ලංකාව නන්නත්තාර කළ Siraj නැවතත් අංක එකට!

ICC Player Rankings

836

නිමා වූ ආසියානු කුසලාන අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රදර්ශනය කළ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක Mohammed Siraj නැවතත් ලෝක එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට සමත් වී තිබෙනවා.

මෙම වසරේ ජනවාරි සිට මාර්තු මාසය තෙක් පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම් හි පළමු ස්ථානයේ රැඳී සිටීමට සමත් වුන Siraj පසුව ඕස්ට්‍රේලියාවේ Josh Hazelwood හමුවේ පසුබැස්සා.

නමුත් නිමා වුනු ආසියානු කුසලාන තරගාවලිය තුළ 12.20ක පන්දු යැවීමේ සාමාන්‍යයක් ද සහිතව කඩුලු 10ක් බිඳ හෙළීමට Siraj සමත් වූ අතර, මින් කඩුලු හයක් ම ශ්‍රී ලංකාවට එරෙහි අවසන් මහා තරගයේ දී බිඳ හෙළීමට ඔහු සමත් වීම විශේෂත්වයක්.

මේ නිසා ඔහු විසින් ශ්‍රේණිගත කිරීම් හි ස්ථාන අටක් ඉදිරියට පැමිණෙමින් එහි පළමු ස්ථානය දිනා ගැනීමට සමත් වී ඇත්තේ ලකුණු 694ක් ද සමඟිනුයි.

මෙහි දෙවැනි ස්ථානය Josh Hazelwood හට හිමි වෙද්දී, තෙවැනි ස්ථානය නවසීලන්තයේ Trent Boult හට හිමි වී තිබෙනවා. මේ අතර ඉන්දීය දඟපන්දු යවන ක්‍රීඩක Kuldeep Yadav ආසියානු කුසලානයේ දී පන්දු යැවීමෙන් විශිෂ්ට දක්ෂතා දැක්වීමට සමත් වුනත් ඔහු මෙම ශ්‍රේණිගත කිරීම් හි ස්ථාන තුනක් පහතට ඇද වැටෙමින් 9 වැනි ස්ථානයට පත් වී තිබීම විශේෂත්වයක්.

එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් හි මුල් ස්ථානවල නම් සැලකිය යුතු මට්ටමේ වෙනස්කමක් සිදු වී නැහැ. කෙසේ නමුත් දකුණු අප්‍රිකානු පිතිකරු Heinrich Klaasen විසින් පසුගිය දා ඕස්ට්‍රේලියාවට එරෙහිව දියත් කළ ප්‍රවේගකාරී ශතකය (පන්දු 83කින් රැස් කළ ලකුණු 174) නිසා ඔහු පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 20ක් ඉදිරියට පැමිණෙමින් 9 වැනි ස්ථානයට පත්වීමට සමත් වී තිබෙනවා.

එමෙන්ම නවසීලන්තයට එරෙහි තරගාවලියේ දී පිතිකරණ සාමාන්‍යය 92.33ක් වැනි ඉහළ අගයක පවත්වා ගනිමින් ලකුණු 277ක් වාර්තා කිරීමට සමත් වූ එංගලන්තයේ Dawid Malan ශ්‍රේණිගත කිරීම් හි 13 වැනි ස්ථානයට පැමිණීමටත් සමත් වී තිබෙනවා.

මේ අතර නැවත ජාත්‍යන්තර එක්දින තරග බිමට අවතීර්ණ වෙමින් නවසීලන්තයට එරෙහිව ලකුණු 182ක විශිෂ්ට ඉනිමක් දියත් කළ Ben Stokes ශ්‍රේණිගත කිරීම් හි 36 වැනි ස්ථානය තෙක් ඉදිරියට පැමිණීමට සමත් වීමත් විශේෂත්වයක්.

කෙසේ නමුත් මෙම ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්ගේ ස්ථානවල නම් සැලකිය යුතු මට්ටමේ වෙනස්කම් සිදු වී නැහැ.

නමුත් මෙම ශ්‍රේණිගත කිරීම් එළඹෙන ලෝක කුසලානය ආරම්භ වීමත් සමඟින් මීටත් වඩා විචලනය වනු ඇති බව අනුමාන කළ හැකියි.

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times සහ ESPN Cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<