මීටර් 200 ආධිපත්‍ය මේධානිට සහ කාලිංගට

ආසියානු මලල ක්‍රීඩා සහ ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සුදුස්සන් තේරීමේ තරගාවලිය 2022

1593

මෙම වසරේ අවසන් මලල ක්‍රීඩා තරගාවලිය මෙන්ම 2023 ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සහ ආසියානු ක්‍රීඩා උළෙලට සුදුස්සන් තේරීම සඳහා වූ තරගාවලිය අද (18) දියගම දී අවසන් වුනා.

තරගාවලියේ දෙවැනි දිනය වූ අද (18) දිනය ආරම්භ කරමින් පැවති පිරිමි මීටර් 10,000 තරගය මිනිත්තු 30:31.51ක කාලයකින් ජයග්‍රහණය කිරීමට ඩී. ගුණසේකර සමත් වුනා. මිනිත්තු 30:56.19ක කාලයකින් ඉසව්ව අවසන් කළ K. Shanmugeshwaran දෙවැනි ස්ථානය සහ මිනිත්තු 30:23.27ක කාලයකින් තරගය අවසන් කළ පී.මධුරංග තෙවැනි ස්ථානය දිනා ගත්තා.

දිනයේ වැඩි අවධානයක් දිනාගත් ඉසව්ව වූ මීටර් 200 කාන්තා තරගය තත්පර 24.32ක කාලයකින් අවසන් කරමින් ජයග්‍රහණය කිරීමට මේධානි ජයමාන්න සමත් වෙද්දී නදීෂා රාමනායක (තත්පර 24.76) එහි දෙවැනි ස්ථානය සහ එම්. ප්‍රනාන්දු (තත්පර 25.68) තෙවැනි ස්ථානය දිනා ගත්තා.

පිරිමි මීටර් 200 තරගයෙන් මොහොමඩ් සෆාන් (තත්පර 21.61) පරදවා තත්පර 21.11ක කාලයකින් ඉසව්ව අවසන් කර ජයග්‍රහණය ලැබීමට කාලිංග කුමාරගේට හැකි වූ අතර එහි තෙවැනි ස්ථානය හිමි වුනේ තත්පර 21.87ක කාලයකින් ඉසව්ව අවසන් කළ ඩී. ගයාෂාන් හටයි.

කාන්තා මීටර් 1500 ඉසව්වෙහි සුපුරුදු ආධිපත්‍ය පැතිර වූ එහි ජාතික ශූරී ගයන්තිකා අබේරත්න එම ඉසව්ව මිනිත්තු 4:13.20ක කාලයකින් අවසන් කරමින් ජයග්‍රහණය හිමි කරගත්තා. එහි පිරිමි ඉසව්වේ ජයග්‍රහණය හිමි වුනේ මිනිත්තු 3:46.12ක කාලයකින් ඉසව්ව අවසන් කළ එච්. කුමාර හටයි.

>> තරගාවලියේ සමස්ත තරග ප්‍රතිඵල <<

අද පැවති කාන්තා මීටර් 100 කඩුලු පැනීමේ තරගය සුපුරුදු පරිදි ජයග්‍රහණය කිරීමට ලක්ෂිකා සුගන්ධි (තත්පර 13.84) සමත් වෙද්දී පිරිමි මීටර් 110 කඩුලු පැනීමේ තරගය තත්පර 14.09ක කාලයකින් අවසන් කරමින් රොෂාන් ධම්මික ජයග්‍රහණය කළා.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<