මොරොක්කෝව ස්පාඤ්ඤය හඬවද්දී Cristiano Ronaldo බංකුවේ!

පාපන්දු ලෝක කුසලානය 2022

5563

කටාර් හී පැවැත්වෙන 2022 පාපන්දු ලෝක කුසලානයේ අවසන් 16 දෙනාගේ වටයේ අද (06) පැවති තරගවලින් පෙරළිකාර ජයග්‍රහණ වාර්තා කරන්නට මොරොක්කෝව සහ පෘතුගාලය සමත් වුනා.

මොරොක්කෝව හා ස්පාඤ්ඤය

තරගය පුරාවටම මොරොක්කෝ කණ්ඩායමේ අතිදක්ෂ ආරක්ෂක ක්‍රීඩා විලාසය කැපී පෙනුණා. පළමු අර්ධයේ වැඩි කාලයක් පන්දුව ස්පාඤ්ඤ ක්‍රීඩකයින් තමන් සතුව තබා ගත් නමුත් ඔවුන්ට ගෝල රාමුව අසලට යන්නට මොරොක්කෝ ආරක්ෂක ක්‍රීඩකයින් ඉඩ ලබා දුන්නේ නැහැ.

Nayef Aguerd හට මොරොක්කෝව වෙනුවෙන් ආසන්න අවස්ථාවක් හිමි වුනත්, ඔහු හිසෙන් එල්ල කළ ප්‍රහාරය ගෝල රාමුවෙන් ඉවතට ඇදී ගියා.

දෙවැනි අර්ධයේ දීත්, පළමු අර්ධයේ දී මෙන්ම ස්පාඤ්ඤය 75%ක්ම පන්දුව තමන් සතුව තබා ගනිමින් පන්දු හුවමාරු කිරීම් 800කටත් වඩා සම්පුර්ණ කරගෙන තිබුණු නමුත්, මොරොක්කෝ ආරක්ෂක වළල්ල අතරින් ගෝලයක් සොයා යන්න ඔවුන්ට හැකියාව ලැබුණේ නැහැ.

නියමිත කාලයෙන් අනතුරුව තරගය අතිරේක කාලය දක්වා ඇදී ගිය අතර එහි දී ද කණ්ඩායම් දෙකම ගෝල වාර්තා කරන්නට සමත් වූයේ නැහැ.

තරගයේ ප්‍රතිඵලය දඬුවම් පහරවලට භාර වුණු අතර මොරොක්කෝ කණ්ඩායමට සිය ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වතාවට දඬුවම් පහර ක්‍රීඩා කරන්න සිදු වුනා.

කෙසේ වෙතත් ලෝක කුසලාන පහක දඬුවම් පහර ක්‍රීඩා කර තිබුණු ස්පාඤ්ඤය අසරණ කරමින් මොරොක්කෝ ගෝල රකින ක්‍රීඩක Yassine Bounou ස්පාඤ්ඤ දඬුවම් පහර දෙකක්ම නවත්වන්නට සමත් වුනා. පළමු ස්පාඤ්ඤ දඬුවම් පහර නිසි ඉලක්කයට ස්ථානගත වුනේ නැහැ.

Pablo Sarabia, Carlos Soler හා Sergio Busquets ස්පාඤ්ඤය වෙනුවෙන් දඬුවම් පහර තුනක්ම අසාර්ථක කරගනිද්දී, Hakim Ziyech, A. Sabiri මොරොක්කෝව වෙනුවෙන් දඬුවම් පහර සාර්ථක කර ගත්තා.

ජයග්‍රාහි දඬුවම් පහර රැස් කිරීම Achraf Hakimiට භාර වූ අතර ඔහු සාර්ථකව මොරොක්කෝව අර්ධ අවසාන පූර්ව වටයට රැගෙන යන්නට සමත් වුනා. තරගයේ ජය දඬුවම් පහර 3-0ක් ලෙස මොරොක්කෝව හිමිකර ගත්තා.

අර්ධ අවසන් පූර්ව වටයේ දී මොරොක්කෝව හා ස්පාඤ්ඤය තරග වැදීමට නියමිතයි. ස්පාඤ්ඤ කණ්ඩායමක් දඬුවම් පහර අසාර්ථක වීම නිසා ලෝක කුසලාන තරගාවලි වලින් ඉවතට ගිය සිව්වැනි අවස්ථාව මෙයයි.

අවසන් ලකුණු තත්වය: මොරොක්කෝව 0 (3) – (0) 0 ස්පාඤ්ඤය

ගෝල රැස් කළ ක්‍රීඩකයින්

මොරොක්කෝව – Hakim Ziyech, A. Sabiri, Achraf Hakimi

පෘතුගාලය හා ස්විස්ටර්ලන්තය

පෘතුගාල ප්‍රධාන පුහුණුකරු Fernando Santos තීරණය කර තිබුණේ සුපිරි ක්‍රීඩක Cristiano Ronaldo නොමැතිව මෙම තරගයට පිවිසීමටයි.

Ronaldo නොමැතිව පෘතුගාලය මේ තරගයේ දී දක්ෂ ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළේ ගෝල 6ක්ම තමන්ගේ ලකුණු සටහනට එකතු කර ගනිමිනුයි.

Ronaldo වෙනුවෙන් කණ්ඩායමට එක්වුණු 21 හැවිරිදි Goncalo Ramos සිය පළමු ජාත්‍යන්තර ගෝල ත්‍රිත්වය, මේ තරගයේ දී රැස්කරන්නට සමත් වුනා. 17 වැනි මිනිත්තුවේ දී ඔහු සිය පළමු ගෝලය රැස්කර ගත්තේ Yann Sommer පසුකරමින් එල්ල කළ වේගවත් පන්දු ප්‍රහාරයකිනුයි.

ප්‍රවීණ පෘතුගාල ආරක්ෂක ක්‍රීඩක, 39 හැවිරිදි Pepe තරගයේ දෙවැනි ගෝලය රැස් කළේ ලෝක කුසලාන පිළිමළුන් පිටුදැකීමේ වටයක ගෝලයක් රැස් කළ වයස්ගතම ක්‍රීඩකයා බවට පත් වෙමිනුයි.

Diogo Dalotගේ පන්දු හුවමාරුවක් මනා ලෙස පාලනය කරමින් දෙවැනි අර්ධය ආරම්භයේ 51 වැනි මිනිත්තුවේ දී නැවත වතාවක් ගෝලයක් රැස් කරන්නට Ramos සමත් වුනා. කණ්ඩායම ම දායක වුන පන්දු හුවමාරුවකින් Raphael Guerreiro සිව්වැනි ගෝලයත් දැල්ගත කළේ ස්විස්ටර්ලන්ත ආරක්ෂක වළල්ල අසරණ කරමිනුයි.

ගෝලයක් සොයා ගිය ස්විස්ටර්ලන්තය 58 වැනි මිනිත්තුවේ දී Manuel Akanjiගේ දායකත්වයෙන් ගෝලයක් සොයා ගත්තා. එයට ඉක්මන් ප්‍රතිචාර දැක්වූ Ramos, ගෝල රකින ක්‍රීඩක Sommerගේ හිසට ඉහළින් පන්දුව පා කර යවමින් සිය ගෝල ත්‍රිත්වය සපුරා ගත්තා.

1958 වසරේ බ්‍රසීල අද්විතීය පාපන්දු ක්‍රීඩක Peleට පසුව ලෝක කුසලාන පිළිමළුන් පිටුදැකීමේ වටයක දී ගෝල ත්‍රිත්වයක් රැස් කළ ළාබාලතම ක්‍රීඩකයා වන්නේ ද Ramos.

72 වැනි මිනිත්තුවේ දී Ronaldo පිටියට පැමිණි අතර, පැමිණි වහා ඔහු ගෝලයක් රැස් කළත් විනිසුරු තීරණය කළේ එය offside අවස්ථාවක් බවයි. කෙසේ වෙතත් අතිරේක ක්‍රීඩක Rafael Leao පෘතුගාල හයවැනි ගෝලය දැල්ගත කළේ සිය කණ්ඩායමට පහසු ජයක් ගෙන එමිනුයි.

අවසන් ලකුණු තත්වය: පෘතුගාලය 6 – 1 ස්විස්ටර්ලන්තය

ගෝල රැස් කළ ක්‍රීඩකයෝ

  • පෘතුගාලය – Goncalo Ramos (17′, 51′, 67′) Pepe (33′) Raphaël Guerreiro (55′) Rafael Leão (90’+2′)
  • ස්විස්ටර්ලන්තය – Manuel Akanji (58′)

තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග දෙසැම්බර් 9 වැනිදා ආරම්භ වීමට නියමිතයි. එම තරගවල තොරතුරු සහ තරගාවලියේ තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<