තහනමට‌ ‌පසුව‌ ‌එන‌ ‌ශකීබ්ට‌ ‌ශ්‍රී‌ ‌ලංකාවේ‌ ‌දොර‌ ‌ඇරෙයි‌ ‌ද?‌ ‌

184

එළඹෙන බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ දී ශකීබ් අල් හසන් නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට අවතීර්ණ වීම සඳහා වැඩි ඉඩක් ඇත. ඒ ඔහුට ලැබුණු දඬුවම් කාල සීමාව ඔක්තෝබර් 29 වැනිදා අවසන් වීමට නියමිතව තිබෙන නිසාවෙනි.

2018 ජනවාරි මාසයේ දී පැවති බංග්ලාදේශ තුන්කොන් ක්‍රිකට් තරගාවලියක දී සහ එම වසරේම පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය යටතේ ඔහු ක්‍රීඩා කරනු ලැබූ Sunrisers Hyderabad කණ්ඩායම සහභාගී වූ එක් තරගයක දී වෙනත් පාර්ශවයන් විසින් ඔහු වෙත ඉදිරිපත් කර තිබූ දූෂිත යෝජනාවන් ඔහු විසින් වාර්තා කිරීමට අපොහොසත් වීමට අදාළව ඔහුට මෙම චෝදනා එල්ල විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතාට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන දෙක තරගාවලි සඳහා පිටත්ව යන දින තහවුරු කරගෙන තිබේ. නමුත් බංග්ලාදේශ ක්‍රිකට් පරිපාලනය විසින් විස්සයි විස්ස තරග තුනක් තරගාවලියට ඇතුළත් කිරීමට යෝජනා කර ඇති නිසා ඔවුන්ට ගැටලුව බවට පත්ව ඇත්තේ ක්‍රීඩා කරන ටෙස්ට් තරග ප්‍රමාණයයි.

ශකීබ් අගෝස්තු අග පුහුණුවීම් ආරම්භ කිරීමට පෙර ඔහුට ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයක් සිදු කිරීම අවශ්‍ය වේ. ඒ සඳහා බංග්ලාදේශ ක්‍රීඩා අධ්‍යාපන ආයතනයේ සහාය ඇතිව ඔහුගේ වර්තමාන ශාරීරික යෝග්‍යතා මට්ටම නිවැරදිව නිශ්චය කර ගැනීමට අවශ්‍යව බව ශකීබ්ගේ පුද්ගලික උපදේශක නස්මුල් මහතා පවසා ඇත.

තවත් ක්‍රිකට් පුවත්;

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන රසල් ඩොමින්ගෝ මහතා ශකීබ් පිළිබඳව පවසා සිටියේ,

“ශ්‍රී ලංකා තරගාවලියට කලින් ශකීබ්ගේ ශාරීරික යෝග්‍යතා මට්ටම පරීක්ෂා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. Fitness හොඳට නැත්නම් ක්‍රීඩා කරන්න අමාරුයි. ඔහු විතරක්  නෙමෙයි මේ කොරෝනා වසංගත තත්වය නිසා අනෙක් ක්‍රීඩකයිනුත් ගෙදරට වෙලා හිටියේ. ඒක නිසා ඔවුන්ගේ වුනත් ශාරීරික යෝග්‍යතා මට්ටම පරීක්ෂා කරන්න වෙනවා. අපි හිතනවා මේ ක්‍රීඩකයින් සියලුම දෙනා ඉතාමත් හොඳ ශාරීරික යෝග්‍යතා මට්ටමක ඉන්නවා කියලා මම හිතනවා”  යැයි ඔහු ESPNcricinfo වෙත පවසා ඇත.

“ශකීබ් කියන්නේ ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් රැසක් ඇති ක්‍රීඩකයෙක්, ඔහුට ශ්‍රී ලංකා තරග සංචාරයට ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලැබෙයි කියලා අපි හිතනවා. හැබැයි ඒ තරග  සංචාරයට කලින් ශකීබ් ඇතුළු ක්‍රීඩකයින්ට පුහුණු තරග කිහිපයක් පවත්වන්න අපි සූදානමින් ඉන්නවා. හැබැයි ඔහුගේ තහනම ඉවත් වෙන්නේ ඔක්තෝබර් 29 වැනිදා ඉතින් අපි ඊට කලින් මේ පුහුණු තරග තියන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒ තරග ක්‍රීඩා කරන්න ශකීබ්ට පුළුවන් ද බැරි ද කියන එක අපිට පොඩ්ඩක් බලන්න වෙනවා.”

බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙන දිනය ආසන්න වශයෙන් තහවුරු වී ඇති නමුත් තරග කාලසටහන සකස් කිරීම තවමත් අවසන් මට්ටමට පැමිණ නොමැත්තේ, තරග විකාශන අයිතිය ඇතුළු තවත් කාරනා කිහිපයක් විසඳා ගැනීමට ඉතිරිව තිබෙන නිසාවෙනි.

ජාත්‍යන්තර ටෙස්ට් තරග 56ක්, එක්දින තරග 206ක් සහ විස්සයි විස්ස තරග 20ක් ක්‍රීඩා කර ඇති ශකීබ් අල් හසන්, බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩාව තුළ එතෙක් මෙතෙක් බිහි වූ විශාලතම වීරයෙකු වන අතර 2009 වසරේ සිට මේ දක්වා ICC ශ්‍රේණිගත කිරීම්වල තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර ඉහළින්ම සිටින්නේ ඔහුයි.

පසුගිය දා එංගලන්තයේ දී නිමාව දුටු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශකීබ් ලකුණු 600කට වඩා රැස්කර ගෙන කඩුලු 11ක් ද දවා ගත්තේය. ඔහු එක්දින තරගවල දී ලකුණු 5,000 සීමාව සහ කඩුලු 250ක් දවා ගත් වේගවත්ම ක්‍රිකට් ක්‍රීඩකයා බවට ද පත්විය.

ESPNcricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<