මතීෂ චෙන්නායි වෙනුවෙන් සිය උපරිමය ලබා දෙයි!

IPL 2023

1303
IPL 2023

IPL ඉතිහාසයේ දැවැන්ත ම ප්‍රතිවාදී කණ්ඩායම් දෙක ලෙසට සැලකෙන Chennai Super Kings සහ Mumbai Indians කණ්ඩායම් අතර තවත් තරගයක් චෙන්නායි හි MA Chidambaram ක්‍රීඩාංගණයේ දී අද (06) සවස පැවැත්වුණා.

මෙය මෙවර IPL තරගාවලියේ 49 වැනි තරගය ලෙස පැවැත්වුණු අතර, මෙතෙක් තරගාවලියේ ක්‍රීඩා කළ තරගවලින් 5 බැගින් ජයග්‍රහණය කිරීමට සමත් වී සිටි කණ්ඩායම් දෙකට ම මෙහි ජයග්‍රහණය අතිශයින් ම වැදගත් එකක් වුනා.

එවැනි වාතාවරණයක් මත ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය චෙන්නායි නායක MS Dhoni විසින් හිමි කර ගත් අතර, ඔහු විසින් පළමුව පන්දු යැවීමට තෝරා ගත්තා.

ඒ අනුව අද තරගයේ දී මුම්බායි පිතිකරණ අනුපිළිවෙළේ යම් වෙනස් කමක් සිදු කරමින් සුපුරුදු ආරම්භක පිතිකරු සහ මුම්බායි නායක Rohit Sharma වෙනුවට Ishan Kishan සමඟ පිටියට පිවිසීමේ වරම් ලැබුණේ Cameron Green හටයි.

නමුත් මුම්බායි විසින් ගත් එම තීරණය ගඟට කැපූ ඉනි මෙන් කිසිදු ප්‍රතිඵලයක් ලබා නොදුන් අතර Rohit වෙනුවට ආරම්භක පිතිකරණ භූමිකාව භාර ගත් Green ලකුණු 6ක් ලබා සිටිය දී දවා ගැනීමට Tushar Deshpande විසින් සමත් වුනා.

ඉන්පසුව Rohit පිටියට පිවිසුණා. නමුත් චෙන්නායි වේගපන්දුව හමුවේ Rohitට සහ Ishan හට ද එතරම් සාර්ථකත්වයක් ළඟා කර ගැනීමට හැකියාවක් නොලැබුණු අතර, ඒ අනුව මුම්බායි ඉනිමට ලකුණු 14ක් එකතු වන විට කඩුලු තුනක් ම බිඳ වැටී තිබුණා.

නමුත් පසුව පිටියේ එක් වුන Suryakumar Yadav සහ Nehal Wadhera විසින් ඉනිමේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 55ක සබඳතාවක් පැවැත්වීමට සමත් වූ නමුත් එමඟින් මුම්බායේ ලකුණු ලබා ගැනීමේ වේගය නම් අවශ්‍ය තරමට ඉහළ ගියේ නැහැ. ඒ අතරේ ම Ravindra Jadeja විසින් යැවූ පන්දුවක් කෙළින් ම කඩුල්ලේ වැදීම නිසා Suryaගේ ඉනිම නිමා වූ අතර ඉන්පසුව Tristan Stubbs විසින් Nehalගේ සහයට පිටියට පිවිසුණා.

ඔවුන් දෙදෙනා විසින් නැවතත් ඉනිමේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 54ක සබඳතාවක් පිහිටවූ අතර, එම නිසා මතීෂ පතිරණ විසින් යොමු කළ මුම්බායි ඉනිමේ 18 වැනි පන්දුවාරයේ දෙවන පන්දුව නිමා වන විට මුම්බාය කඩුලු 4ක් දැවී ලකුණු 123ක් ලබා ගැනීමට සමත් වී සිටියා.

නමුත් සිය ලකුණු ලබා ගැනීමේ වේගය ඉතා ම සෙමෙන් සිදු වන නිසා ම ඔවුන්ට වේගයෙන් ලකුණු කරා යාමට අවශ්‍ය වුනා. නමුත් මතීෂ විසින් යැවූ එම පන්දුවාරයේ තෙවැනි පන්දුව යෝකර් පන්දුවක් ලෙස Nehalගේ පිත්ත සහ පාදය දෙක ම අබිබවමින් කඩුල්ලේ දැවටුණු අතර ඔහුගේ ඉනිම ලකුණු 64කින් නිමාව දුටුවා.

Nehalව දවා ගැනීමෙන් සිය කඩුලු දඩයම ආරම්භ කළ මතීෂ විසින් ඔහුගේ මෙන් ම තරගයේ ද අවසන් පන්දු වාරයේ දී Stubbsගේ සහ Arshad Khanගේ ද කඩුලු දවා ගැනීමට සමත් වුනා.

ඒ අනුව මතීෂ අද තරගයේ දී සිය පන්දුවාර 4 තුල ලකුණු 15ක් පමණක් ලබා දෙමින් කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වූ අතර ම, ඔහු සිය පන්දුවාර 4 තුල එකඳු හයේ/හතරේ පහරක් ප්‍රතිවාදීන් වෙත ලබා නොදීම ද විශේෂත්වයක්.

එමෙන් ම මතීෂගේ මෙම පන්දු යැවීම ඔහුගේ හොඳ ම විස්සයි විස්ස පන්දු යැවීමේ දක්ෂතාව ලෙස ද සටහන් වූ අතර, මෙවර IPL තරගාවලියේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු විසින් දැක්වූ හොඳම දක්ෂතාව ලෙසත් මෙම පන්දු යැවීම සැලකිය හැකියි.

එමෙන් ම මතීෂට අමතරව අද තරගයේ දී ද චෙන්නායි නියෝජනය කළ මහීෂ් තීක්ෂණ සිය පන්දුවාර 4 ලකුණු 28ක් පමණක් ලබා දෙමින් නිමා කිරීමට සමත් වුනා. නමුත් ඔහු අද දිනයේ කඩුලු දවා ගැනීමට සමත් වුනේ නැහැ.

ඊට අමතර ව චෙන්නායි වෙනුවෙන් Tushar Deshpande සහ Deepak Chahar විසින් කඩුලු 2ක බැගින් බිඳ හෙළීමට ද සමත් වුනා.

මුම්බාය වෙනුවෙන් Nehalට අමතරව පිත්තෙන් යම් පමණකට හෝ සාර්ථක වුනේ  පිළිවෙළින් ලකුණු 26ක් සහ 20ක් බැගින් රැස් කළ Surya සහ Stubbs පමණයි.

ඒ අනුව මුම්බාය ලබා දුන් පහසු ඉලක්කය හඹා යාමට පිටියට පිවිසුණු චෙන්නායි ආරම්භක පිතිකරණ යුගලය විසින් මුම්බායට වඩා හාත්පසින් ම වෙනස් ආරම්භයක් ලබා ගනිමින් ලකුණු 46ක වේගවත් සබඳතාවක් පිහිටුවීමට සමත් වූ අතර පන්දු 16කින් ලකුණු 30ක් ලබා ගත් Ruturaj Gaikwadගේ කඩුල්ල Piyush Chawla විසින් දවා ගැනීමෙන් එම සබඳතාව නිමා වුනා.

නමුත් චෙන්නායි ලකුණු පුවරුව එතෙකින් නොනැවතී දිගින් දිගට ම ඉදිරියට ගෙන යාමට Devon Conway සහ Ajinkya Rahane විසින් සමත් වූ අතර ඉනිමේ ලකුණු සංඛ්‍යාව 81ක් වන විට Rahaneව පිටියෙන් ඉවත් කිරීමට නැවතත් ක්‍රියාත්මක වූ Chawla  විසින් සමත් වුනා.

නමුත් ඉන්පසුව හෝ මුම්බායි වෙත කිසිදු සැනසුමක් ලබා නොදුන් Conway සහ ඔහුගේ සහයට පැමිණි Ambati Rayudu සහ Shivam Dube ඉතා පහසුවෙන් ලකුණු ලබා ගනිමින් චෙන්නායි කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කය වෙත ගෙන ඒමට සමත් වුනා.

තරගය ජයග්‍රහණය කිරීමට තවත් ලකුණු 10ක් පමණක් අවශ්‍ය ව තිබූ මොහොතක ලකුණු 44ක් ලබා සිටි Devon Conwayගේ කඩුල්ල දැවී ගිය අතර, ඉන්පසුව Chidambaram ක්‍රීඩාංගණයේ රැස් වී සිටි දහස් සංඛ්‍යාත චෙන්නායි රසික ප්‍රජාවගේ ප්‍රීතී ඝෝෂා මධ්‍යයේ චෙන්නායි නායක MS Dhoni පිටියට පිවිසෙමින් මුම්බායි කණ්ඩායමට එරෙහිව ලබා ගත් කඩුලු 6ක ජයග්‍රහණය වෙනුවෙන් ජයග්‍රාහී ලකුණ වාර්තා කිරීමට සමත් වුනා.

  • Mumbai Indians 139/8 (20) Nehal Wadhera 64, Suryakumar Yadav 26, Matheesha Pathirana 3/15, Deepak Chahar 2/18
  • Chennai Super Kings 140/4 (17.4) Devon Conway 44, Ruturaj Gaikwad 30, Piyush Chawla 2/25

මෙම ජයග්‍රහණයත් සමඟ මෙවර IPL ලකුණු සටහනේ දෙවන ස්ථානය තෙක් ඉදිරියට පැමිණීමට Chennai Super Kings සමත් වූ අතර, Mumbai Indians මේ වන විට ලකුණු සටහනේ 6 වැනි ස්ථානයේ පසුවනවා.

එමෙන් ම මෙම තරගයේ වාසිය චෙන්නායි වෙත දිනා දීම වෙනුවෙන් විශිෂ්ට කාර්ය භාර්යක් ඉටු කිරීමට සමත් වූ මතීෂ පතිරණ විසින් තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගැනීමට සමත් වුනා.

මෙවර IPL තරගාවලියේ තවත් තරගයක් මේ වන විට Delhi Capitals සහ Royal Challengers Bangalore කණ්ඩායම් අතර පැවැත්වෙනවා. එම තරගය මෙන් ම තරගාවලියේ සියලු ම තරග ThePapare.com වෙතින් සජීවී ව නැරඹීමේ අවස්ථාව ඔබට ලබා දී තිබෙනවා. IPL තරගාවලියේ ශ්‍රී ලාංකික දක්ෂතා දැක බලා ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<