මතීෂව රැකගන්න දෝණිගෙන් උපදෙස්!

IPL 2023

552

ඊයේ (06) Mumbai Indians සමඟ පැවති IPL තරගයේ දී Chennai Super Kings කණ්ඩායමට එරෙහිව විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මතීෂ පතිරණ පිළිබඳව ඔහුගේ නායක MS Dhoni විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

Mumbai Indians කණ්ඩායමට එරෙහිව කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගැනීමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් MS Dhoni පවසා සිටියේ, මතීෂව රතු පන්දුවෙන් (ටෙස්ට් ක්‍රිකට් තරගවලින්) හැකි තරම් ඈත් කර තැබිය යුතු බවයි.

“ඔහු ගොඩක් ටෙස්ට් තරග ක්‍රීඩා නොකළ යුතු කෙනෙක් කියලයි මම නම් පෞද්ගලිකව හිතන්නේ. මම හිතන්නේ ඔහු ඒකට (රතු පන්දුවට) ළං වෙන්නවත් හොඳ නෑ. සුදු පන්දුවෙන් පවා ඔහු පන්දුවාර 50 ආකෘතියේ තරග හැකි තරම් අඩුවෙන් ක්‍රීඩා කළ යුතුයි.”

ඔහුගේ පන්දු යැවීමේ ආකෘතියේ විශාල වෙනස්කම් නොවන බැවින් ඔහුව තීරණාත්මක අවස්ථාවල දී පමණක් භාවිත කළ යුතු බවයි Dhoni විසින් විශ්වාස කරන්නේ.

2022 වසරේ පැවැත්වුණු IPL ක්‍රීඩක වෙන්දේසියේ දී මතීෂ මුලින් ම වෙන්දේසි නොවූ නමුත්, පසුව Chennai Super Kings විසින් තෝරා ගෙන සිටි Adam Milneට ඇති වූ ආබාධ තත්වයක් නිසා චෙන්නායි විසින් මතීෂව සිය කණ්ඩායමට එක් කර ගත්තා. එමෙන් ම එවර තරග වාරයේ දී තරග දෙකක් පමණක් ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා කර ගත් මතීෂ කඩුලු 2ක් ද දවා ගැනීමට සමත් වුනා.

” ICC තරගාවලි වෙනුවෙන් ඔහු හොඳ ශරීර යෝග්‍යතාවකින් තබා ගැනීමට වග බලා ගන්න.

ඔහු ශ්‍රී ලංකාවට විශාල සම්පතක් වේවි!

අමතක කරන්න එපා ඔහු ගොඩක් තරුණ කොල්ලෙක්. ඔහු මෙහේ ආව අවසාන වතාවේ දී (2022 දී) තරමක් කෙට්ටුයි. නමුත් දැන් ඔහු ඊට වඩා ශක්තිමත් වෙලා. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ලොකු කාලයක් පුරාවට සේවය ලබා දේවි කියලා මට හිතෙනවා. නමුත් ඔහු කොපමණ පන්දු යවනවා ද කියලා අපි ඇහැ ගහ ගෙන සිටිය යුතුයි.”

Dhoni විසින් මතීෂව විශේෂයෙන්ම භාවිත කරන්නේ ඕනෑම තරගයක අවසන් පන්දුවාර කිහිපය යොමු කිරීම සඳහායි. ඊයේ දිනයේ Dhoniගේ බලාපොරොත්තුවලට 100%ක සාධාරණයක් කිරීමට සමත් වූ මතීෂ සිය පන්දුවාර 4 තුල ලකුණු 15ක් පමණක් ලබා දී කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුනා. එමෙන් ම ඔහුට එරෙහිව ඊයේ එකඳු හතරේ පහරක් හෝ වාර්තා නොවීම ද විශේෂත්වයක්.

ඊට අමතරව මෙවර තරගාවලියේ මතීෂ පන්දුවාරයක් තුල ලකුණු ලබා දීම දල ලකුණු 7.60ක් වැනි අවම අගයක රඳවා තබා ගැනීමට ද සමත් වී තිබෙනවා. විශේෂයෙන්ම මෙවර තරගාවලියේ ඔහු යොමු කර ඇති පන්දුවාර 27.2 තුලින් 12 වැනි පන්දුවාරයට පෙර ඔහු යවා ඇත්තේ පන්දුවාර 4ක් පමණයි. එවැනි ක්‍රීඩකයෙකු ඉහත සඳහන් තරම් අඩු දල ලකුණු වේගයක් පවත්වා ගැනීම ම අතිශය විශේෂ දක්ෂතාවක්.

“පිතිකරුවන්ට මේ වගේ තරග ආකෘතිවල දී සාම්ප්‍රදායික පන්දු යැවීමේ ඉරියව්වක් නොමැති පන්දු යවන්නන්ට මුහුණ දීම තරමක් අපහසු දෙයක්. මේ කතාව ඔහුගේ ඉරියව්ව ගැන විතරයි, අපි ඔහුගේ පන්දු යැවීමේ වේගය, විවිධත්වය සහ ස්ථාවර බව ගැන කතා කලේ නැහැ. ඒ හැම දෙයකින් ම තමයි ඔහු විශේෂ වෙන්නේ.

වැදගත් ම දේ තමයි ඔහු කොපමණ ක්‍රිකට් ක්‍රීඩා කරනවා ද කියලා අවධානය යොමු කර ගෙන සිටීම.”

MS Dhoni ඒ අයුරින් මතීෂගේ අනාගතය පිළිබඳ සිය අදහස් පළ කරද්දී බොහෝ ක්‍රිකට් රසිකයින් විසින් මතීෂ ඊයේ දිනයේ දැක් වූ දක්ෂතා පිළිබඳ ඉතා උද්දාමයට පත් වී තිබෙනවා.

මේ එවැනි අදහස් කිහිපයක්,

” තරගයක අවසන් පන්දුවාර කිහිපය යවන පන්දු යවන්නෙකුට තහනම් පන්දු යැවීමක් මේ.

ඔහු මෙවර IPL තරගවාරයේ අවසන් පන්දුවාර වල අඩු ම ලකුණු ලබා දීමේ වේගයක් සහිත ව පන්දු යැවූ පන්දු යවන්නා වීම පුදුමයක් නෙවෙයි.

Purple Cap එක (වැඩි ම කඩුලු ලාභියා) Tushar Deshpandeගේ වෙන්න ඇති, නමුත් මේ තරුණ කොල්ලා තමයි CSK වෙනුවෙන් අසීරු ම පන්දුවාර යැවුවේ.”

” අප්‍රසිද්ධ මතයක්: අධි තක්සේරුවට ලක් කළ Jofra Archerට වඩා මතීෂ පතිරණ හොඳයි.”

මීට අමතරව IPL ඉතිහාසයේ විශිෂ්ටතම පන්දු යවන්නා ලෙස සැලකෙන ලසිත් මාලිංග විසින්, පොඩි මාලිංගව නැවත වරක් Twitter සටහනක් මඟින් මෙසේ අගය කිරීමට ලක් කර තිබුණා.

” මම මතීෂගෙන් අඛණ්ඩ දියුණුවක් දකිනවා.”

දිනෙන් දින උණුසුම් වන IPL තරගාවලියේ සියලු ම තරග සජීවී ව නැරඹීමේ අවස්ථාව ThePapare.com වෙතින් ඔබට හිමි වී තිබෙනවා, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<