ශ්‍රී ලංකාව නිල වශයෙන් ලෝක කුසලානයෙන් ඉවතට

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

131

2021 පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (02) බංග්ලාදේශය සමඟ පැවති තරගය දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කිරීමත් සමඟ නිල වශයෙන් ලෝක කුසලානයෙන් ඉවත් වීමට ශ්‍රී ලංකාවට සිදු වුනා.

සුපිරි 12 වටයේ සහභාගී වූ එක් තරගයක් ජය ගනිමින් තරග තුනක් පරාජයට පත්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගය දකුණු අප්‍රිකාව පරාජයට පත්වූවා නම් අවසන් පූර්ව වටයට පිවිසීමට තරමක අවස්ථාවක් තිබුණා.

නමුත් මෙම තරගයේ ජයග්‍රහණය දකුණු අප්‍රිකාවට හිමි වීමත් සමඟ ඔවුන්ගේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 6ක් දක්වා ඉහළ යාමත් සමඟ ශ්‍රී ලංකාවට තවත් ඉතිරිව ඇත්තේ එක් තරගයක් පමණක් නිසාවෙන් මෙම තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට තිබූ අවසන් අවස්ථාව ද ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමිව ගියා.

ඒ අනුව පළමු කාණ්ඩයේ ප්‍රසාද ලකුණු 8ක් දිනා ගනිමින් අවසන් පූර්ව වටයේ අසුනක් තහවුරු කර ගැනීමට එංගලන්තයට හැකිව ඇති අතර දෙවැනි ස්ථානය සඳහා ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව්වන් සහ දකුණු අප්‍රිකාව තරග වදිමින් සිටී.

දකුණු අප්‍රිකානු කාණ්ඩයේ මීළඟ තරගය එංගලන්තය සමඟ පැවැත්වීමට නියමිත අතර එම තීරණාත්මක තරගය ජය ගැනීමට ඔවුන්ට හැකිවුවහොත් බොහෝ විට අවසන් පූර්ව වටයේ අසුන තහවුරු කර ගැනීමට ඔවුන්ට හැකි වනු ඇත.

ප්‍රසාද ලකුණු 2ක් දිනාගෙන සිටින බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට තවත් තරග දෙකක් ඉතිරිව ඇති නමුත් එම තරග ද්විත්වයම ජයග්‍රහණය කිරීමට ඔවුන්ට හැකිවූවත් ඔවුන්ගේ ලකුණු දල වේගය විශාල ලෙස ඉහළ නංවා ගැනීමට ඔවුන්ට සිදු වෙනවා.

ඒ අනුව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට දකුණු අප්‍රිකාව සමඟ කරට කර සටනක සිටින ඕස්ට්‍රේලියානු කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු 4ක් ලබා සිටින අතර ඔවුන්ගේ මීළඟ තරග ද්විත්වය බටහිර ඉන්දීය කොදෙව්වන් සහ බංග්ලාදේශය සමඟ පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ සහභාගී වූ තරග 4ම පරාජයට පත්වූ බංග්ලාදේශය මේ වන විට තරගාවලියෙන් නිල වශයෙන් ඉවත්ව ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරගය ලබන බ්‍රහස්පතින්දා (04) බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතයි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<