නව ක්‍රීඩා කවුන්සිලයේ සභාපතිකම මහේලට; Dialog CEOටත් ආරාධනා

632

ක්‍රීඩා අමාත්‍යංශයට උපදෙස් ලබා දීමේ අරමුණින් සහ නව ක්‍රීඩා ප්‍රතිපත්තියක් හඳුන්වා දීමේ අරමුණින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා අද (20) දින සාමාජිකයින් 14 දෙනෙකුගෙන් සමන්විත ‘ජාතික ක්‍රීඩා කවුන්සිලය’ නම් කර ඇත.

සංගාට සහ මහේලට නව ක්‍රීඩා ඇමතිගෙන් ආරාධනාවක්

එම කවුන්සිලයේ සභාපති ලෙස හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා කටයුතු කරන අතර ශ්‍රී ලංකාව තුළ ක්‍රීඩාව නඟා සිටුවීමට ඉමහත් සේවයක් ඉටු කරන  Dialog Axiata හි ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා ද මෙම කවුන්සිලයට ඇතුළත්ව තිබීම විශේෂත්වයකි. 

ශ්‍රී ලංකාව තුළ ඊ-ස්පෝර්ට්ස් (E-sports) වැනි නව අංශ හරහා ක්‍රීඩා ආර්ථිකයක් ගොඩ නැගීම මෙන්ම නව ක්‍රීඩා පනතක් සහ ක්‍රීඩා ප්‍රතිපත්තියක් ගොඩ නැගීම මෙම කවුන්සිලයේ ප්‍රධාන වගකීම් ලෙස සඳහන් වේ. 

තෝරාපත් කරගත් නිළධාරීන් හට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද (20) සවස ගරු අමාත්‍යතුමාගේ කාර්‍යාලයේ දී සිදු කෙරුණු අතර ඊට සහභාගී වූ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක මෙන්ම කමිටු සභාපති මහේල ජයවර්ධන මහතා මාධ්‍ය අමතමින් මෙසේ අදහස් දැක්වූවා.

“තනි ක්‍රීඩාවක් නෙවෙයි අපි මෙතනට ඇවිල්ලා ඉන්නේ අපේ පෞද්ගලික ක්‍රීඩාව දියුණු කරන්න නෙවෙයි, ශ්‍රී ලංකාවේ තියෙන හැම ක්‍රීඩාවක්ම බලලා ඒකට අවශ්‍ය කරන සැලැස්මක් හදන්න. ක්‍රීඩා පනත යල් පැන ගිය පනතක් තියෙන්නේ ඉතින් ඒ ගැනත් අපි නීතිමය පැත්තෙන් දැනුම අරගෙන අපි කොහොමද ජාත්‍යන්තරයේ දැනට තියෙන රෙගුලාසි අනුව කාලෝචිත ක්‍රීඩා පනතක් අපි ඉදිරිපත් කරන්නේ කොහොමද කියන එක ගැන බලනවා.” 

>> මාධ්‍ය හමුවේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

“දේශපාලනය ක්‍රීඩාවෙන් දුරස් කළ යුතුයි; ක්‍රීඩාව තුල තියෙන දේශපාලනය ද තුරන් කළ යුතුයි. ක්‍රීඩා අමාත්‍යවරයාගේ රාජකාරිය තමයි ක්‍රීඩා කවුන්සිලය පත්කරන එක, පළවෙනි කවුන්සිලය විදියට මම යෝජනා කළා ජාතික සංචිතවලට ක්‍රීඩකයන් තෝරාගන්නා තේරීම් කමිටු මෙතෙක් කල් ඇමතිවරයාගේ නිර්දේශ මත තමා නම් වුනේ, අද ඉඳන් ඒ නම් සංගම් විසින් ක්‍රීඩා කවුන්සිලය වෙත යොමු කළාම කවුන්සිලයේ නිර්දේශය මත තමයි මම මගේ අත්සන යොදන්නේ.

ඉදිරි කාලය තුල දී ක්‍රීඩා පනත සංශෝධනය කරනවාට වඩා අලුත් ක්‍රීඩා පනතක්, කාලෝචිත රටට ගැළපෙන ක්‍රීඩා පනතක් හදන්න, හදලා එය ක්‍රීඩාවේ අභිවෘද්ධියට භාවිත කරන්න අපි බලාපොරොත්තු වනවා” යැයි ගරු ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතා මෙහි දී සඳහන් කරන ලදි.

සාමාජිකයින් 14 දෙනෙකුගෙන් සමන්විත ජාතික ක්‍රීඩා කවුන්සිලය මෙසේය. 

  • මහේල ජයවර්ධන – සභාපති 
  • සුපුන් වීරසිංහ – සාමාජික 
  • ජූලියන් බෝලින් – සාමාජික 
  • කුමාර් සංගක්කාර – සාමාජික 
  • ඩිලන්ත මාලගමුව – සාමාජික 
  • කස්තුරි විල්සන් – සාමාජික 
  • රොහාන් ප්‍රනාන්දු – සාමාජික 
  • රුවන් කෑරගල – සාමාජික 
  • සංජීව වික්‍රමනායක – සාමාජික 
  • මේජර් ජෙනරාල් රාජිත අම්පෙමොහොට්ටි – සාමාජික 
  • ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා – සාමාජික 
  • රොවනා සමරසිංහ – සාමාජික 
  • යසවන්ත් මුත්තෙට්ටුවේගම – සාමාජික 
  • ඒ. ජේ. එස්. එස්. එදිරිසූරිය – සාමාජික

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<