කාලිංග, හිමාෂ සහ අමාෂා සිය ආධිපත්‍ය රැකගනී

ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලිය- 2021

164

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන මෙම වසරේ පළමු මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේ පළමු දිනයේ තරග අද (07) කොළඹ සුගතදාස එළිමහන් ක්‍රීඩා පිටියේ දී පැවැත්වුනා.

ජ්යෙෂ්ඨ තේරීම් තරග 

දිනය ආරම්භ කරමින් පැවති පිරිමි මීටර් 10,000 තරගය මිනිත්තු 31:29.31ක කාලයකින් අවසන් කරමින් ජය ගන්නට යුද හමුදා ක්‍රීඩක කේ. ශංමුගේශ්වරන් සමත් වුනා. එල්. සිරිමාන (මිනිත්තු 31:34.64) දෙවන ස්ථානයත්, ඩබ්. වොට්සන් (මිනිත්තු 32:19.30) තෙවැනි ස්ථානයත් දිනා ගත්තා.

සිය සුපුරුදු ඉසව්ව වූ කාන්තා මීටර් 3000 බාධක දිවීමේ තරගය මිනිත්තු 9:57.81ක කාලයකින් අවසන් කරමින් ජය ගන්නට එම ඉසව්වේ ජාතික ශූරිය වන නිලානි රත්නායක සමත් වුනා. එල්. ආරියදාස (මිනිත්තු 11:04.52) දෙවැනි ස්ථානය සහ එන්. කුමාරි (මිනිත්තු 11:15.99) තෙවැනි ස්ථානය දිනා ගත්තා.

පිරිමි මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වේ ජය මිනිත්තු 8:59.51ක කාලයකින් අවසන් කළ ආර්. එම්. එස්. පුෂ්පකුමාරට හිමි වුනා. යු. බී. හේරත් (මිනිත්තු 9:06.56) දෙවැනි ස්ථානයත්, ජේ. විජේනායක 9:16.93 තෙවැනි ස්ථානයත් දිනා ගැනීමට සමත් වුනා.

කාන්තා උස පැනීම ඉසව්වේ ප්‍රථම ස්ථානය මීටර් 1.65ක දක්ෂතාවයක් පෙන්නුම් කළ යුද හමුදා ක්‍රීඩිකා එම්. මධුශානි හට හිමි වුනා. කෝශිලා අමරසේකර (මීටර් 1.62) දෙවැනි ස්ථානයත්, සොනාලි ඉමේෂිකා (1.62) තෙවැනි ස්ථානයත් දින ගත්තා.

කාන්තා යගුලිය විසිකිරීම ඉසව්ව සඳහා සහභාගී වූ යොවුන් ක්‍රීඩිකා ඔවිනි චන්ද්‍රසේකර මීටර් 13.02ක දක්ෂතාවයක් දක්වමින් ජාතික කනිෂ්ඨ වාර්තාව බිඳ හෙළීමට සමත් වූ අතර ඇය එම තරගය ජය ගැනීමට ද සමත් වුනා. එම ඉසව්වේ දෙවැනි සහ තෙවැනි ස්ථාන ප්‍රියංගිකා කුමාරි (මීටර් 11.29) සහ ඩී. ක්ලැරන්ස් (මීටර් 11.24) විසින් දිනා ගත්තා.

කාන්තා දුර පැනීම ඉසව්වෙහි ජයග්‍රහණය මීටර් 6.26ක දක්ෂතාවයක් පෙන්නුම් කළ අංජානි පුලවංශ හට හිමි වුනා. 

දිනයේ උණුසුම්ම ඉසව් අතරින් ප්‍රමුඛ තැනක් හිමි වූ කාන්තා මීටර් 100 ඉසව්ව තත්පර 11.79ක කාලයකින් අවසන් කරමින් තරගාවලියේ වේගවත්ම ක්‍රීඩිකාව වීමට මීටර් 100 ජාතික ශූරී අමාෂා ද සිල්වා සමත් වුනා.

තරගය තත්පර 12.07ක කාලයකින් අවසන් කළ ශෙලින්ඩා ජැන්සන් හට දෙවැනි ස්ථානයත්, තත්පර 12.15ක කාලයකින් ඉසව්ව අවසන් කළ එම්. ජයමාන්න හට තෙවැනි ස්ථානයත් හිමි වුනා.

පිරිමි මීටර් 100 ඉසව්වේ සිය ආධිපත්‍ය නැවත වරක් පෙන්නුම් කළ කෙටිදුර ධාවන ශූර හිමාෂ ඒෂාන් තරගාවලියේ මීටර් 100 ඉසව්ව තත්පර 10.58ක කාලයකින් අවසන් කරමින් වේගවත්ම ක්‍රීඩකයා වීමට සමත් වුනා.

එම ඉසව්වේ දෙවැනි ස්ථානය එම්. යෝදසිංහ (තත්පර 10.81) හටත්, තෙවැනි ස්ථානය මොහොමඩ් සෆාන් (තත්පර 10.81) හටත් හිමි වුනා.

දිනයේ තවත් අවධානය දිනා ගත් ඉසව්වක් වූ කාන්තා හා පිරිමි මීටර් 400 තරග ඉන්පසු ආරම්භ වූ අතර එහි කාන්තා තරගය තියුණු සටනකින් පසුව ජාතික ශූරී නදීෂා රාමනායක පරාජය කරමින් ජය ගැනීමට ඩිල්ෂි කුමාරසිංහ (තත්පර 53.43) සමත් වුනා.

නදීෂා රාමනායක (තත්පර 53.48) දෙවැනි ස්ථානයත්, කෞෂල්‍යයා මධුෂානි (තත්පර 56.24) තෙවැනි ස්ථානයත් දිනා ගත්තා.

නැවතත් මලල ක්‍රීඩා පිටියට පැමිණීමෙන් පසු ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ කාලිංග කුමාරගේ පිරිමි මීටර් 400 ඉසව්ව තත්පර 45.99ක කාලයකින් අවසන් කරමින් ජය ගැනීමට සමත් වුනේ ක්‍රීඩා දිවියේ තම පෞද්ගලික හොඳම කාලය නැවත සමකරමින්.

තරගය තත්පර 46.82ක කාලයකින් අවසන් කළ එම්. ගුණරත්න දෙවන ස්ථානය දිනා ගත් අතර තත්පර 46.91ක කාලයකින් අවසන් කළ අරුණ දර්ශන හට තෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදු වුනා.

කාන්තා හෙල්ල විසිකිරීම ඉසව්වේ මීටර් 51.75ක දස්කමක් දැක්වූ එන්. ඩී. ලේකම්ගේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වූ අතර මීටර් 50.13ක දක්ෂතාවයක් පෙන්නුම් කළ එම ඉසව්වෙහි ජාතික ශූරී නදීකා ලක්මාලි හට දෙවැනි ස්ථානය හිමි වුනා.

පිරිමි යගුලිය විසිකිරීමේ ඉසව්ව ජය ගැනීමට මීටර් 16.62ක දක්ෂතාවක් පෙන්නුම් කළ යුද හමුදා ක්‍රීඩක එම්. ප්‍රනාන්දු සමත් වුනා.

එම ඉසව්වෙහි මීටර් 15.67ක දක්ෂතාවයක් පෙන්නුම් කළ සමිත ජයවර්ධන දෙවැනි ස්ථානයත්, මීටර් 14.41ක දක්ෂතාවයක් දැක්වූ ධනුෂ්ක පෙරේරා තෙවැනි ස්ථානයත් දිනා ගත්තා.

කාන්තා මීටර් 1500 ඉසව්ව මිනිත්තු 4:24.06ක කාලයකින් අවසන් කරමින් ජය ගැනීමට ගයන්තිකා අබේරත්න සමත් වූ අතර මිනිත්තු 4:37.60ක කාලයකින් අවසන් කළ ශානිකා ලක්ෂානි දෙවැනි ස්ථානය දිනා ගත්තා.

කාණ්ඩ දෙකක් යටතේ පැවති පිරිමි මීටර් 1500 ඉසව්වේ A කාණ්ඩයේ ජය මිනිත්තු 3:55.16ක කාලයකින් ඉසව්ව අවසන් කළ හේමන්ත කුමාර හට හිමි වූ අතර B කාණ්ඩයේ ජය මිනිත්තු 3:56.40ක කාලයකින් ඉසව්ව අවසන් කළ ටී. විජේසිංහට හිමි වුනා.

තවත් ක්‍රීඩා පුවත්:

කනිෂ්ඨ තේරීම් තරග 

පිරිමි කනිෂ්ඨ දුර පැනීම ඉසව්ව මීටර් 7.51ක දස්කමක් දක්වමින් ජය ගැනීමට හිරුෂ ඒෂාන්ට හැකි වුනා. මීටර් 7.40ක දුරක් වාර්තා කළ පසිඳු මල්ෂාන් දෙවැනි ස්ථානයත්, මීටර් 7.03ක කාලයක් වාර්තා කළ දුලංජන ප්‍රේමලාල් තෙවැනි ස්ථානයත් දිනා ගත්තා.

කාන්තා කනිෂ්ඨ උස පැනීම් ඉසව්ව මීටර් 1.67ක දක්ෂතාවයක් දක්වමින් ජය ගැනීමට එස්. සාදිත්‍යා සමත් වූ අතර ඇය දැක්වූ දක්ෂතාවය තරගාවලියේ ජ්‍යෙෂ්ඨ අංශයේ තරගය ජය ගත් ක්‍රීඩිකාව දැක්වූ දක්ෂතාවයට වඩා වැඩි වීම ද කැපී පෙනුණා.

එම ඉසව්වේ මීටර් 1.59 බැගින් දස්කම් දැක්වූ මිනෝලි ප්‍රනාන්දු සහ කුමාරි හේරත් පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනා ගැනීමට සමත් වුනා.

පිරිමි මීටර් 400 කනිෂ්ඨ ඉසව්වෙහි ප්‍රථම ස්ථානය තත්පර 47.24ක කාලයකින් තරගය අවසන් කළ ඉසුරු කෞෂල්‍යය විසින් දිනා ගත්තා. එම තරගය තත්පර 48.76ක කාලයකින් අවසන් කළ පසිඳු ගුණවර්ධන දෙවැනි ස්ථානයත්, තත්පර 48.77ක කාලයකින් අවසන් කළ නවිශ්ක සංදේශ් තෙවැනි ස්ථානයත් දිනා ගත්තා.

එම ඉසව්වෙහි කාන්තා තරගය ජය ගැනීමට ලක්ෂිමා මෙන්ඩිස් (තත්පර 56.40) සමත් වූ අතර කාවින්දි සංජනා (තත්පර 56.98) දෙවැනි ස්ථානයත්, මාෂා ප්‍රනාන්දු (තත්පර 57.46) තෙවැනි ස්ථානයත් දිනා ගත්තා.

කනිෂ්ඨ කාන්තා මීටර් 100 ඉසව්ව ජය ගනිමින් කනිෂ්ඨ අංශයේ වේගවත්ම ක්‍රීඩිකාව වීමට දුල්‍යානා සුළුදාගොඩ සමත් වුනා.

තරගාවලියේ දෙවන දිනය (08) පිළිබඳව සියලූම තොරතුරු එසැණින් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න, ThePapare.com සමඟම.

>> තවත් මලල ක්රීඩා පුවත් සඳහා පිවිසෙන්නමලල ක්රීඩා පිටුවට <<