මලල ක්‍රීඩා පිටියේ සාර්ථකම නැවත පැමිණීම්

194

මලල ක්‍රීඩකයෙකු ලෙස ජාත්‍යන්තර තලයේ ජයග්‍රහණ දිනා ගැනීම කිසිසේත්ම පහසු නැත. ඉතා තරගකාරී මලල ක්‍රීඩා පිටියේ ජයග්‍රහණයක් ලබා ගැනීමට වඩා දිනා ගත් කිරුළ රැකගැනීම ඉතාම අපහසු කටයුත්තකි.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් තම ක්‍රීඩා දිවියේ බොහෝ කැපකිරීම් කරමින් තමන් ජයග්‍රහණය කළ මලල ක්‍රීඩා කිරුළු රැකගැනීමට වෙහෙසෙන නමුත් ආබාධවලට ලක්වීම්, තමන්ට වඩා දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පැමිණීම, තහනමකට ලක්වීම වැනි හේතූන් නිසාවෙන් ලෝක ශූරයන් සිය ඉසව්වේ පසුබසින අවස්ථා බොහෝ විට දක්නට ලැබේ.

එවැනි හේතූන් මත මලල ක්‍රීඩා පිටියෙන් ඉවත් වූ හෝ පසුබෑමකට ලක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් නැවතත් තම ක්‍රීඩා ඉසව්වන්හී සුපිරි දක්ෂතා දක්වමින් සිය ඉසව්වේ ආධිපත්‍ය නැවත ලබා ගත් අවස්ථා කිහිපයක් මලල ක්‍රීඩා ඉතිහාසයේ දක්නට ලැබේ.

ෆීලික්ස් සැන්චේස් (Felix Sanchez)  

Dominican Republic නියෝජනය කරමින් මලල ක්‍රීඩා පිටියේ දස්කම් දැක්වූ Felix Sanchez 2001 සිට 2004 දක්වා මීටර් 400 කඩුලු පැනීම ඉසව්ව සිය ආධිපත්‍යට යටත් කරගනිමින් තරගාවලි 43ක් නොකඩවා ජයග්‍රහණය කරන්නට සමත් විය. 2004 පැවති ගිම්හාන ඔලිම්පික් තරගාවලියේ මීටර් 400 කඩුලු පැනීම ඉසව්වේ රන් පදක්කම ද දිනා ගන්නට ඔහුට හැකි විය.

Felix Sanchez                                                              Image courtesy: Getty Images

එම ජයග්‍රහණ රැල්ලෙන් අනතුරුව පාදයේ දරුණු ආබාධයකට ලක් වූ ඔහුට ඉන්පසුව සුපුරුදු දස්කම් අතරට පැමිණීමට අපොහොසත් විය. 2008 පැවති ඔලිම්පික් උළෙලේ දී අවසන් පූර්ව වටයටවත් සුදුසුකම් ලබා ගැනීමට ඔහුට නොහැකි විය. 

දිගින් දිගටම මුහුණ දුන් ආබාධවලින් අනතුරුව 2012 පැවති ඔලිම්පික් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගත් ඔහු මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්ව තත්පර 47.63ක කාලයකින් අවසන් කරමින් වසර අටකට පසුව ලෝක මට්ටමේ පදක්කමක් ජයග්‍රහණය කරන්නට සමත් විය. එම ජයග්‍රහණයත් සමඟින් මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්වේ ඔලිම්පික් රන් පදක්කමක් දිනූ වයස්ගතම (අවුරුදු 35) පුද්ගලයා ලෙස ද ඉතිහාසගත වෙමින් සිය නැවත පැමිණීම සටහන් කරන්නට ඔහු සමත් විය.

ඩේවිඩ් රුඩීශා (David Rudisha)

කෙන්යාව නියෝජනය කරමින් මැදිදුර ධාවන පිටියේ කැපී පෙනෙන දස්කම් පෑ David Rudisha 2010 දී මීටර් 800 ලෝක වාර්තාව බිඳ හෙළීමට සමත් විය. එම වාර්තාව පිහිටුවා වසරක් ගතවීමට මත්තෙන් 2012 වසරේ පැවති ගිම්හාන ඔලිම්පික් එම ඉසව්ව මිනිත්තු 1:41ට අඩු කාලයකින් (මිනිත්තු 1:40.91ක) අවසන් කළ මුල්ම ක්‍රීඩකයා ලෙස ද ඔහු ඉතිහාසගත විය.

David Rudisha    Image Courtesy: Getty Images

2010 – 2012 කාලසීමාවේ දැක්වූ දස්කම් නිසාවෙන් 2010, 2011 සහ 2012 වසරවල Track & Field News Athlete of the Year සම්මානයෙන් ද පිදුම් ලැබීමට ද ඔහු සමත් වූ නමුත් 2013 වසරේ පාදයේ ඇති වූ ආබාධයක් නිසාවෙන් වසරකට අධික කාලයක් මලල ක්‍රීඩා පිටියෙන් ඈත්ව සිටීමට ඔහුට සිදු විය.

ආබාධයෙන් පසුව 2014 වසරේ නැවතත් පිටියට පා තැබූ ඔහුට සිය සුපුරුදු දස්කම් අතරට පැමිණීමට අපහසු වූ නමුත් නොපසුබට උත්සාහයත්, දැඩි කැපවීමත් නිසාවෙන් 2015 පැවති ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 800 ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කරන්නට ඔහු සමත් වූ අතර 2016 පැවති ඔලිම්පික් උළෙලේ ද එම ඉසව්ව මිනිත්තු 1:42.15ක කාලයකින් අවසන් කරමින් සිය ඔලිම්පික් කිරුළ ද රැකගැනීමට ඔහුට හැකි විය.

ජස්ටින් ගැට්ලින් (Justin Gatlin) 

ඇමරිකාව නියෝජනය කරමින් කෙටි දුර ධාවන පිටියේ ඉහළ දස්කම් දැක්වූ ජස්ටින් ගැට්ලින් 2004 පැවති ඔලිම්පික් උළෙලේ මීටර් 100 ඉසව්ව ජයග්‍රහණය කරන්නට සමත් වූ අතර 2005 පැවති ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ ද එම ඉසව්ව ජයග්‍රහණය කරමින් ලෝක ශූරයා බවට පත්වීමට ද ඔහුට හැකි විය.

එම ජයග්‍රහණවලින් අනතුරුව තහනම් උත්තේජක භාවිතා කළ බවට තහවුරු වීම නිසාවෙන් 2006 සිට 2010 දක්වා වසර හතරක කාලයක් ක්‍රීඩා පිටියෙන් ඉවත්ව සිටීමට ඔහුට සිදු වූ අතර 2010 වසරේ නැවත ක්‍රීඩාව ආරම්භ කිරීමෙන් පසුව ද ඔහුට සිය සුපුරුදු දස්කම් අතරට පැමිණීම නොහැකි විය.

Justin Gatlin                                                                             Image Courtesy: Getty Images

2008 සිටම කෙටිදුර ධාවන පිටියේ ආධිපත්‍ය පැතිරවීමට Usain Bolt සමත් වීම නිසාවෙන් ඔහු සමඟ ප්‍රබල තරගයක් දීමට ගැට්ලින්ට සිදු වූ අතර 2012 සහ 2016 වසරවල ඔලිම්පික් තරගාවලි සඳහා ඔහු සහභාගි වූවත් Usain Boltට දෙවැනි වෙමින් ඉසව්ව අවසන් කිරීමට ඔහුට සිදු විය.

පරාජයන් රැසක් හමුවේ පවා සිය උත්සහය අත්නොහැරී ඔහු 2017 පැවති ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී Bolt අභිබවමින් මීටර් 100 ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කරන්නට සමත් වූයේ වසර දොළහකට පසුව ලෝක ශූරතාවයක පහස විඳිමිනි.

තවත් විශේෂාංග ලිපි: 

සෙබස්තියන් කෝ (Sebastian Coe) 

බ්‍රිතාන්‍ය නියෝජනය කළ මෙතෙක් බිහි වූ ශ්‍රේෂ්ඨතම මැදිදුර ධාවකයෙකු ලෙස සැලකෙන සෙබස්තියන් කෝ 1980 පැවති ඔලිම්පික් තරගාවලියේ මීටර් 800 ඉසව්ව, එවකට තිබූ ලෝක වාර්තාව බිඳ හෙළමින් ජයග්‍රහණයට කරන්නට සමත් වූ ක්‍රීඩකයෙකි.

නමුත් එම ජයග්‍රහණවලින් පසුව 1982 දී ඇති වූ රෝගී තත්වයක් නිසාවෙන් ක්‍රීඩා පිටියෙන් වරින් වර ඉවත් වීමට ඔහුට සිදු වූ අතර 1983 පැවති මලල ලෝක ශූරතාවයට සහභාගි වීමේ අවස්ථාව ද ඔහු හට අහිමි විය.

Sebastian Coe (ඉදිරියෙන්) Image Courtesy: Getty Images

රෝගී තත්වය නිසාවෙන් වරින්වර රෝහල් ගත වීමට පවා ඔහුට සිදුවූවත් 1984 ඔලිම්පික් තරගාවලිය සඳහා තේරීපත්වීමට ඔහු සමත් වූ නමුත් මෙම රෝගී තත්වයත් සමඟ ඔහුට සාර්ථකව තරගාවලිය සඳහා මුහුණ දීමට හැකියාවක් ලැබේ දැයි බොහෝ දෙනා මත පලකරන්නට විය.

රෝගී තත්වය මෙන්ම එල්ල වූ විවේචන ද දරා ගනිමින් 1984 ඔලිම්පික් තරගාවලිය සඳහා ඉදිරිපත් වූ ඔහු මීටර් 800 ඉසව්වේ රිදී පදක්කම ජයග්‍රහණය කරන්නට සමත් වූ අතර මීටර් 1500 ඉසව්ව 3:32.53 කාලයකින් අවසන් කරමින් ඔලිම්පික් වාර්තාවක් ද සමඟින් රන් පදක්කම දිනා ගැනීමට ඔහු සමත් වූයේ එම ඉසව්වේ නොකඩවා අවස්ථා දෙකක දී ඔලිම්පික් රන් පදක්කම් දිනූ මුල්ම ක්‍රීඩකයා ලෙස ඉතිහාස ගතවෙමිනි.

Shelly-Ann Fraser-Pryce

කෙටිදුර ධාවනයේ රැජින ලෙස සලකන ජැමෙයිකානු සුපිරි ක්‍රීඩිකා Shelly-Ann Fraser-Pryce 2008 සහ 2012 දී පැවති ගිම්හාන ඔලිම්පික් උළෙලවල් වලදී මීටර් 100 රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර 2009, 2013 සහ 2015 යන වසරවල දී මීටර් 100 ලෝක ශූරිය බවට ද පත්වීමට ඇය වාසනාවන්ත විය.

එසේ නමුත් 2016 වසරේ පැවති ගිම්හාන ඔලිම්පික් තරගාවලියේ මීටර් 100 ඉසව්වේ තෙවැන්නා ලෙස පසුබසින්නට ඇය  සිදු වූ අතර එම පරාජයෙන් පසුව මවක් වීමේ බලාපොරොත්තුව සහිතව ඇය ක්‍රීඩා පිටියෙන් තාවකාලිකව සමුගැනීමට තීරණය කළාය.

Shelly-Ann Fraser-Pryce                                                Image Courtesy: Getty Images

සිය මුල්ම දරුවා ලෙස පිරිමි දරුවෙකුට උපත ලබා දීමෙන් අනතුරුව වසර දෙකකට පසුව එනම් 2018 වසරේ දී නැවතත් මලල ක්‍රීඩා පිටියට අවතීර්ණ වූ ඇයට එම වසරේ දී සිය සුපුරුදු දස්කම් අතරට පැමිණීමට නොහැකි විය. එම වසරේ සහය දිවීමේ පදක්කම්වලට අමතරව කිසිදු පදක්කමක් දිනා ගැනීමට ඇයට නොහැකි විය.

ක්‍රීඩා පිටියෙන් ඉවත්ව සිටි වසර දෙකේ ලද පසුබෑමෙන් පසුව 2019 වසරේ දී නැවතත් තම සුපුරුදු රිද්මයට අවතීර්ණ වීමට සමත් වූ ඇය 2019 පැවති ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 ඉසව්ව තත්පර 10.71ක කාලයකින් අවසන් කරමින් රන් පදක්කමක් දිනා ගන්නට ඇය සමත් වූයේ වසර පහකට පසුව ලෝක ශූරිය බවට ද පත්වෙමිනි.

World Athletics වෙබ් අඩවියේ පලවූ ලිපියක් ඇසුරෙනි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<