පේරාදෙණිය හා මොරටුව හමුවේ යාපනය හා ඌව වෙල්ලස්ස අන්ත අසරණ වේ

582

අන්තර් විශ්ව විද්‍යාලය රග්බි තරගාවලියේ තෙවැනි හා සිව්වැනි අර්ධ අවසන් පූර්ව තරග ඊයේ (26) කොළඹ විශ්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා. පළමු තරගයේ දී යාපනය විශ්ව විද්‍යාලය ලකුණු 60-00ක් ලෙස පරාජය කළ මොරටුව විශ්ව විද්‍යාලය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබද්දී, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයට ලකුණු 78-03ක් ලෙස දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලය ද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.

ජ’පුරේ ජයග්‍රහණය ගෝල කණුව අවහිර කරද්දී කොළඹට පහසු ජයක්

2018 අන්තර් විශ්ව විද්‍යාල රග්බි ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව තරග අද (25) කොළඹ විශ්ව …

මොරටුවෙන් යාපනයට ප්‍රහාරයක්

යාපනය විශ්ව විද්‍යාලයට කිසිදු අවස්ථාවක් ලබා නොදෙමින් උත්සාහක දිනුම් දහයකින් යාපනය නහවන්නට මොරටුව ක්‍රීඩකයින් සමත් වුනා.

තරගය ආරම්භයේම තුන්වැනි මිනිත්තුවේ දී එන්. සී මාබුලගේ මොරටුව වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර වීරකෝන් එහි ප්‍රවර්තනය අලංකාර ලෙස සාර්ථක කරගැනීමට සමත් වුනා. (මොරටුව 07-00 යාපනය)

ඊට මිනිත්තු දෙකකට පසුව යාපනය කණ්ඩායමට දඬුවම් පහරක් හිමි වුනත් ඩී. එම්. දිසානායක එම දඬුවම් පහර සාර්ථක කර ගැනීමට සමත් වූයේ නැත.

අනතුරුව ඉතා කෙටි කාලසීමාවක් ඇතුලත යාපනය ක්‍රීඩකයින්ට කහ කාඩ්පත් දෙකක් හා රතු කාඩ්පතක් ලබා දීමට විනිසුරු තීරණය කළ අතර ක්‍රීඩකයින් තිදෙනෙකු අහිමි වීම නිසා වේගවත් මොරටු ක්‍රීඩකයින් හමුවේ යාපනය ක්‍රීඩකයින් දැඩි පීඩනයකට ලක්විය.

ලද වාසියෙන් උපරිම ප්‍රයෝජන ගත් මොරටු කණ්ඩායම වෙනුවෙන් වීරකෝන් උත්සාහක දිනුමක් රැස් කළ අතර එහි ප්‍රවර්තන ඔහු විසින්ම සාර්ථක කරගන්නා ලදි. පසුව 13 වන මිනිත්තුවේ දී වී. ඩබ්ලිව්. ගුණවර්ධන උත්සාහක දිනුමක් රැස් කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට වීරකෝන් සමත් වූයේ නැත. (මොරටුව 19-00 යාපනය)

Lineout අවස්ථාවකින් පන්දුව ලබාගත් මොරටු ක්‍රීඩකයෝ සිව්වැනි වරටත් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගිය අතර නොම්මර අට ක්‍රීඩක එච්. එන්. ආරච්චි මෙම උත්සාහක දිනුමට හිමිකම් කියන ලදි. මාබුලගේ එහි ප්‍රවර්තනය සාර්ථක කරගන්නා ලදි. (මොරටුව 26-00 යාපනය)

කොළඹ හා ජ’පුර විශ්ව විද්‍යාල රග්බි පිටිය දෙවනත් කරයි

ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාල තුල අධ්‍යාපනය ලබන සිසුන්ගේ සැඟවුණු දක්ෂතා වර්ධනය කිරීමේ …

පළමු අර්ධය අවසානයට මිනිත්තු කිහිපයකට පෙර ඒ. වී. වීරකෝන් තවත් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර මාබුලගේ එහි ප්‍රවර්තනය සාර්ථක කරගන්නා ලදි. (මොරටුව 31-00 යාපනය)

පළමු අර්ධය: මොරටුව විශ්ව විද්‍යාලය 31-00 යාපනය විශ්ව විද්‍යාලය

දෙවන අර්ධය ආරම්භයේ දී යාපනය ක්‍රීඩකයින් මොරටුව ක්‍රීඩකයින්ට ප්‍රබල පීඩනයක් එල්ල කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මිනිත්තු කිහිපයක් ඔවුන් තමන් සතුව පන්දුව රඳවා ගනිමින් උත්සාහක දිනුමක් කරා සිය ඉදිරිපෙළ ක්‍රීඩකයින් මෙහෙයවූවද ප්‍රබල මොරටු ක්‍රීඩකයෝ ඔවුන්ට රිංගා යාමට කිසිදු ඉඩක් ඉතිරි කළේ නැත.  

දෙවන අර්ධය ආරම්භයෙන් මිනිත්තු කිහිපයකට පසු දිනුක් දුල්ශාන් මොරටුව වෙනුවෙන් නැවත වරක් ධවල රේඛාව ඉක්මවා ගිය අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට මාබුලගේ සමත් විය. (මොරටුව 38-00 යාපනය)

ඊට මිනිත්තු පහකට පමණ පසු පලිහදාරු මොරටුව වෙනුවෙන් හත්වැනි උත්සාහක දිනුම වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය ද මාබුලගේ සමත් විය. (මොරටුව 45-00 යාපනය)

අනතුරුව ඉතා කෙටි කාල පරාසයක් ඇතුලත තවත් උත්සාහක දිනුම් දෙකක් වාර්තා වූ අතර දිනුක් දෙවන වතාවටත් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යද්දී ඩී. පී. අතපත්තු සිය පළමු උත්සාහක දිනුම වාර්තා කළේය. ප්‍රවර්තන දෙකම සාර්ථක කර ගැනීමට මොරටුව ක්‍රීඩකයින් සමත් වූයේ නැත. (55-00)

අනතුරුව තරගය අවසානයට මිනිත්තු කිහිපයක් තිබිය දී එම්. එස්. මදුරංග අවසන් මොරටු උත්සාහක දිනුම වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක නොවූවත් මොරටු කණ්ඩායමට දැවැන්ත ජයක් හිමි විය.

අවසන් ලකුණු තත්වය: මොරටුව විශ්ව විද්‍යාලය  60 (10T, 5C) -00 යාපනය විශ්ව විද්‍යාලය

ලකුණු ලබාගත් ක්‍රීඩකයෝ

  • මොරටුව විශ්ව විද්‍යාලය – එන්. සී මාබුලගේ (1T, 3C), ඒ. වී වීරකෝන් (2T, 2C), වී. ඩබ්ලිව් ගුණවර්ධන (1T), එච්. එන් ආරච්චි (1T), දිනුක් දුල්ශාන් (2T), පලිහදාරු (1T), ඩි. පී අතපත්තු (1T), එම්. එස් මදුරංග (1T)

පේරා ලයන්ස් කුණාටුවෙන් ඌව වෙල්ලස්ස සුනුවිසුනු වේ

දිනයේ දෙවන තරගයේ දී පේරාදෙණිය විශ්ව විද්‍යාලය හා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය තරග වැදුණු අතර වෙල්ලස්ස ක්‍රීඩකයින් අන්ත අසරණ කරමින් ලකුණු 78-03ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට පේරාදෙණිය ක්‍රීඩකයින් සමත් විය.

තරගය ආරම්භයෙන් මිනිත්තුවක් ගත වීමට පෙර ඩී. බී. ආරියරත්න පේරාදෙණිය කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගියේ ඌව ක්‍රීඩකයින් මවිත කරමිනි. ඉසුරු උපේක්ෂ එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි. (පේරාදෙණිය 07-00 ඌව)

අනතුරුව පේරාදෙණියේ උත්සාහක දිනුම් වර්ෂාව ආරම්භ වූ අතර පළමු අර්ධය අවසානයට පෙර තවත් උත්සාහක දිනුම් හතක් වාර්තා වූයේ ඌව ක්‍රීඩකයින්ට කිසිදු විවේකයක් ලබා නොදීය.

එල්. කුලසිංහ දසවැනි මිනිත්තුවේ දී පේරාදෙණිය වෙනුවෙන් දෙවන උත්සාහක දිනුම වාර්තා කළ අතර ඒ. එන්. ජයතිලක ද තෙවැනි පේරාදෙණි උත්සාහක දිනුම සඳහා ධවල රේඛාව ඉක්මවා ගියේය. ඉසුරු ප්‍රවර්තන දෙකම සාර්ථක කරගන්නා ලදි. (පේරාදෙණිය 21-00 ඌව)

ආරියරත්න සිය දෙවන උත්සාහක දිනුම සඳහා නැවත වතාවක් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගිය අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ඔවුන්ට නොහැකි විය. (පේරාදෙණිය 26-00 ඌව)

අන්තර් විශ්ව විද්‍යාලයීය සත් සාමාජික රග්බි ජය ICBTට

ICBT විශ්ව විද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන අන්තර් විශ්ව විද්‍යාලයීය සත් සාමාජික රග්බි …

පේරාදෙණිය ක්‍රීඩකයින්ගේ වේගය හමුවේ ඌව ක්‍රීඩකයින්ගේ කිසිදු උපක්‍රමයක් සාර්ථක නොවූ අතර ජයතිලක දෙවන උත්සාහක දිනුම රැස් කරගද්දී ඉසුරු උපේක්ෂ ද තවත් උත්සාහක දිනුමක් වාර්තා කළේ එම ප්‍රවර්තන දෙකම සාර්ථක කරගනිමිනි. (පේරාදෙණිය 40-00 ඌව)

පළමු අර්ධය සම්පූර්ණයෙන් සත් සාමාජික තරගයක ස්වභාවය ඉසිලූ අතර පේරාදෙණියේ ක්‍රීඩකයින් පීඩනයකින් තොරව නිදහසේ පන්දුව හුවමාරු කරමින් ධාවනයේ යෙදෙනු දක්නට ලැබුණි.

පළමු අර්ධය අවසානයට පෙර ඒ. එන්. ජයතිලක සිය උත්සාහක දිනුම් ත්‍රිත්වය වාර්තා කර ගත් අතර ඉසුරු උපේක්ෂ ද සිය දෙවන උත්සාහක දිනුම වාර්තා කළේ එම ප්‍රවර්තන දෙකත් සාර්ථක කරගනිමිනි. (පේරාදෙණිය 54-00 ඌව)

පළමු අර්ධය: පේරාදෙණිය විශ්ව විද්‍යාලය 54-00 ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය

දෙවන අර්ධය ආරම්භයත් සමග පේරාදෙණිය ක්‍රීඩකයින් නැවත වැඩ ඇරඹූ අතර එච්. ඩී. අබේගුණවර්ධනගේ උත්සාහක දිනුම කොඩිතුවක්කු විසින් ප්‍රවර්තනය කරන ලදි. (පේරාදෙණිය 61-00 ඌව)

දිනය පුරා විශිෂ්ට ලෙස ක්‍රීඩා කළ ඒ. එන් ජයතිලක සිය සිව්වැනි උත්සාහක දිනුම සඳහා ධවල රේඛාව ඉක්මවා ගිය අතර කොඩිතුවක්කු එහි ප්‍රවර්තනය සාර්ථක කරගන්නා ලදි. (පේරාදෙණිය 66-00 ඌව)

අනතුරුව කොඩිතුවක්කු පේරාදෙණිය වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් වාර්තා කරද්දී පළමු වරට ඌව කණ්ඩායම වෙනුවෙන් දඬුවම් පහරක් මගින් ලකුණු රැස් කරන්නට මදුශාන් රණවීර සමත් විය. (පේරාදෙණිය 71-03 ඌව)

තරගය අවසානයට සුළු මොහොතකට පෙර ඩී. එස්. පී. අමරසේකර අවසන් පේරාදෙණි උත්සාහක දිනුම වාර්තා කළ අතර කොඩිතුවක්කු විනිසුරුගේ නලා නාදයත් සමඟ අමතර ලකුණු එකතු කිරීමට සමත් විය.

අවසන් ලකුණු තත්වය: පේරාදෙණිය විශ්ව විද්‍යාලය 78 (12T, 9C) – 03 (3P) ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

  • පේරාදෙණිය විශ්ව විද්‍යාලය – බී. ආරියරත්න (2T), ඉසුරු උපේක්ෂ (2T, 7C), එල්. කුලසිංහ (1T), ඒ. එන් ජයතිලක (4T), එච්. ඩි අබේගුණවර්ධන (1T), කොඩිතුවක්කු (1T, 2C), ඩි. එස්. පී අමරසේකර (1T)   
  • ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය – මධුශාන් රණවීර (1P)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<