මීගමුව යූත් සහ සුපර් සන් ක්‍රීඩකයින්ට ජය

231
DCL - Week 8 - Featured image

පාපන්දු ශූරයින්, වසරේ කිරුල සොයා තරග වදින ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු ශූරතාවලියේ අටවැනි සතියේ තරග හතරක් පසුගිය 3වැනි දා පැවැත්විය.

ඒවායින් මීගමුව යූත් ක්‍රීඩා සමාජය සහ සුපර් සන් ක්‍රීඩා සමාජය යන කණ්ඩායම් ජයග්‍ර‍හණ වාර්තා කිරීමට සමත් වූ අතර අනෙක් තරග ජය පරාජයකින් තොරව අවසන් විය.

පසුගිය ලිපි: රිනවුන් සහ සෝන්ඩර්ස් කණ්ඩායම් වලට ප්‍රභල ජයක්

මීගමුව යූත් සහ මාතර සිටි (04-02)

මීගමුව ක්‍රීඩකයින් ජයග්‍ර‍හණය වාර්තා කරමින් නිමා වුනු මෙම තරගය කැළණිය පාපන්දු ක්‍රීඩා සංකීර්ණයේදි පැවැත්විය.

තරගය ආරම්භ වී මිනිත්තු දෙකක් යෑමට මත්තෙන් ගෝලයක් වාර්තා කිරීමට මීගමුව ක්‍රීඩක මධුක පීරිස් සමත් වූ අතර එම කණ්ඩායම විසින් වාර්තා කල අනෙක් ගෝල ත්‍රිත්වය පිලිවෙලින්, 62වැනි මිනිත්තුවේදි ප්‍රියංකර සිල්වා විසින් ද, 82වැනි මිනිත්තුවේදි එශුන් ඇකූටි විසින් ද, 90+4 මිනිත්තුවේදි අබ්දුල් මුමුනි විසින් ද වාර්තා කෙරිනි.

මාතර ක්‍රීඩකයෝ ලකුණු රැස් කිරීම ආරම්භ කරන්නේ තරගයේ 14වැනි මිනිත්තුවේදි ය. ඒ ඕ. පී. අස්මොහ් විසිනි. ඉන්පසුව තවත් ගෝලයක් 55වැනි මිනිත්තුවේදි ඒ. ආරෝන් විසින් වාර්තා කරන අතර තරගය නිමා වන තෙක් තවත් කිසිදු ගෝලයක් රැස් කිරීමට ඔවුන් අපොහොසත් විය.

ඕ. පී. අස්මොහ් සහ එම්. ජී. දිනේශ් යන මාතර ක්‍රීඩකයින්ටත් ආර්. මිනොන් යන මීගමුව ක්‍රීඩකයාටත් කහ කාඩ්පත් නිකුත් කරන ලදි.


සුපර් සන් සහ තිහාරිය යූත් (03-00)

තිහාරිය ක්‍රීඩකයින්ට කිසිදු ලකුණක් වාර්තා කිරීමට ඉඩනොදුන් සුපර් සන් ක්‍රීඩකයෝ 03-00 ලෙසින් තරගයේ ජයග්‍ර‍හණය වාර්තා කිරීමට සමත් විය.

තරගය කළුතර වර්නැන් ෆර්නැන්ඩෝ ක්‍රීඩා පිටියේදි පැවති අතර සුපර් සන් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ලබා ගත් ගෝල 3 පිලිවෙලින් ඩියුඩෝ ජෝසප් විසින් 35වැනි මිනිත්තුවේදී ද, ෆාරූඩ් ෆයිස් විසින් 79වැනි මිනිත්තුවේදී ද, මොහොමඩ් ෆර්හාන් විසින් 90+2 මිනිත්තුවේදී ද වාර්තා කෙරිනි.

තරග තීරකවරයා තරගයේ 84වැනි මිනිත්තුවේදි සුපර් සන් ක්‍රීඩක සිල්මි හසන්ටත්, 84වැනි මිනිත්තුවේදි තිහාරිය ක්‍රීඩක සුදර්ශන රාමනායකටත් රතු කාඩ්පත් ලබා දෙන ලදි.

තවද සුපර් සන් ක්‍රීඩක නුවන් ප්‍රියංකර සහ ශෆ්රාස් කයිස් යන ක්‍රීඩකයින්ට කහ කාඩ්පත් ලබා දෙන ලදි.

තරගාවලියේ සියළු තොරතුරු සඳහා පිවිසෙන්න – DCL Hub එකට


අප් කන්ට්‍රි ලයන්ස් සහ බ්ලූ ස්ටාර් (02-02)

නාවලපිටිය ජයතිලක ක්‍රීඩා පිටියේදි පැවති මෙම තරගය ද නිමාව දකින්නේ ජය පරාජයකින් තොරවය.

තරගයේ ප්‍ර‍ථම ගෝලය වාර්තා කිරීමට 12වැනි මිනිත්තුවේදි අප් කන්ට්‍රි ක්‍රීඩා සමාජ ක්‍රීඩක චාර්ල්ස් ඔර්ලු සමත් වු අතර බ්ලූ ස්ටාර් ක්‍රීඩකයින් ද ප්‍ර‍ථම ගෝලය වාර්තා කරමින් 52වැනි මිනිත්තුවේදි මොහොමඩ් ෆර්සීන් ගෝලයක් ලබා ගන්නට සමත් විය.

ප්‍ර‍ථම අර්ධය ඒ අයුරින් (01-01) නිමා වෙද්දි දෙවැනි අර්ධයේදි ද ප්‍ර‍ථම ගෝලය වාර්තා කරන්නේ අප් කන්ට්‍රි ක්‍රීඩකයෙකු වු ඇන්තනි අනායෝ විසිනි. ඒ තරගයේ 73වැනි මිනිත්තුවේදීය. ඉන්පසුව තවත් ගෝලයක් බ්ලූ ස්ටාර් ක්‍රීඩක නසිරු ඔපායෙමි (81වැනි මිනිත්තුව) සමත් වීමත් සමග 02-02 දක්වා ලකුණු තත්ත්වය සම වූ අතර තරගය නිමා වන තෙක් එම සමතත්ත්වය බිද දැමීමට කණ්ඩායම් දෙකටම නොහැකි වූ හෙයින් ජය පරාජයෙන් තොරව තරග නිමාවට පත් විය.

තරගයේදි බ්ලු ස්ටාර් ක්‍රීඩක රංගන සිල්වාට සහ අප් කන්ට්‍රි ක්‍රීඩක එබියුක් අයිකේහ්ට කහ කාඩ්පත් ලබා දෙන ලදි.


සොලිඩ් සහ යුද හමුදාව (00-00)

අනුරාධපුර බන්ධනාගර ක්‍රීඩා පිටියේදි පැවති මෙම තරගය ජය පරාජයකින් තොරව නිමා වන්නේ කණ්ඩායම් දෙකම කිසිදු ගෝලයක් වාර්තා නොකරමින් වීම විශේෂත්වයකි.

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට