මා මහළු වයසේ නමුත් තවමත් හැකිය පෙරසේ

IPL 2023

831

මේ වන විට 41 වැනි වියේ පසුවන Chennai Super Kings නායක Mahendra Singh Dhoni හට ඊයේ (21) දිනයේ දී ද Chennai හී M.A.Chidambaram ක්‍රීඩාංගණයේ අතුරු සිදුරු නැතිව පිරී සිටි ක්‍රිකට් රසිකයින්ගෙන් හිමි වුනේ උණුසුම් පිළිගැනීමක්.

නායකයෙකු ලෙස ඉන්දියාව මෙන් ම Chennai Super Kings කණ්ඩායමට ද ජයග්‍රහණ රැසක් හිමි කර දීමට සමත් වී ඇති Dhoni විසින් මේ ගෙවා දමන්නේ සිය ක්‍රීඩා දිවියේ සැඳෑ සමය බව ඔහු ද පිළිගන්නා කරුණක්.

“මම දැන් ඇත්තටම වයසයි. ඔබ දන්නවා, ඔබට එය මග හැර යා නොහැකියි. මොනවා කිව්වත්, කරත් මේ තමයි මගේ ක්‍රීඩා ජීවිතයේ අවසන් කාලසමය.”

ඊයේ දිනයේ Sunrisers Hyderabad කණ්ඩායමට එරෙහිව තවත් ජයග්‍රහණයක් වෙනුවෙන් CSK මෙහෙය වූ Dhoni තරගයෙන් අනතුරුව එසේ ප්‍රකාශ කළා.

නමුත් ඔහුට තරගයෙන් පසුව මේ කතාබහ ඇරඹීමට පවා තරමක කාලයක් මග බලා සිටීමට සිදු වුනේ ඔහු වෙනුවෙන් ක්‍රීඩාංගණයෙන් නැගුණු ජය ඝෝෂාවන් වියැකී යන තෙක් ම සිටීමට සිදු වීම නිසායි.

“කොපමණ කාලයක් තිස්සේ මම IPL ක්‍රීඩා කළත්, IPL තරගාවලිය රස විඳීමත් ඉතා ම වැදගත්. අවුරුදු දෙකකට පසුව ඔවුන්ට ඇවිත් තරග නරඹලා සතුටු වෙන්න අවස්ථාව ලැබුණා. ඒ නිසා මෙහි ක්‍රීඩා කරන්න ලැබීම හොඳයි.”

සිය ප්‍රේක්ෂකයින් වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ලැබීම තමන් ලද භාග්‍යයක් බව Dhoni විසින් අවධාරණය කළා.

මෙම වසරේ දී Dhoni හට පෙර සිටියාට තරුණ ක්‍රීඩකයින් සමඟ ගනුදෙනු කිරීමට සිදු වී ඇති අතර, ඊයේ තරගයේ දී ද මහීශ් තීක්ෂණ, මතීෂ පතිරණ, Tushar Deshpande වැනි නවක පන්දු යවන්නන් භාවිත කරමින් Sunrisers ලකුණු පුවරුවට බලපෑම් කරන්නට Dhoni හට සිදු වුනා.

ඊයේ දිනයේ මෙම නවක පන්දු යවන්නන් සහ Ravindra Jadejaගේ අත්දැකීම් ද සමඟින් Dhoni විසින් Sunrisers පිතිකරණ බලඇණිය සම්පූර්ණයෙන් ම පාහේ පාලනය කළ අතර එහි දී ශ්‍රී ලංකාවේ මහීශ් විසින් යැවූ තරගයේ අවසන් පන්දුවාර කිහිපය විචාරක ඇගයීමට පවා පාත්‍ර වුනා.

“මම ඔවුන්ට නිතරම කියන්නේ පිටිය සැකසීම පන්දු යැවිය යුතු ආකාරය ඔවුන්ට අයිති දෙයක් බව. ඔව්, මම සමහර විට කියන්න පුළුවන් ‘නැහැ, මම බලාපොරොත්තු වෙන්නේ මේ වගේ දෙයක්’ කියලා.”

නිතර ම සිය කණ්ඩායම් සාමාජිකයින්ට ඇහුම්කන් දෙමින් අවශ්‍ය තැන දී පමණක් ඔවුන්ට මැදිහත් වීම සිය උපායමාර්ගය බව විශ්වාස කරන Dhoni විසින් නවක ක්‍රීඩකයින් සමඟ සිය අදහස් බෙදා ගැනීම සහ ඔවුන්ව මෙහෙයවීම පිළිබඳව දරන්නේ ද ඉතාම නම්‍යශීලී ප්‍රතිපත්තියක්.

එමෙන් ම ඊයේ දිනයේ මහීශ් විසින් යොමු කළ පන්දුවක් හමුවේ Adien Markramගේ උඩපන්දුවක් කඩුල්ල පිටුපස සිට ලබා ගත් Dhoni විසින් සිය උඩපන්දුව පිළිබඳව ද මෙසේ අදහස් පළ කළා.

“ඔබ අත්වැසුම් පැලඳ සිටි පමණින් මිනිසුන් හිතන්නේ එය ඉතා පහසු දෙයක් කියලා. නමුත් එය ඒක අපූරු උඩපන්දුවක් කියලයි මට හිතෙන්නේ. ඒ මගේ හැකියාව නිසා නම් නෙවෙයි, මම ඒ උඩ පන්දුව රැක ගන්න මොහොතේ දී වැරදි විදිහටයි ස්ථාන ගත වෙලා හිටියේ.”

සිය ක්‍රීඩා දිවියේ සැඳෑ සමයට අවතීර්ණ වී සිටියත් ඕනෑ ම තරුණ කඩුලු රකින්නකු හා සමව තවමත් තමන්ට ක්‍රීඩා කළ හැකි බව Dhoni විසින් ඊයේ දිනයේ දී ද ඔප්පු කර පෙන්වීමට සමත් වුනා.

මෙවර IPL තරගාවලියේ සියලු ම තරග සජීවී ව නැරඹීමේ අවකාශය ThePapare.com වෙතින් ඔබට උදා කර දී තිබෙනවා. එමෙන් ම තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ද ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<