොහොයුරා සහ පවුලේ සාමාජිකයන් සමඟින් 5KM දිවීම වැනි ධාවන තරග සඳහා ද හන්ටර් සහභාගි වනවා.

පසුව කාලයත් සමඟින් මලල ක්‍රීඩාවට අවධානය යොමු කිරීමට පටන් ගත් ඔහු 2012 වසරේ දී දකුණු අප්‍රිකානු පැරා ක්‍රීඩක ඔස්කාර් පිස්ටෝරියස් තරග වදින අකාරය දැකීමෙන් පසු ඔහුව අනුගමනය කරමින් අනෙකුත් ක්‍රීඩා නතර කොට මලල ක්‍රීඩාවෙන් ඉදිරියට යෑමට අදිටන් කරගන්නවා.

Syracuse උසස් විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු සිදු කළ ඔහු පසුව සිය දෙමාපියන්ගේ මග පෙන්වීම යටතේ හිටපු ප්‍රාන්ත මලල ක්‍රීඩකයෙකු වූ ඩෑෂික් ඇක්වන්‍යා යටතේ සිය පුහුණුවීම් ආරම්භ කරන අතර පාසල් පිටියේ ඉතා කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත්වන ඔහු 400m විශේෂ කාණ්ඩයෙන් ප්‍රාන්ත ශූරයා බවට පත්වීමට පවා සමත්වනවා.

දිනෙන් දින සිය දස්කම් වර්ධනය කරගැනීමට ඔහු සමත්වන නිසාවෙන් හැකි ඉක්මනින්ම ඇමරිකානු පැරා මලල ක්‍රීඩා සංචිතයට තේරී පත්වීමට ඔහුට හැකි වන අතර වයස අවුරුදු 15ක් වන විට ඔලිම්පික් පදක්කම්ලාභී Joaquim Cruz යටතේ සැන් ඩියාගෝ නුවර ඔලිම්පික් පුහුණු මධ්‍යස්ථානය තුළ දී පුහුණුවීම් කටයුතු ආරම්භ කරන්නට ඔහු වාසනාවන්ත වෙනවා.

උපතින්ම ලැබුණු සහජ දක්ෂතාවයත්, පසුනොබසිනා උත්සහයත් නිසාවෙන් 2015 වසරේ පැවති ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට හන්ටර් සමත්වන්නේ වයස අවුරුදු 16 දී සිය ක්‍රීඩා දිවියේ විශාල කඩඉමක් ජය ගනිමිනි.

ඒ අනුව සිය ක්‍රීඩා දිවියේ මුල්ම ජාත්‍යන්තර තරගාවලිය නියෝජනය කිරීම සඳහා කටාර් හී දෝහා නුවර වෙත පැමිණි ඔහු T43 කාණ්ඩයේ (පාද දෙකම දණහිසින් පහළ අහිමි කාණ්ඩයේ) තරග නොකරමින් T44 කාණ්ඩයේ (එක් පාදයක් පමණක් දණහිසින් පහළ අහිමි කාණ්ඩයේ) තරග කිරීමට තීරණය කරනවා.

හන්ටර් වුඩ්හෝල් 2015 පැරා ලෝක ශූරතාවලිය අතරතුර දී Image Courtesy: Hunter Woodhall Facebook

එම තීරණයෙන් පසුව T44 කාණ්ඩයේ මීටර් 200 ඉසව්ව තත්පර 25.37කින් අවසන් කරමින් ලෝකඩ පදක්කමත්, මීටර් 400 ඉසව්ව තත්පර 49.05කින් අවසන් කරමින් රිදී පදක්කමත් ජයග්‍රහණය කරන්නට හන්ටර් සමත්වන්නේ ළාබාල වියේ දී ම පැහැදිලි අනාගතයකට පෙරනිමිති පහල කරමින්.

පසුව පැරා පිටියෙන් පිටත ද තරග කිරීම ආරම්භ කළ ඔහු මීටර් 400 ඉසව්ව තත්පර 47.32කින් අවසන් කරමින් ඇමරිකාවේ එම ඉසව් වර්ගීකරණය තුල 20 වැනි ස්ථානයට පැමිණීමට ද සමත්වන අතර දේශීය පිටියේ නොකඩවා දැක්වූ දස්කම් නිසාවෙන් 2016 වසරේ පැරාලිම්පික් සුදුස්සන් තේරීමේ තරග සඳහා තේරී පත්වීමට ද ඔහුට හැකිවනවා.

සිය ක්‍රීඩා දිවියේ විශාලතම සිහිනය වන පැරාලිම්පික් නියෝජනය කිරීමේ වරම් ලබා ගැනීමේ අදිටනින් සුදුස්සන් තේරීමේ තරග සඳහා සහභාගි වූ ඔහු එහි දී මීටර් 200 සහ 400 ඉසව් හි තෙවැන්නා ලෙස අවසන් කරමින් වයස අවුරුදු 17 දී පැරාලිම්පික් වරම් දිනා ගැනීමට සමත්වනවා.

ළාබාල වියේ දී ම සිය පරම සිහිනය යථාර්ථයක්  කර ගැනීමට සමත් වූ ඔහු 2016 පැරාලිම්පික් තරගාවලියේ T44 කාණ්ඩයේ මීටර් 200 ඉසව්ව තත්පර 21.12ක කාලයකින් අවසන් කරමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වන අතර එම කාණ්ඩයේම මීටර් 400 ඉසව්ව ද තත්පර 46.70කින් අවසන් කරමින් ලෝකඩ පදක්කම ද දිනා ගැනීමට සමත්වනවා.

2016 රියෝ පැරාලිම්පික් තරගාවලිය අතරතුර දී Image Courtesy: Getty Images

මෙම යොවුන් ක්‍රීඩකයා පැරාලිම්පික් හී දැක්වූ දස්කම් දැක ඇමරිකානු ජනතාව මහත් සතුටට පත් වන අතර Syracuse නගරයේ නගරාධිපතිවරයා වූ Terry Palmer විසින් හන්ටර් හට උපහාරයක් වශයෙන් 2016 සැප්තැම්බර් 15 වැනි දිනය “Hunter Woodhall Day” නමින් නම් කරනු ලබනවා.

මීට අමතරව දේශීය සහ ජාත්‍යන්තර පිටියේ ඔහු දැක්වූ දස්කම් නිසාවෙන් 2016 වසරේ “Male High School Track Athlete” සම්මානයෙන් ද ඔහු පිදුම් ලබන අතර ඔහුට Arkansas විශ්වවිද්‍යාලය සඳහා තේරීපත්වීමට පළමු කාණ්ඩයේ ක්‍රීඩා ශිෂ්‍යත්වයක් ද හිමිවනවා.

Arkansas විශ්වවිද්‍යාලය හා එක්වීමෙන් අනතුරුව පැරා පිටියෙන් පිටත ක්‍රීඩා තරග සඳහා වැඩි අවධානයක් ලබා දීමට තීරණය කළ ඔහු “SEC Outdoor Championships” තරගාවලියේ දී මීටර් 400X4 සහය දිවීමේ තරගයට සහභාගි වෙමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වන අතර එම දස්කම් නිසාවෙන් ඇමරිකානු 400X4 සහය දිවීමේ කණ්ඩායමට තේරී පත්වීමට ද ඔහු සමත්වනවා.

පැරා පිටියෙන් පිටත ක්රීඩකයන් හා තරග වදිමින් Image Courtesy: Hunter Woodhall Facebook

ක්‍රීඩා දිවියේ සාර්ථක වසර කිහිපයකින් පසුව 2017 වසරේ පැවති පැරා ලෝක ශූරතාවලිය නියෝජන කළ ඔහු T43 කාණ්ඩයේ තරග වැදීමට තීරණය කරන අතර එම කාණ්ඩයේ මීටර් 200 ඉසව්ව තත්පර 21.72කින් ද, මීටර් 400 ඉසව්ව තත්පර 47.23කින් ද අවසන් කරමින් රිදී පදක්කම් දිනා ගැනීමට ඔහු සමත්වනවා.

එම ජයග්‍රහණවලින් අනතුරුව පැරා පිටියට මෙන්ම සාමාන්‍ය මලල ක්‍රීඩා පිටියට ද එක ලෙස අවධානය යොමු කරමින් පුහුණුවීම් කටයුතු සිදු කරන ඔහුගේ මීළඟ ප්‍රධාන ඉලක්කය පැරාලිම්පික් තරගාවලියේ දී රන් පදක්කම් දිනා ගැනීමයි.

සෑම පුද්ගලයෙකුම අංගසම්පූර්ණ නැත, නමුත් තමන්ට නොමැති දේ ගැන සිතමින් තම සිහින අතරමග නවතා දමනවාට වඩා තමන්ට ඇති දෙයින් ප්‍රයෝජන ගනිමින් කැපවීම සහ අධිෂ්ඨානය තුළින් තම සිහින යථාර්ථයක් කරගන්නා ආකාරය හන්ටර්ගේ ක්‍රීඩා දිවිය තුළින් මනාවට නිදසුන් සපයයි.

“ඔවුන් මට කිව්වා මම කවදාවත් ඇවිදින්නේ නෑ කියලා. ඉතින් මම දුවන්න ඉගෙන ගත්තා” – හන්ටර් වුඩ්හෝ

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<