‘ආචාරධර්ම’ සතයකට මායිම් නොකරන ඕස්ට්‍රේලියානුවා

616

අපිට නිතර ඇහෙන සහ ඇහුණ Roger Federer, Rafael Nadal, Novak Djokovic, Andy Murray වගේ ලෝ පතල ටෙනිස් ක්‍රීඩකයින් හැම කෙනෙකුටම අඩුම තරමේ වතාවක් හරි හිසරදයක් ඇති කරවන්න සමත් වුන නමුත් වැඩිය නම නොකියවෙන තවත් ටෙනිස් ක්‍රීඩකයෙක් ඉන්නවා.

ඔහුගේ නම Nick Kyrgios!

“ළමයි මේවා බලාගෙන ඉන්නවා මනුස්සයෝ. ඔවුන්ට මේවා ඇහෙන්න පුළුවන්. ක්‍රීඩාංගණය ඇතුළේ මයික් හයි කරලා තියෙන්නෙ. ඔබ මේවා ගැන හිතන්න ඕන.”

Nick Kyrgiosගේ මව්බිම වුනු ඕස්ට්‍රේලියාවම නියෝජනය කරමින් Wimbledon ටෙනිස් තරගාවලියක අවසන් මහා තරගයක් ක්‍රීඩා කරන්න 2003 වර්ෂයේ දී සමත් වුන Mark Philippoussis විසින් තමයි ඉහත ප්‍රකාශය සිදු කරන්නේ. ඔහු එතන දී ඉලක්ක කර ගන්නේ අපේ කතා නායකයා Nick Kyrgiosව.

එහෙම Nickව ඉලක්ක වෙන්න හේතුව තමයි ඊට පෙර Nick විසින් සහභාගී වුන ටෙනිස් තරගයක් අතරතුර ඔහු විසින් තරග විනිසුරුවරයෙක් සමඟ ඇති කර ගත්ත මත ගැටීමක්.

මේ සිද්ධිය Markගේ පැත්තෙන් බැලුවහම සෑහෙන්න වැරදි වැඩක් වුනත්, Nickගේ පැත්තෙන් බැලුවහම තරමක් සාමාන්‍ය සිදුවීමක්. මොකද ටෙනිස් තරග බිමේ දී Nick විසින් කරන්නෙම තරමක් මතභේදකාරී දේවල්.

Nick Kyrgios කියන කෙනා ජාත්‍යන්තර මට්ටමින් කතාබහට ලක් වෙන්න ප්‍රධානතම හේතු දෙකක් තියෙනවා.

එකක් තමයි ඉහත සඳහන් කළා වගේ ඔහු විසින් ක්‍රීඩා පිටියේ දී වගේම ඉන් පිටත දීත් සම්බන්ධ වෙන මතභේදකාරී සිදුවීම්.

අනෙක් හේතුව තමයි Nick Kyrgios කියන ක්‍රීඩකයාගේ ක්‍රීඩා රටාව.

Nick Kyrgios කියන්නේ කවදාවත් ටෙනිස් තරගයක් නොබලපු කෙනෙක්ව වුනත් ටෙනිස්වලට ආශක්ත කර ගන්න තරම් හැකියාවක් තියෙන ක්‍රීඩකයෙක්.

නමුත් Nick Kyrgios කියන්නේ ටෙනිස් ක්‍රීඩාව ඇතුළේ කැපී පෙනෙන දස්කම් පෙන්වපු අති දක්ෂයෙක් නම් නෙවෙයි.

Nick තමන්ගේ ක්‍රීඩා ජීවිතය ආරම්භ කරන්නේ 2012 වර්ෂයේ දී. එදා ඉඳන් මේ වෙද්දී Nickගේ වෘත්තීය ජීවිතය වසර එකොළහකට ආසන්න කාලයක් තිස්සේ දිවෙනවා. මේ කාලය ඇතුළත Nick ලබා ගත්තු විශිෂ්ටතම ජයග්‍රහණය විදිහට හඳුන්වලා දෙන්න පුළුවන් 2022 වසරේ Wimbledon තරගාවලියේ අවසන් මහා තරගය ක්‍රීඩා කරන්න ඔහුට අවස්ථාව හිමි වීම. නමුත් අවාසනාවන්ත විදිහට Nick එදා තරගය Novak Djokovic හමුවේ පරාජයට පත් වෙනවා.

වසර එකොළහක් පුරාවට ක්‍රීඩා කරපු Nickගේ තරග ජයග්‍රහණය කිරීමේ ප්‍රතිශතය දැක්වෙන්නේ 64.47%ක් විදිහට.

බැලූ බැල්මට ම හොඳයි කියලා කියන්න පුළුවන් වුනත්, ලෝක ප්‍රසිද්ධ මට්ටමේ ඉන්න ක්‍රීඩකයින් සමඟ සසඳද්දී (Roger Federer – 81.98%, Novak Djokovic – 83.48%) ඔහු ඉන්නේ සෑහෙන්න පහළින් බව ඔප්පු වෙනවා.

ඒ වගේම ටෙනිස් ක්‍රීඩාවෙ දී අපිට නිතරම ඇහෙන නම් හතරක් වෙන Roger Federer, Rafael Nadal, Novak Djokovic සහ Andy Murray කියන හතට දෙනා සමඟ Nickගේ තරග ප්‍රතිඵල මොන වගේ ද කියලත් සසඳලා බලමු.

Against Win Lost
Roger Federer 1 6
Rafael Nadal 3 6
Novak Djokovic 2 1
Andy Murray 1 6

මෙතැනින් පේන දෙයක් තමයි සමස්තයක් විදිහට Nick Kyrgios කියන්නේ මාතෘකාවක් වෙන්න තරම් නොවටිනා ක්‍රීඩකයෙක් බව.

ඒත් සංඛ්‍යා දත්ත කියන්නේ ක්‍රීඩකයෙක් ව මනින්න පුළුවන් හොඳම විදිහ නෙවෙයි!

ටෙනිස් වල දී නිතර පාවිච්චි වෙන වචනයක් තමයි Trick Shots කියන්නේ. Trick Shots කියන්නේ ටෙනිස් තරගයක දී ක්‍රීඩකයෙක්/ක්‍රීඩිකාවක් විසින් තමන්ගේ ප්‍රතිවාදියාගේ රිද්මය බිඳින්න පාවිච්චි කරන වෙනස් විදිහේ පහරවල්.

Nick Kyrgios කියන්නේ මේ විදිහේ Trick Shots වලට නම් දරාපු ක්‍රීඩකයෙක්.

  1. Underarm Serve –

මම හිතන විදිහට Nickව මුලු ලෝකය පුරා ජනප්‍රිය වෙන්න ප්‍රධානතම හේතුව වෙන්නේ මෙන්න මේ පන්දු පිරිනැමීමේ ක්‍රමය.

ටෙනිස් ක්‍රීඩාවේ සාමාන්‍ය සම්ප්‍රදාය තමයි පන්දුව ඉහළට විසි කරලා ඒ එක්කම තමන්ගේ හුරු අතින් ඒ පන්දුව ප්‍රතිවාදී ක්‍රීඩකයා වෙත පිරිනැමීම. නමුත් Underarm පිරිනැමීමේ දී අත බිමට ලං කරලා (සාමාන්‍ය පන්දුව පිරිනැමීමේ මූලික අවස්ථාව) කිසිම ඉඟියක් නොදී එක ක්ෂණයකින් ප්‍රතිවාදියාට පන්දුව පිරිනමනවා.

ඒ පිරිනැමීම් බොහෝමයක අවසන් ප්‍රතිඵලය වෙන්නේ කිසිම සූදානමක් නැතිව ඉන්න ප්‍රතිවාදී ක්‍රීඩකයා විශාල අපහසුතාවකට පත් වීම.

මේ පිරිනැමීම සමහරු සාර්ථකව සිදු කරද්දී තවත් සමහරු අසාර්ථක වෙනවා. නමුත් Nick කියන්නේ මේ පන්දු පිරිනැමීම ජීවිතයේ කොටසක් බවට කර ගත්තු කෙනෙක්.

  1. Tweener Underarm Serve

මේකත් අත යටින් කරන පිරිනැමීමක් ම තමයි, නමුත් මෙතන දී පන්දුව පිරිනමන ක්‍රීඩකයා මේ පිරිනැමීම සිදු කරන්නේ තමන්ගේ දෙපා අතරින්.

ටෙනිස් ක්‍රීඩාව පිළිබඳ විශාල අවබෝධයක් නැතිව මේක කියවන කෙනෙක් තරමක් වික්ෂිප්ත වෙන්නත් පුළුවන් ‘එහෙමත් කරන්න පුළුවන් ද? ‘කියලා.

ඒත් ඒ වගේ වෙලාවක ප්‍රතිවාදී අන්තයේ ඉන්න ක්‍රීඩකයින් පවා පුදුමයට විතරක් නෙවෙයි කෝපයටත් පත් වෙන්නේ ඒ සිතිවිල්ලෙන් ම තමයි. ඒ නිසා කියවන ඔබේ පුදුමය සාමාන්‍ය දෙයක්!

3.Drop shot

පන්දුවට එල්ල කරන පහරේ වේගය හිටි ගමන්ම අඩාල කරනවා. මෙතන දී සාමාන්‍ය වේගයෙන් යුතුව පහර එල්ල කරන බව පේන්න තිබුනත්, ක්‍රීඩකයා කිසිම ඉඟියක් නොදී ඒ පහරේ වේගය අඩාල කරන්න සමත් වෙනවා.

  1. The no look shot

තරගය අතර මැද දී තමන් වෙත එන පන්දුව දෙස නොබලා ප්‍රතිවාදියාට නැවත පන්දුව භාර කරනවා. මේ පහරෙන් ප්‍රතිවාදී ක්‍රීඩකයා සෑහෙන්න තරමකට අන්ද මන්ද කරවන්න පුළුවන්.

5.The Fake Underarm Serve

Underarm පිරිනැමීමක් සිදු කරන්න උත්සාහ කරන බව පෙන්වනවා, නමුත් එතන දී ක්‍රීඩකයා සිදු කරන්නේ සාමාන්‍ය පිරිනැමීමක්.

මේකත් Nick විසින් තමන්ගේ ප්‍රතිවාදීන් ව පොඩ්ඩක් කලබල කරන්න පාවිච්චි කරන උපක්‍රමයක්.

මීට අමතරව වේගවත් පන්දු පිරිනැමීම්, වේගවත් ප්‍රහාර, ඒ වේගයට කිසි සේත්ම නොගැළපෙන වේගය අඩාල කළ පහරවල් වගේ සෑහෙන්න පහර සංකලනයක් Nick ක්‍රීඩා කරද්දී අපිට දකින්න ලැබෙනවා.

Nick Kyrgiosගේ Tweener Underarm පහර

මේ වගේ වෙනස් විදිහේ දේවල් කරන එකම කෙනා Nick නෙවෙයි, ඉහත සඳහන් කරපු Trick Shots බොහෝ ක්‍රීඩකයින් විසින් භාවිතා කරනවා. නමුත් Nick ඒ අතරින් විශේෂයෙන්ම කැපිලා පෙන්න හේතුව ඔහු විෂයයේ ප්‍රවීණයෙක් වීම.

මේ හැම දෙයක්ම නිසා Nick Kyrgios සමඟ ටෙනිස් තරගයක් ක්‍රීඩා කිරීම ඕනෑම ක්‍රීඩකයෙකුට තරමක් අපහසු කාරණයක්. ඒ වගේම Nick කියන්නේ සාමාන්‍යයෙන් ක්‍රීඩාව තුල ක්‍රීඩකයෙක් සතු විය යුතු යැයි අපේක්ෂා කරන “ආචාරධර්ම” දශමයකට මායිම් කරන කෙනෙකුත් නෙවෙයි.

“මම ටෙනිස් ක්‍රීඩාවට ඒ තරම්ම කැමති නැහැ. මම ඒකට ආදරය කරන්නේ නැහැ.

මගේ පළමු ආදරය ඇති වුනේ පැසිපන්දු වලට. ඒත් මට මගේ ඒ හීනේ හඹා ගෙන යන්න බැරි වුනා.”

තමන් ටෙනිස් ක්‍රීඩාවට යොමු වුනේ දෙමාපියන්ගේ තල්ලුව නිසා බව කියන Nick තව දුරටත් කියන්නේ ටෙනිස් ක්‍රීඩාව ඇතුළේ දේවල් සිද්ධ වෙන විදිහ තමන්ට තවමත් වටහා ගන්න බැරි බවයි.

බොහෝ ටෙනිස් ක්‍රීඩාවේ ප්‍රවීණයින්ගේ අදහස් අනුව Nick Kyrgios කියන්නේ තමන්ගේ දක්ෂතාවලින් හරි හැටි වැඩක් නොගන්න කෙනෙක්. ඔහු ටෙනිස් ක්‍රීඩාවට මුල පුරපු කාලයේ පටන්ම ඔහුගේ ශක්‍යතාව සමඟ ලොකු දුරක් යන්න පුළුවන් බව බොහෝ දෙනෙක් අනුමාන කළත් Nickට ඒ වෙනුවෙන් කිසිම අවශ්‍යතාවක් ඇති බව පෙනුණේ නැහැ.

තමන් ටෙනිස් ක්‍රීඩාවට ආදරය නොකරනවා කියලා Nick විසින්ම උලුප්පා දක්වන්නේ ඒ බව බාහිර සමාජයටත් අවබෝධ කරවන්න වගේ.

Nick Kyrgios විසින් තරගය අතරතුර සිය කෝපය පිට කරන අවස්ථාවක්

ඒ වගේම කාලයෙන් කාලයට කෙටි කාල සීමා සඳහා පුහුණුකරුවන් සමඟ වැඩ කරපු Nick විසින් වැඩි කාලයක් ක්‍රීඩාවේ යෙදුණේ කිසිම පුහුණුකරුවෙක් නැතිව.

“මම හිතන්නේ නැහැ ඔබට පුහුණුකරුවෙක් අවශ්‍යයි කියලා. නමුත් ඔබ වටේ හොඳ මිනිස්සු පිරිසක් සිටිය යුතුයි. මට පහර එල්ල කරන විදි කියලා දෙන්න කවුරුවත් අවශ්‍ය වෙන්නේ නැහැ. මම දන්නවා ඒක කරන්න ඕන කොහොමද කියලා.

මම කවදාවත් කාටවත් බරක් වෙන්නේ නැහැ. මට හිතෙන්නේ මගේ ටෙනිස් ගැන මම තරම් හොඳට වෙන කවුරුත්ම දන්නේ නැහැ කියලා.”

කිසිම පුහුණුකරුවෙක් නැතුව ඔහුට පසුගිය වසරේ Wimbledon අවසන් මහා තරගය වෙන තෙක් යන්න හැකි වීමෙන් පස්සේ ඔහුගේ මේ අදහස් තවත් වැඩි දියුණු වෙන්න ඇති.

Nick දිහා පිටත ඉඳන් බලන කෙනෙකුට මුලින් ම වැටහෙන දෙයක් තමයි ඔහු ලොකු Ego* එකක් සමඟ ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක් බව.

(Ego* = මමත්වය/ ආත්මාභිමානී හැඟීම්)

“මම හිතන්නේ ඔහුට අවධානය දිනා ගැනීමේ ආශාවක් තියෙනවා. ඔහුටත් අවශ්‍ය Federer වගේ වෙන්න. මම නම් ඒවා ගණන් ගන්නේ නැහැ.

ඔහුගේ ජයග්‍රහණය සැමරීමේ විදිහ හරිම අවුල් සහගතයි. එයා මොන තරම් Grand Slams දිනලා තිබ්බත් මට නම් ඔහු අති විශිෂ්ටයෙක් නෙවෙයි.”

Nick Kyrgios සහ Novak Djokovic 2022 Wimbledon අවසන් මහා තරගය අතරතුර

Nick Kyrgios මෙහෙම කියන්නේ වත්මන් ටෙනිස් පිටියේ ප්‍රබලතම ක්‍රීඩකයෙක් විදිහට සැලකෙන Novak Djokovic ගැන. Nick විසින් මේ ප්‍රකාශය සිදු කරද්දී ඔහුට Novak මුණ ගැහිලා තිබුණු අවස්ථා දෙකේ දීම Novakව පරාජය කරන්න ඔහු සමත් වෙලා තිබුණා.

තමන්ව පරාජය කර ගන්නවත් බැරි කෙනෙක් ගැන මහා ඉහළින් වර්ණනා කරන්න අවශ්‍ය නැහැ කියලයි Nick කියන්නේ.

Nick විසින් මේ වගේ ප්‍රකාශ සෑහෙන්න ප්‍රමාණයක් සිදු කරලා තියෙනවා. විශේෂයෙන්ම තවත් ටෙනිස් විශිෂ්ටයෙක් වෙන Rafael Nadal පිළිබවඳවත් ඔහු මෙවැනිම උණුසුම් ප්‍රකාශයක් කරනවා.

තමන් අතින් පරාජය වීම Nadalට දරා ගන්න බැරි දෙයක් බවත්, එහෙම පරාජය වුන Nadal විසින් ඔහේ කියවන බවත් Nick ප්‍රකාශ කරනවා.

කවුරු ටෙනිස් ක්‍රීඩාවේ විශිෂ්ටයෙක් වුනත් තමන්ගේ වපසරිය ඇතුළේ ඒ හැමදෙනාවම සාමාන්‍ය චරිත බවට පත් කර ගන්න Nickගේ මානසිකත්වයට එහෙමත් නැත්නම් අර මුලින් සඳහන් කළ Ego එකට පුළුවන් වෙනවා.

සමහර විට ලෝකයේ ප්‍රබල යැයි සම්මත බොහෝ ක්‍රීඩකයින්ට එරෙහිව Nick විසින් ලොකු තර්ජනයක් එල්ල කරන්න මේ සිතිවිලි ලොකු හේතුවක් වෙන්නත් ඉඩ තියෙනවා.

Nick Kyrgios කියන්නේ ක්‍රීඩාවෙන් පිටතත් ක්‍රීඩාවේ තරම්ම කතා මවපු චරිතයක්. වරක් ඔහුගේ පෙම්වතියකට පහර දීමේ චෝදනාවක් නිසා ඔහුට උසාවියේ පෙනී සිටින්න වෙනවා.

එතන දී ඔහුට දඬුවම් නියම නොවුනත්, Nick විසින් පසුව සිය වරද පිළිගත්තා. ඔහු පසුව ඒ ගැන විශේෂයෙන්ම කියපු දෙයක් තමයි තමන්ගේ මානසික සෞඛ්‍ය ඒ තරම්ම හොඳ මට්ටමක නැති බව.

මීට අමතරව කොරෝනා වයිරසය උත්සන්න වුන කාලයක දී නිරෝධායන නීති බිඳිමින් හැසිරීම, අධික වේගයෙන් රියදුරු බලපත්‍ර නැතිව රිය පැදවීම, අධික කාන්තා ඇසුර සහ මත් ද්‍රව්‍ය (මර්ජුවානා) භාවිතය වගේ දේවල් නිසාත් Nick Kyrgios කියන නම කාලයක් තිස්සේම වරින් වර කතාබහට ලක් වුනා.

ඒ වගේම ක්‍රීඩා පිටිය තුල දී විනිසුරුවරුන්ට බැන වැදීම, ප්‍රේක්ෂකයින්ට බැන වැදීම්, ක්‍රීඩා පිටිය තුලට යම් යම් දෑ විසි කිරීම් වැනි සිදුවීම් සම්බන්ධයෙනුත් ඔහු වරින් වර චෝදනා ලබලා විතරක් නෙවෙයි දඩ මුදල් පවා ඔහුට ගෙවන්න සිදු වෙලා තියෙනවා.

මේ හැම දෙයක්ම පෙන්නුම් කරන්නේ විනයක් නැති දක්ෂ ක්‍රීඩකයෙක් ගේ අභාග්‍ය සම්පන්න ක්‍රීඩා ජීවිතයක ගමන් මග මොන වගේ ද කියලා.

නමුත් Nick Kyrgiosගේ කියන්න තරම් හොඳක් ඇත්තේම නැද්ද?

මාධ්‍ය මගින් උත්කර්ෂයට නංවන්නෙම මාතෘකා බවට පත් කරන්න පුළුවන් “කුණු” බවට තවත් එක උදාහරණයක් විදිහට Nick Kyrgios පිළිබඳ අපිට කියවන්න ලැබෙන දේවල්වලින් පැහැදිලි වෙනවා.

ඉහත දී ඔහු ගැන සඳහන් කරද්දී Nick කියන්නේ ප්‍රේක්ෂකයින්ට බැන වදින කෙනෙක් බව ලිවුවත්, ඔහු ඒ විදිහේ මත ගැටුම් නිර්මාණය කර ගත්තු අවස්ථාවලට වඩා ඔහු විසින් ප්‍රේක්ෂකයින් සමග සුහදව හැසිරුණු අවස්ථා සාපේක්ෂව වැඩියි.

ඒ වගේම ක්‍රීඩා පිටියෙන් පිටත දී ඔහු විසින් බොහෝ ළමා සුබ සාධක වැඩසටහන් වලට වගේම අරමුදල් වෙනුවෙන් මූල්‍යමය පරිත්‍යාග සෑහෙන්න ප්‍රමාණයක් සිදු කරපු කෙනෙක්.

හිටපු පෙම්වතියක් සමඟ ඇති කර ගත්තු ගැටුමකින් පසුව තමන්ගේ මානසික සෞඛ්‍ය පිළිබඳ හෙළිදරව් කළ Nick විසින් 2021 දී තරුණ තරුණියන්ගේ මානසික සෞඛ්‍ය ඉහළ නැංවීමට සහය වෙන්න ලාබ නොලබන ආයතනයක් පවා පිහිටුවනවා.

මෙවැනි හේතු නිසා Nick Kyrgios කියන චරිතය ඔබ කියවා ගත යුත්තේ මධ්‍යස්ථ තැනක සිට බව මම විශ්වාස කරනවා.

“මම මුලින්ම මේ දේ (Underarm Serve) Nadalට සහ Acaplucoට එරෙහිව සිදු කළාම විස්තර විචාරකයින් කියපු දේ. ‘oh මොකක්ද ඔහු ඒ සිදු කළේ. ඒක හරිම අගෞරවයක්, ඇයි ඔබ එහෙම දෙයක් කළේ? ‘

ඒත් දැන් (Andy Murray විසින් Underarm Serve සිදු කරද්දී)  ඔවුන් කියන්නේ’ හෝ හෝ Andy Murray මාර ස්මාර්ට් නේ.’ කියලා.

දැන් හැමෝම ඒක (Underarm Serve එක) කරනවා, එයාලා දැන් බුද්ධිමත් ක්‍රීඩකයින්.

මට සතුටුයි ලකුණු ලබා ගන්න පුළුවන් තවත් ක්‍රම තියෙන බව මිනිස්සු දැන ගත්තු එක ගැන. නමුත් මට හිතෙන්නේ එදා සහ අද ඔවුන් හැසිරෙන විදිහ සැසඳුවා ම ඒක විහිළු සහගතයි කියලා.”

පසුගිය වසරේ Wimbledon තරගාවලියේ දී Andy Murray විසින් මේ Underarm Serve එක තරගයක දී භාවිතා කරනවා. ඒ සිදුවීමෙන් පසුව තමයි Nick මාධ්‍ය ඉදිරියට ඇවිත් තමන්ට සහ අනෙක් අයට මිනිස්සු මේ විදිහට හැඳි දෙකකින් බෙදන බව කියන්නේ.

එකම ක්‍රියාවක් සිදු කරන පුද්ගලයා අනුව හොඳ හෝ නරක විදිහට බෙදා වෙන් කිරීම ඇතුළෙන් පවා Nick Kyrgios කියන නම මාධ්‍ය සහ මිනිස්සු විසින් ලඝු කරපු තැන පිළිබඳ ඔබට අවබෝධයක් ලබන්න හැකි වේවි.

Nickට ඔහු ඉන්න තැනින් එළියට ඇවිත් විශිෂ්ට ටෙනිස් ක්‍රීඩකයෙක් හෝ ප්‍රේක්ෂක/විචාරක ගෞරවාදරයට පාත්‍ර වුන ක්‍රීඩකයෙක් විදිහට ක්‍රීඩාවට සමුදීමට කිසිම අවශ්‍යතාවක් ඇති බවක් පෙන්නේ නැහැ.

බොහෝ විට අද අපිට ඔහු ගැන ඇහෙන විදිහටම “දක්ෂතාවෙන් හරි හැටි ප්‍රයෝජන නොගෙන නාස්ති වෙලා ගිය තවත් ටෙනිස් ක්‍රීඩකයෙක්” කියන තැනටම ලඝු වෙලා ක්‍රීඩාවෙන් සමුගනීවී.

නමුත් ඔහු ටෙනිස් ක්‍රීඩාව ඇතුළේ ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩකයින් වගේම, ක්‍රීඩාව නරඹපු බොහෝ දෙනෙකුගේ මතකයේ සෑහෙන්න තරම් කාලයක් රැඳිලා තියේවී.

මොකද Nick Kyrgios කියන්නේ අමුතු දේවල් මවා පාලා ජීවත් වුන තවත් එක පූර්වාදර්ශී චරිතයක් වෙන්න ආයාසයකින් උත්සාහ නො කළ කෙනෙක් නිසා.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<