මේධානි සහ සෆාන් මීටර් 200 ප්‍රථම ස්ථාන දිනයි

දෙවැනි ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලිය 2022

208
National Athletics selection

පුරා දින දෙකක් මුළුල්ලේ පැවති ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සුදුස්සන් සොයා යන තේරීම් තරග මාලාවේ දෙවැනි අදියර අද (11) දියගම දී නිමාවට පත්වුනා.

තරගාවලිය පුරාවට වාර්තා වූ එකම වාර්තාවේ හිමිකාරිණිය වුනේ රිටි පැනීමේ ක්‍රීඩිකා සචිනි පෙරේරා. යුද හමුදාව නියෝජනය කරමින් තරග කරනා ඇය අද දැක්වූ දක්ෂතාවය මීටර් 3.70ක්.

මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්ව ජයග්‍රහණය කරන්නට මිනිත්තු 1.00.15කින් ඉසව්ව අවසන් කළ ඊ. කේ. මදුෂානි සමත් වූ අතර මිනිත්තු 1.00.49කින් ඉසව්ව අවසන් කළ අමේෂා හෙට්ටිආරච්චි දෙවැනි ස්ථානය දිනා ගත්තා. අමේෂා වාර්තා කළ කාලයත් සමඟින් කනිෂ්ඨ ලෝක ශූරතාවය සඳහා සුදුසුකම් සපුරා ගන්නට ද ඇයට හැකි වුනා.

ඒ අනුව තේරීම් තරගාවලිය අවසන් වන විට සිතුම් ජයසුන්දර (මීටර් 400), තරුෂි කරුණාරත්න (මීටර් 400) සහ ජයේෂි උත්තරා (මීටර් 400) කනිෂ්ඨ ලෝක ශූරතා තරගාවලියට සුදුසුකම් සපුරා ගත් සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන් වනවා.

මීටර් 400 කඩුලු මතින් දිවීමේ පිරිමි ප්‍රථම ස්ථානය දිනා ගත්තේ එන්. ඩී. කේ. විදුරංග විසිනුයි. ඔහු දැක්වූ දක්ෂතාවය තත්පර 52.26ක්.

තියුණු අවසානයක් සමඟින් මීටර් 800 කාන්තා ඉසව්වේ ජයග්‍රහණය වාර්තා කරන්නට තරුෂි කරුණාරත්න සමත් වුනේ ඩිල්ෂි කුමාරසිංහ දෙවැනි ස්ථානයට ඇද දමමිනුයි. ඔවුන් දෙදෙනා වාර්තා කළ කාලය පිළිවෙළින් මිනිත්තු 2.06.99ක් සහ 2.07.00ක් ලෙසයි.

මීටර් 800 පිරිමි ඉසව්වේ ජය හිමි වුනේ බී. එන්. ඩී. බුලුගහපිටිය හටයි. ඔහු දැක්වූ දක්ෂතාවය සටහන් වුනේ මිනිත්තු 1:53.04ක් ලෙසයි. ඔහුගේ සොහොයුරා වන බී. එස්. ආර්. ටී. බුලුගහපිටිය මිනිත්තු 1:53.16කින් ඉසව්ව අවසන් කරමින් දෙවැනි ස්ථානය දිනා ගත්තා.

දිනයේ වේගවත්ම ඉසව්ව වූ මීටර් 200 කාන්තා සහ පිරිමි ඉසව් ජයග්‍රහණය කරන්නට මේධානි ජයමාන්න (22.26) සහ මොහොමඩ් සෆාන් (21.19) සමත් වුනා. මීටර් 110 කඩුලු මතින් දිවීමේ ඉසව්ව ජයග්‍රහණය කරන්නට ලක්ෂිකා සුගන්ධි සමත් වුනේ තත්පර 13.71ක

කාලයකින් ඉසව්ව අවසන් කරමිනුයි. එහි පිරිමි ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගත්තේ කේ. ඩී. ඩී. ආරියරත්න විසිනුයි. ඔහු දැක්වූ කාලය සටහන් වුනේ තත්පර 14.79ක් ලෙසයි.

>> තරගාවලියේ සම්පූර්ණ ලකුණු සටහන <<

දිනයේ පැවති අනෙකුත් අවසන් තරගවල දී කවපෙත්ත විසිකිරීම – කාන්තා එන්. එල්. පී. කේ. පතිරණ (මීටර් 43.38), තුන් පිම්ම කාන්තා – කේ. ඒ. ඒ. සෙව්වන්දි (මීටර් 12.53), හෙල්ල විසිකිරීම කාන්තා – නදීෂා ලේකම්ගේ (මීටර් 52.93), යගුලිය විසිකිරීම පිරිමි – ඩබ්. එස්. එම්. ප්‍රනාන්දු (මීටර් 16.65), මිටිය විසිකිරීම කාන්තා – එච්. ඒ. ඒ. ලක්ෂිකා (මීටර් 44.56), දුර පැනීම පිරිමි – ග්‍රේෂාන් ධනංජය (මීටර් 7.57), මීටර් 3000 බාධක පිරිමි – යූ. බී. හේරත් (මිනිත්තු 9:07.42), මීටර් 3000 බාධක කාන්තා – උදය කුමාරි (මිනිත්තු 11:41.41) , මීටර් 5000 පිරිමි – එම්. යූ. කුමාර (මිනිත්තු 15:00.29) සහ මීටර් 10000 කාන්තා – එල්. ආරියදාස (මිනිත්තු 36:50.21) යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රථම ස්ථාන දිනා ගන්නට සමත් වුනා.

අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබුණු 4×400 කාන්තා සහ පිරිමි ඉසව් නොපැවැත්වූ අතර ඒත් සමඟින් ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සුදුස්සන් සොයා යන තේරීම් තරග මාලාවේ දෙවැනි අදියර දියගම දී සාර්ථකව නිමාවට පත්වනවා.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<