වැස්ස බාධාවක් වේවි

105

අද පැවැත්වෙන ප්‍රථම එක් දින තරගයට පෙර ඊයේ සවස පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ළහිරු තිරිමාන්න කියා සිටියේ, මෙම තරගාවලිය සඳහා වර්ෂාවෙන් බාධා එල්ල විය හැකි බැවින් බොහෝ දුරට තරගවල පන්දුවාර ගණන කෙටි කර ගැනීමට සිදුවීමේ ඉඩකඩ වැඩි බවය.

මෙම විශේෂ මාධ්‍ය හමුවේදී තිරිමාන්න මෙන්ම තිරිමාන්නට පෙර අදහස් දැක්වූ එංගලන්ත නායක ඇලිස්ටයාර් කුක්ද තමන්ගේ අදහස් දැක්වීම්වලදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩක පිලිප් හියුස්ගේ හිසේ පන්දුවක් වැදීමෙන් ඔහු දරුණු ලෙස තුවාල ලබා සිහිසුන් වී සිටීම පිළිබඳ ඔවුන්ගේ බලවත් ශෝකය පළ කර සිටියේය. තම කණ්ඩායම් දෙකේම බලවත් ශෝකය ඔවුන්ගේ පවුලේ ඥාතීන් වෙත පළ කර සිටින බවද ඊයේ පැවැසීම විශේෂ කරුණක් විය.

තවද හදිසි සුළු උදරාබාධයක් හේතුවෙන් තම නායක ඇන්ජිලෝ මැතිව්ස්ට යොදාගත් පරිදි ඊයේ මාධ්‍ය හමුවට සහභාගි වීමට නොහැකි වූ බව පැවැසූ තිරිමාන් ඔහුගේ පිතිකරණ ස්ථානය පිළිබඳ ඇසූ පැනයට පිළිතුරු දෙමින් කියා සිටියේ, ඉහළ ස්ථානයක ක්‍රීඩා කිරීම තම තාක්‍ෂණය අනුව සුදුසු යැයි සිතුවද කණ්ඩායමේ සංයුතිය අනුව නායක මැතිව්ස්ට පසුව අංක 6 ක්‍රීඩා කිරීම ගැන සෑහීමකට පත්වන බවය. තවද මහේල, සංගක්කාර හා ඩිල්ෂාන් යන ක්‍රීඩකයන් මෙරටදී සහභාගි වන අවසන් එක් දින තරගාවලිය මෙය විය හැකි බවට ඇසූ පැනයට ඔහුගේ අදහස වූයේ එම ක්‍රීඩකයන් සෑම ජයග්‍රහණයක් වෙනුවෙන්ම අත්තිවාරම දැමූ බවත් ඔවුන්ට ගරු කිරීමක්ද ලෙස මෙම තරගාවලිය ජයගත යුතු බවත්ය.

තවද අද පැවැත්වෙන තරගයේදී මහේල ජයවර්ධන ආරම්භක පිතිකරුවකු ලෙස ක්‍රීඩා කිරීමට ඉඩ නොමැති බව පැවැසූ තිරිමාන්ත, මැද පෙළ ශක්තිමත් කිරීමේ අත්හදා බැලීමක් ලෙස තිළිණ කණ්ඩම්බිද කණ්ඩායමට ඇතුළත් කර ඇති බව කීය.

එහිදී අදහස් දැක්වූ එංගලන්ත නායකයාගේ අදහස වූයේ, මේ දිනවල පවතින වර්ෂාව සහිත කාලගුණයද තරගාවලියට බාධාවක් විය හැකි බවය. තවද ඔහු කියා සිටියේ තරගාවලියට පෙර සූදානම ගැන සෑහීමකට පත්නොවන බවත් එහෙත් ක්‍රීඩා කිරීමට ඉඩ ලැබුණ එකම පුහුණු තරගයෙන් ජයගෙන තම ක්‍රීඩකයන් මෙරට තණතීරුවලට උචිත ලෙස දක්‍ෂතා දක්වූ බවත්ය.