ශ්‍රී ලංකාවම අඬපු දවසක මාලිංගත් ඇඬුවා ලු

T20 World Cup 2012

696

2012 විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හමුවේ පරාජය වීමෙන් පසුව තමන් හඬා වැටුණු බව ලසිත් මාලිංග විසින් පවසනවා.

2012 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය දැරුවේ ශ්‍රී ලංකාව විසින් වන අතර සත්කාරක දේශය ලෙස ඉතා විශිෂ්ට දස්කම් දක්වමින් තරගාවලියේ අවසන් මහා තරගය දක්වා පැමිණීමට ද ශ්‍රී ලංකා කණ්ඩායම එහි දී සමත් වුනා.

තරගාවලියේ අවසන් මහා තරගය තෙක් ඔවුන් පරාජය වී තිබුණේ එක් තරගයක් පමණක් (දකුණු අප්‍රිකාව හමුවේ) වන අතර අනෙක් සියලු ම තරග ශ්‍රී ලාංකික ක්‍රිකට් රසිකයින්ට සොඳුරු මතක සටහන් ද ඉතුරු කරවමින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

නමුත්, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු අවසන් මහා තරගයේ දී නම් කිසිවකුත් බලාපොරොත්තු නොවූ ලෙස පරාජය බාර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුනා.

එම තරගයේ පළමුව පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව්වන් ලබා ගත්තේ ලකුණු 137ක් පමණක් වුනත්, එම ඉලක්කය හඹා යාමට අසමත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් ම දැවී ලබා ගත්තේ ලකුණු 101ක් පමණයි.

බොහෝ ශ්‍රී ලාංකිකයින් අදටත් සංවේදී වෙමින් මතකයට නංවන මෙම තරගය පරාජය වීම තමන්ට ද සංවේදී අවස්ථාවක් වූ බවයි ලසිත් මාලිංග විසින් පසුගිය දා ප්‍රකාශ කළේ,

“2012 T20 ලෝක කුසලානයේ මම හැම තරගයක ම හොඳින් ම පන්දු යැවුවා. මට ඒ බව දැනුණා. නමුත් අවසන් මහා තරගයේ දී මම ඒක කළේ නැහැ, මොකද හතරවැනි පන්දුවාරයේ ඔවුන් ලකුණු 21ක් හෝ 24ක් ලබා ගත්තා. Marlon Samuels හයේ පහර තුනක් එල්ල කරා. අපි තරගය පරාජය වුනා. ඒ වෙලාවේ මම ඇත්තට ම ඇඬුවා.”

මෙවර IPL තරගාවලියට සමගාමීව Rajasthan Royals කණ්ඩායමේ YouTube චැනලය මගින් පැවැත්වූ Beyond Cricket නම් වැඩසටහන අතරතුර දී මාලිංග විසින් මේ බව හෙළිදරව් කළා.

එදා පැවැත්වුණු අවසන් මහා තරගයේ දී බටහිර ඉන්දීය කොදෙව් ඉනිමේ පළමු පන්දුවාර 12 නිමා වන විට ඔවුන් ලබා සිටියේ ලකුණු 48ක් පමණයි. නමුත් ඉන්පසුව මාලිංග විසින් ක්‍රියාත්මක කළ තරගයේ 13 වැනි පන්දුවාරය තුල Marlon Samuels විසින් හයේ පහර තුනක් ද සමඟින් ලකුණු 21ක් උදුරා ගැනීමට සමත් වුනා.

ඉන්පසුව මාලිංග විසින් දියත් කළ 17 වැනි පන්දුවාරයේ ද නැවත වරක් ක්‍රියාත්මක වූ Samuels විසින් තවත් ලකුණු 19ක් උදුරා ගත්තේ හයේ පහර දෙකක් සහ එක් හතරේ පහරක් සමඟයි. අවසානයේ මාලිංගගේ පන්දුවාර 4 නිමා වන විට ඔහුට එරෙහිව ලකුණු 54ක් ලබා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව්වන් සමත් වී තිබුණා. මෙම පන්දුවාර හතර තරගයේ තීරණයට දැඩි බලපෑමක් එල්ල කළ බව නොරහසක්.

එම සිදුවීම විස්තර කිරීමෙන් පසුව මාලිංග තවදුරටත් සඳහන් කළේ ඒ මොහොතේ දී තමන්ට ලෝක කුසලානය මග හැරී ගිය බව දැනුණු බවයි.

එමෙන්ම Rajasthan Royals මැද පෙළ පිතිකරු Riyan Parag විසින් මෙහෙය වූ මෙම වැඩසටහනට අනෙක් පසින් සහභාගී වී සිටි, එදා මාලිංග සමඟින් දුක බෙදා ගත් කණ්ඩායම් සගයෙකු වූ කුමාර් සංගක්කාර විසින් මාලිංගගේ අදහස හිස සලමින් අනුමත කළා.

කෙසේ වෙතත් 2012 ලෝක කුසලානයේ දී අවසන් තරගයේ හැරෙන්න ඉතිරි තරගවල දී මාලිංග සඳහන් කළා සේ ම ඔහු ඉතා හොඳින් පන්දු යැවීමේ නිරත වුනා. පාකිස්තානය සමඟ පැවැත්වුණු අවසන් පූර්ව තරගයේ දී සිය පන්දුවාර 4 තුල ලකුණු 19ක් පමණක් ලබා දෙමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මාලිංග ඊට ප්‍රථම තරගයේ දී එංගලන්තයට එරෙහිව ලකුණු 31කට කඩුලු 5ක් ද බිඳ හෙළීමට සමත් වුනා.

එමෙන් ම බොහෝ දෙනෙකු අදටත් මතකයට නංවන නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වුණු තරගයේ ලකුණු සම වීමෙන් අනතුරුව යැවූ සුපිරි පන්දුවාරයේ දී නවසීලන්තයට ලකුණු 7ක් පමණක් ලබා දෙමින් ශ්‍රී ලංකාව වෙත ජයග්‍රහණය ගෙන ඒමට ද මාලිංගගේ පන්දු කරණයට හැකියාව ලැබුණා.

ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ටතම පන්දු යවන්නකු මෙන් ම ශ්‍රී ලංකාව වෙනුවෙන් බොහෝ තරග දිනවා දුන්නෙකු ලෙස සැලකෙන මාලිංග විසින් බොහෝම සිනහ මුසුව පවත්වා ගෙන ආ Beyond Cricket වැඩසටහන මොහොතකට සංවේදී කළේ ඒ ආකාරයෙනුයි.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<