IPL ඉතිහාසයේ සිදු වුන දැවැන්තම හොරකමක්!

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

2107

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තමන් සහභාගී වූ තරග පහක් පරාජය වී සිටින Delhi Capitals ක්‍රීඩකයින් තවත් ගැටලුවකට මුහුණ දී තිබෙනවා.

ඒ ඔවුන් සතුව තිබූ ඉන්දීය ලක්ෂ 16ක ක්‍රීඩා උපකරණ තොගයක් කිසිවෙකු විසින් සොරකම් කිරීම නිසයි.

බැංගලෝරයේ සිට දිල්ලි දක්වා ගමන් කිරීමේ දී මෙම සිදුවීම සිදුව ඇති අතර නැති වූ භාණ්ඩ තොගයේ David Warner සහ Phil Saltගේ පිති ද ඇතුළත්. ඉන්දීය ක්‍රීඩක Yash Dullගේ පිති පහක් ඒ අතර තිබී තිබෙන අතර ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Mitchell Marshගේ පිති දෙකක් ද ඒ අතර වෙනවා.

“ඔවුන් සියලු දෙනා පුදුමයට පත් වුනා. හැමෝගෙම මොකක් හරි දෙයක් නැති වෙලා තියෙන්නේ. මේ වගේ දෙයක් වුන පළවෙනි වතාව මේක,” යැයි කණ්ඩායම් ප්‍රකාශකයෙක් සඳහන් කර තිබෙනවා.

විදෙස් ක්‍රීඩකයින්ගේ නැති වූ පිතිවල වටිනාකම ලක්ෂ 16ක අගයක් ගන්නා අතර ඔවුන් සිය කළමනාකරුවන් සහ කණ්ඩායම් බලධාරීන් සමඟ සාකච්ඡා කර අලුත් උපකරණ ලබා ගත් බව ද සඳහන්.

“අපේ නිලධාරියා ඔවුන්ට කිව්වා සියලු දේවල් ලියා පැමිණිල්ලක් භාරදෙන්න කියලා. ඔවුන් ප්‍රකාශ කරලා තිබ්බේ පරීක්ෂා කරලා දැනුම් දෙන්නම් කියලා. අපි ඉක්මනින් මේ ගැන පරීක්ෂණයක් පවත්වනවා,” යැයි ගුවන් තොටුපල ප්‍රකාශකයෙක් සඳහන් කර තිබෙනවා.

මෙලෙස විශාල උපකරණ තොගයක් නැති වූ පළමු අවස්ථාව මෙය වන අතර උපකරණ ක්‍රීඩාංගණයෙන් ක්‍රීඩාංගණයට ප්‍රවාහනය කිරීමේ වගකීම ප්‍රවාහන ආයතනය සතු වෙනවා.

කෙසේ නමුත් මෙම සිදුවීම තුළ සිදු වූයේ කුමක් දැයි නිවැරදිව වටහා ගැනීමට පරීක්ෂණයක් මේ වන විට ආරම්භ කර තියෙනවා.

අසාර්ථක ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියක් ක්‍රීඩා කරන දිල්ලි කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පසු වන්නේ අවසන් තැනයි.

මෙවර IPL තරගාවලියේ සියලු තරග සජීව ලෙස ඔබ වෙත ThePapare.com ඔස්සේ නැරඹිය හැකි. රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

Hindustan times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<