අරුණ සහ තරුෂි 400m දිනද්දී 100m ආධිපත්‍ය රුමේෂිකා සහ යෝධසිංහට

දෙවැනි ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලිය 2022

338
National Athletics

ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සුදුස්සන් සොයා යන තේරීම් තරග මාලාවේ දෙවැනි අදියර අද (10) දියගම දී ආරම්භ වුනා. තරගාවලියේ පළමු අවසන් වන විට තරග වාර්තා කිසිවක් අලුත් නොවූ නමුත් උණුසුම් ඉසව් කිහිපයක් දැකබලා ගන්නට අවස්ථාව හිමි වුනා.

සවස් වරුවේ පැවති කෙටිදුර ධාවන තරග ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර මීටර් 100 ජාතික ශූරිය වන අමාෂා ද සිල්වා මිලිතත්පර ගණනකින් පරාජය කරමින් මීටර් 100 ප්‍රථම ස්ථානය දිනා ගන්නට රුමේෂිකා රත්නායක සමත් වුනා. ඔවුන් දෙදෙනාම වාර්තා කළ කාලය සටහන් වුනේ තත්පර 11.84ක් ලෙසයි.

මීටර් 100 පිරිමි ඉසව්ව ද උණුසුම් මුහුණු වරක් ගත්තේ ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරන චමෝද් යෝධසිංහ තත්පර 10.65ක කාලයක් සමඟින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමත් සමඟයි. ඉසව්වේ දෙවැනි ස්ථානය චානුක ධර්මකීර්ති (10.87) විසින් දිනා ගනිද්දී මීටර් 100 ජනප්‍රිය ක්‍රීඩකයෙකු වන මොහොමඩ් සෆාන් (10.94) තෙවැනි ස්ථානය දිනා ගත්තා.

ඉන්පසුව පැවති මීටර් 400 ඉසව්ව ද උණුසුම් ඉසව්වක් බවට පත්වුනා. මීටර් 400 ඉසව්වේ හිටපු ජාතික ශූරිය වන නදීෂා රාමනායක දෙවැනි ස්ථානයට ඇද දමමින් ප්‍රථම ස්ථානය දිනා ගන්නට තරුෂි කරුණාරත්න සමත් වුනා.

තත්පර 54.29කින් ඇය ප්‍රථම ස්ථානය දිනා ගනිද්දී, නදීෂා වාර්තා කළ කාලය සටහන් වුනේ තත්පර 54.88ක් වශයෙනුයි. මීටර් 400 මූලික ඉසව්වල දී තරුෂි දැක්වූ තත්පර 54.36ක දක්ෂතාවයත් සමඟින් කනිෂ්ඨ ලෝක ශූරතාවය සඳහා සුදුසුකම් ලබා ගන්නට ඇය සමත් වීම ද විශේෂත්වයක්.

කලක් මලල ක්‍රීඩා පිටියේ හොඳින් දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෙකු වන අරුණ දර්ශන පසුකාලීන ආබාධ සමඟින් ක්‍රීඩා පිටියෙන් ඉවත්ව සිටියත් මේ වන විට ඔහු නැවතත් සිය සුපුරුදු රිද්මය ලබා ගන්නට සමත් වී සිටිනවා. එය සනාථ කරමින් මීටර් 400 ඉසව්ව තත්පර 46.37කින් අවසන් කරන්නට ඔහු සමත් වුනේ ඉසව්වේ ප්‍රථම ස්ථානය සඳහා හිමිකම් කියමිනුයි.

දිනයේ ඉසව් ආරම්භ කරමින් පැවති මීටර් 10,000 පිරිමි දිගුදුර ඉසව්වේ ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කරන්නට මිනිත්තු 31:39.04ක කාලයක් වාර්තා කළ යුද හමුදා ක්‍රීඩක ඩබ්. වී. එම්. යූ. කුමාර සමත් වුනා.

>> තරගාවලියේ පළමු දිනයේ සම්පූර්ණ ලකුණු වාර්තාව <<

මීටර් 5000 කාන්තා ඉසව්ව නියෝජනය කළ චාමිනි මදුෂානි හේරත් විසින් ඉසව්වේ ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කරන්නට සමත් වුනේ මිනිත්තු 17:44.83ක දක්ෂතාවයක් වාර්තා කරමිනුයි. ඇය නිමා වූ 99 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ කාන්තා මීටර් 10,000 ඉසව්වේ ජාතික කිරුළ දිනා ගන්නට ද සමත් වූ දක්ෂ ක්‍රීඩිකාවක්.

මීටර් 1500 කාන්තා ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගන්නට කේ. ජී. එන්. එම්. ඒ. කුමාරි සමත් වුනේ මිනිත්තු 4:42.72ක කාලයක් වාර්තා කරමිනුයි. ඇය ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය ක්‍රීඩිකාවක්.

මීටර් 1500 පිරිමි ඉසව්ව ද අද උදෑසන නිමාවට පත් වූ අතර එහි දී මිනිත්තු 3:58.5කින් ඉසව්ව අවසන් කළ යුද හමුදා ක්‍රීඩක සංජීව ලක්මාල් විසින් ප්‍රථම ස්ථානය දිනා ගන්නට සමත් වුනා.

යගුලිය දැමීම කාන්තා ඉසව් ද අද පැවති අතර එහි දී මීටර් 13.49ක දක්ෂාතවයක් වාර්තා කළ ගුවන් හමුදා ක්‍රීඩිකා ඩබ්. ටී. කේ. ප්‍රනාන්දු ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කරන්නට සමත් වුනා.

හෙල්ල විසිකිරීම පිරිමි අවසන් ඉසව්ව ජය ගන්නට ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරන සුමේද රණසිංහට හැකි වුනේ මීටර් 81.79ක දක්ෂතාවයක් වාර්තා කරමිනුයි.

පුරා දින දෙකක් දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී තරගාවලිය පැවැත්වෙන අතර තරගාවලියේ දෙවැනි දිනයේ කාලසටහන පහත පරිදි වේ.

දෙවැනි දිනයේ තොරතුරු ද ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<