සුපිරි සති අන්තයේ ශූරයින්ගේ රැඟුම් කෙසේ නිමා වෙයි ද?

280

තරගකාරී සති 15 අවසානයේ 2018/19 අන්තර් සමාජ රග්බි ශූරතාවයේ කුසලානයේ අවසන් අසුන් සඳහා කණ්ඩායම් තේරිපත්ව අවසන්. කෙසේ නමුත් ශූරතාව ඩැහැගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන්නේ හැව්ලොක් සහ මහනුවර කණ්ඩායම් පිටිය පුරා සිය අණසක පතුරවන්නට විවිධ අන්දමේ උපක්‍රම ක්‍රියාවට නංවමින් සිටින බැවිනි.

පසුගිය සතියේ හැව්ලොක් හා මහනුවර කණ්ඩායම් ඔවුන්ගේ සියලුම තුරුම්පු භාවිතා කරමින් පිටියේ ආධිපත්‍ය තමන් වෙත නතුකර ගැනීමට උත්සාහ කරනු දක්නට ලැබුණි.

මධුවන්තගේ කැපකිරීම් මහනුවර හමුවේ ව්‍යර්ථ වෙයි

2018/19 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සුපිරි වටයේ කුසලාන කාණ්ඩයේ …..

පසුගිය සතු අන්තයේ තරග විස්තර –

කුසලාන ශූරතාවලිය –

හැව්ලොක් ක්‍රීඩා සමාජය 21-07ක් ලෙස CR&FC කණ්ඩායම හමුවේ ජයග්‍රහණය හිමිකර ගත් අතර මහනුවර ක්‍රීඩා සමාජය 31-13ක් ලෙස CH&FC කණ්ඩායම පරාජය කරමින් ජයග්‍රහණය දිනා ගන්නට සමත් විය.

පලඟ ශූරතාවලිය –

යුධ හමුදා ක්‍රීඩා සමාජය, ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව 29-25ක් ලෙස ද, පොලිස් ක්‍රීඩා සමාජය, නාවික හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව 34-25ක් ලෙස ද ජයග්‍රහණය වාර්තා කරන්නට සමත් විය.

පසුගිය සතියේ තරගවලින් පසු ප්‍රසාද ලකුණු පුවරුව මෙසේයි.

පසුගිය තරග 4හි ජයග්‍රාහකයින් එළඹෙන සුපිරි සති අන්තයේ දී එකිනෙකා සමඟින් පලඟ ශූරතාවය සහ කුසලාන ශූරතාවය සඳහා තරග කරනු ඇත.

පරිසාධන ලකුණු මට්ටමින් ඉහළින් සිටින කණ්ඩායමට තරගයට සත්කාරකත්වය දැක්වීමේ වාසිය හිමිවන අතර ඒ අනුව ලීගයේ කුසලාන අවසන් මහා තරගයට මහනුවර ක්‍රීඩා සමාජයට කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයට පැමිණීමට සිදු වේ.

එසේම පරාජිත කණ්ඩායම් වන CH&FC හා CR&FC කණ්ඩායම් මාර්තු දෙවැනි දා තරග කරන අතර එහි ජය පරාජය කෙසේ වුවද ලකුණු පුවරුවේ වෙනසක් කිරීමට ඔවුන්ට හැකියාවක් නැත.

පලඟ ශූරතාවයට ක්‍රීඩා කරන යුධ හමුදා ක්‍රීඩා සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය අතර තරගයේ සත්කාරකත්වය පරිසාධන මට්ටමේ ඉදිරියෙන් සිටින යුධ හමුදා ක්‍රීඩා සමාජයට හිමිව ඇත. එම තරගය මාර්තු දෙවැනි දා පැවතීමට නියමිතයි.

එම තරගය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත පොලිස් ක්‍රීඩා සමාජයේ යෝධ බල කණුවක් වන එමෝසි වුනිවෝසා ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතු වන්නේ පොලිස් ක්‍රීඩා සමාජයෙන් ගිලිහී ගිය ගම්‍යතාවය නැවත ලබා ගැනීමට ඔහුගේ ක්‍රීඩා විලාශය මහත් රුකුලක් වන නිසාවෙනි.

 

එමෝසි වුනිවෝසා

පසුගිය සති අන්තයේ පලඟ ශූරතාවලියේ පරාජිත කණ්ඩායම් වන නාවික හමුදා ක්‍රීඩා සමාජය හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර තරගය මාර්තු පළමු වැනිදා වැලිසර දී පැවැත්වීමට නියමිතයි.

නාවික හමුදා කණ්ඩායම මේ වසරේ දී පසුගිය වසරට සාපේක්ෂව පසුබෑමට ලක්වී තිබීම කනගාටුවට හේතුවක් වන අතර පසුගිය වසරේ දෙවැනි ස්ථානයෙන් තරගාවලිය අවසන් කළ ද, මෙවර ඔවුන් 7 වැනි ස්ථානය දක්වා පසුබෑමට ලක්වී ඇත.

සියලු රග්බි ක්‍රීඩාලෝලීන් නොඉවසිල්ලෙන් බලා සිටින සුපිරි සතිඅන්තය අද සිට 3 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

තරග කාලසටහන –

  • මාර්තු 1 – නාවික හමුදා ක්‍රීඩා සමාජය හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර තරගය – වැලිසර දී.
  • මාර්තු 2 – යුධ හමුදා ක්‍රීඩා සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය අතර තරගය – වැලිසර දී
  • මාර්තු 2 – CH&FC හා CR&FC අතර තරගය – තුරඟ තරග පිටියේ දී
  • මාර්තු 3 – හැව්ලොක් ක්‍රීඩා සමාජය හා මහනුවර ක්‍රීඩා සමාජය අතර තරගය – හැව්ලොක් ක්‍රීඩාංගණයේ දී

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<